UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතිපට්ඨාන භාවනාව 44: ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි සමාධි සම්බොජ්ඣංගය: සිත තැන්පත් නම් ලබන සුවය උතුම්

ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි සමාධි සම්බොජ්ඣංගය:

සිත තැන්පත් නම් ලබන සුවය උතුම්

සමාධි සම්බොජ්ඣංගය චිත්ත සන්ථානය ප්‍රබෝධවත් කරමින්, සති, සමාධි, ඥාන දියුණු කරන විශේෂ ධර්මතාවයක්. බොජ්ඣංග ධර්ම දියුණු කර ගැනීම හැමෝටම යහපතක්. මෙලොව යහපතට , පරලොව සුගතියට , නිවන් පසක් කිරීම සඳහා අත්‍යවශ්‍ය කරන උපකාරක ධර්ම පද්ධතියක්.

සුගති මඟ, නිවන් මඟ ගමන් කරන අයට අවශ්‍ය කරන්නේ දාන, ශීල, භාවනා පින්කම් ටික යි. නිවන් සම්පත් වෙනුවෙන් විශේෂයෙන් ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කිරීම යි. මෙලොව දියුණුව සලසාගෙන, පරලොව සුගතියක සිට නිවන් පසක් කිරීම සඳහා විශේෂයෙන් මහෝපකාරී වන්නේ.

නී - වාන යන පදය එකතු කරලා, ආදේශ වලින් පැනෙව්ව විට නිබ්බාණ නම් පදයක් හැදෙයි. එනම්, නිවීම කියන එකයි. කෙලෙසුන්ගේ නිවීම යි. විශේෂයෙන් තණ්හාවන්ගේ නිවීම නිර්වාණය යි. තණ්හාව නැති කරන එක සැමටම පුළුවන් දෙයක් නොවෙයි. අමාරු කරුණක්. තණ්හාව දුරු කර ගැනීම සඳහා ශීල, සමාධි, ප්‍රඥා ගුණ අනිවාර්යෙන් දියුණු කළ යුතු යි. සතර සතිපට්ඨානය දියුණු කර ගැනීම සඳහා ශීලාදී ප්‍රතිපත්ති ද හොඳින් දියුණු කරගත් විට නිවන් මඟ පහසුවෙන් යන්නට පුළුවන්කම ලැබෙනවා.

නිර්මල ධර්මය අවබෝධ කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක්. එසේනම්, සමාධි සම්බොජ්ඣංගය යනු සිතේ තැන්පත් කමෙන් ලැබෙන උතුම් අවස්ථාවක්. උපචාර සමාධි, අර්පනා සමාධි වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රථම ධ්‍යාන සමාධිය, ද්වීතීය ධ්‍යාන සමාධිය , තෘතීය ධ්‍යාන සමාධිය , චතුර්ථ ධ්‍යාන සමාධිය , පංචම ධ්‍යාන සමාධිය වශයෙන් කොටස්වලට බෙදෙනවා. එසේම අරූපාවචර සමාධිය, දක්වා යනවා. එසේම තම සිතෙහි යම් සන්සුන්කමක් ඇතිනම්, එය සමාධි නම් වෙයි. ඒකග්‍රතා චෛතසිකය ද සමාධි නම් වෙයි. සම්මා සමාධි යන මාර්ගාංගයෙන් ද ප්‍රකාශ වන්නේ සමාධි අවස්ථාවයි. සමාධි සම්බොජ්ඣංගයක් හැටියට පෙන්වන්නේ නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන සුවිශේෂී දෙයක් හැටියට යි. සමාධි සම්බොජ්ඣංගය දියුණු කර ගන්නට උපකාරක ධර්ම එකොළහක් තිබෙයි. තමන් වෙසෙන තැන, පරිභෝග කරන බඩු බාහිර ආදිය , වස්ත්‍ර ආදිය පිරිසුදුව තබා ගැනීමෙන් බාහිර වස්තු ද , නියපොතු කැපීම්, විරේක කිරීම් ආදිය අධ්‍යාත්මික වස්තූන් ද නිර්මලව තබා ගැනීමෙන් චිත්ත සමාධිය ලබන්නට පුළුවන්. ශ්‍රද්ධාව - ප්‍රඥාව දෙක ද, සමාධි - වීර්යය දෙක ද, සතියෙන් යුක්ත කොට එකට එකක් වැඩි අඩු නොවන පරිද්දෙන් සමව තබා ගැනීමෙන් සමාධි සම්බොජ්ඣංගය දියුණු කර ගන්න පුළුවන්.

තෙවන කාරණාව භාවනාවට යෝග්‍ය කසිණ නිමිති ගැනීමේ දක්ෂ බව යි. එවිට කසිණ භාවනා ආදියෙන් චිත්ත සමාධිය තහවුරු කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතා සවි ශක්තිමත් ලෙස සමාධිය තහවුරු කර ගන්න පුළුවන්. කසිණ නිමිති ආදියෙන් ගන්නා සමාධිය බොහොම දැඩි වෙයි. පඨවි කසිණ, ආපෝ කසිණ , ආදී වශයෙන් කසිණ දහයක් වෙන අතර මේ මඟින් ගන්නා සමාධිය බොහොම ඉහළ වෙයි.

හතරවැන්න සිත අනලස්ව, ලිහිල්ව ගිය කල්හි එසේ වෙනු නොදී ධම්මවිඡය සම්බොජ්ඣංගය , වීර්යය, පීති, බොජ්ඣංග උපදවා ගනිමින් සිත උත්සාහවත් කළ යුතු ය. එයින් සමාධි සම්බොජ්ඣංගය තවත් තහවුරු කර ගන්න පුළුවන්.

පස්වැන්න අධික වූ වීර්යය වැඩීමෙන් සිත කලබල ව, අවිවේක වන කල්හි පස්සද්ධි, සමාධි, උපේක්ෂා බොජ්ඣංග උපදවා ගනිමින් වීිර්යය අධිකත්වය අඩුකරගත යුතු ය. වීර්යය අධික කර ගන්නා විට සමාධිය තහවුරු කරගන්න පුළුවන්කම තිබෙන්නේ කායික වේදනා, මානසික වේදනා අඩු නිස යි.

හයවැන්න යම් අවස්ථාවක ප්‍රඥාව මඳකමකින් හෝ නිවන් සුවය නො වැටහීමෙන් හෝ භාවනාවේ සිත නොඇලේ ද එවිට ජාති, ජරා, ව්‍යාධි ආදිය සංවේග වස්තූන් නිතර නිතර සිහිපත් කර ගැනීමෙන් රත්නත්‍රයේ ගුණ මෙනෙහි කර ගැනීමෙන් සිතේ පහන් බවත්, ආලෝකවත් බවත් ඇති කරගත යුතු යි. එවිට සමාධි සම්බොජ්ඣංගය හොඳට පහළ කරගන්න, දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා.

හත්වැන්න යම් අවස්ථාවක සිත කම්මැළිබවට හෝ කලබල බවට නොගොස් මැදහත්ව භාවනාවේ සුදුසු පරිදි යොදා ගන්න පුළුවන්නම්, එවිට සිත උනන්දු කිරීමෙන් හෝ සිතේ වේගය අඩු කිරීමෙහි හෝ යුහුසුළු නොවී මධ්‍යස්ථව වාසය කිරීමෙහි සමාධි සම්බොජ්ඣංගය තහවුරු කර ගන්න පුළුවන්.

අටවැනි කාරණාව භාවනාවේ දී සිත එකඟ කර නොගත් අසමාහිත පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම යි. සිතෙහි තැන්පත් කමක් නැති, විසුරුණු මනසක් ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතු යි. ඒ අය සමාධි සම්බොජ්ඣංගය ආදිය දියුණු කරනවාට කැමැති නැහැ. පිනට දහමට කැමැති නැහැ. එසේනම් සමාධිය තහවුරු කර ගත යුතු යි. එසේම භාවනාවේ එකඟ කරගත් සිත් ඇති උදවිය ආශ්‍රය කළ යුතු යි. භාවනා කරන, බණ අසන , සිතේ තැන්පත්කම දියුණු කරන අය ආශ්‍රය කරන විට සිත භාවනාවේ තබා ගැනීම නිසා සමාධි සම්බොජ්ඣංගය තහවුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.

දහවැන්න තමා ලැබූ ධ්‍යාන, අභිඤ්ඤා , විපස්සනා , මාර්ග ඵල , නිවන ආදිය මෙනෙහි කළ යුතු යි. එය මෙනෙහි කරන විටත් සිතේ තැන්පත්කම තහවුරු වෙයි. සමාධි සම්බොජ්ඣංගය ශක්තිමත් වෙයි.

එකොළොස්වැන්න සිත එකඟ කර ගැනීමෙන් භාවනාවේ ඇලී ගැලීමෙන් විසීම යි. සිත තැන්පත් කරගන්නා විට එලෙස කලක් වාසය කරන්න පුළුවන්කම තිබෙනවා. මෙම කරුණු පුරුදු කර ගැනීමෙන් නූපන් සමාධිය උපදවා ගන්නට පුළුවන්. උපන් සමාධිය දියුණු කරන්නට පුළුවන්. සමාධියත් මොහොතක් පාසාම ඇතිව නැති වී යයි. ඒ නිසා සමාධි සම්බොජ්ඣංගය ද අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. නූපන් සමාධිය උපදිනවා, උපන් සමාධිය දියුණු වෙනවා. නැවත නැතිවී යනවා. විශාල වෙහෙසක් දරාගෙනයි සමාධි අවස්ථාවට එළඹ තිබෙන්නේ. ඒ නිසා කවුරුත් සමාධිය තහවුරු කර ගැනීම සඳහා ගුණ ධර්ම දියුණු කර ගනිමින්, චිත්ත සමාධිය දියුණු කර ගනිමින් කටයුතු කළ යුතු යි. ශීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විමුක්තියට , විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයට, විමුක්ති දර්ශනය යනු ප්‍රත්‍යවේක්ෂා ඥාන යි. ලබාගත්තා වූ දේ හොඳින් සිතෙන් මෙනෙහි කළ යුතු යි. සමාධිය කියන එකේ කෙටිම තේරුම සිත තැන්පත් කමයි. ඒ සිතෙහි තැන්පත්කම නැත්නම්, කිසිම දෙයක් කර කියා ගන්නට බැහැ. අධ්‍යාපනය, රැකී රක්ෂාව, දෛනික වැඩ , ගෙදර දොර වැඩ , බාහිර වැඩ කටයුතු පවා කරගන්නට බැහැ. බණ ඇසීම, භාවනා කිරීම , සියලු ශාසනික කටයුතු දියුණු කර ගැනීම සඳහා සිතේ තැන්පත්කම අත්‍යවශ්‍යම කාරණයක්. ඒ සමාධිය ධ්‍යාන ක්‍රමවලට පවා බෙදා වෙන්කර තිබෙන්නේ. ඒ නිසා කවුරුත් උත්සාහවන්තව සමාධිය තහවුරු කරගත යුතු යි.

ආනාපාන සති භාවනාව මෙනෙහි කරගෙන යාමෙන් අපට සමාධිය ලබා ගන්න පුළුවන්. එය අපහසු අය බුදුගුණ භාවනාවෙන් සමාධිය ලබා ගත හැකි අතර ඒ මඟින් ධ්‍යාන තත්ත්වයට යන්නේ නැත්තේ පින වැඩි නිසයි. කායගතාසතියෙන් කේශා ආදියෙන් එකම අරමුණ මෙනෙහි කරගෙන යාමෙන් ධ්‍යාන තත්ත්වයට යන්න පුළුවන්, සමාධිය තහවුරු වුණායින් පසුව. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මරණසති භාවනාව මෙනෙහි කිරීමෙන් සමාධිය හොඳින් තහවුරු කරගන්න පුළුවන්. සමාධි සම්බොජ්ඣංගය ද හොඳින් වැඩෙයි. සිතේ තැන්පත්කම, සිතේ සමාධිය, කොයි කවුරු වුණත් අගේ කොට සැලකිය යුතු යි. එක අරමුණක් දිගට ම මෙනෙහි කරගෙන යාමෙන් සමාධිය හොඳින් තහවුරු වෙයි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! අරමුණ දිගටම මෙනෙහි කරගෙන යාමෙන් ශාන්තව මේ සමාධිය ලබන්න පුළුවන්. සමාධි සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා. නිවන් සුවය ලබා ගැනීම සඳහා හැම ධර්මතාවයකටම මුල් කාරණය සමාධිය යි. සිතේ තැන්පත් කමයි. එවිට නුවණ පහළ කරගන්න ලෙහෙසියි. වික්ෂිප්ත නැතිව තැන්පත්ව සියලු කටයුතු දිගට කරගෙන යාමට පුළුවන්කම තිබෙනවා. එවිට සම්මා දිට්ඨි - නිවැරැදි ප්‍රඥාව හොඳට සිතේ පහළ වෙනවා. සම්මා සංකප්ප - උතුම්ම අදහස් සිතිවිලි පහළ කරගන්න පුළුවන්. සම්මා වාචා - නිවැරැදි වචන පාවිච්චි කරන්න පුළුවන්. සම්මා කම්මන්ත - නිවැරැදි වැඩ කටයුතුවල යෙදෙන්න පුළුවන්. සම්මා ආජීව - දැහැමිව ජීවත් වෙනවා, සම්මා වායාම - සිතේ සමාධිය නිසා උත්සාහය හොඳට තහවුරු කරගන්න පුළුවන්. සම්මා සති - සිතේ සමාධිය නිසා සිහිය දියුණු කරන්න පුළුවන්. එසේනම්, සම්මා සමාධිය අගනා වෙයි. සිතේ තැන්පත්කම හොඳට දියුණු කරගන්න පුළුවන්. මේ කරුණු හොඳට ඉගෙන කියාගෙන සිතේ තැන්පත්කම ලබා ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කළ යුතු යි. පොතක් කියවන විට දිගටම කියාගෙන යාමෙන් සමාධිය තහවුරු වෙයි. වික්ෂිප්ත මනසකින් පොත පත කියවන්න බැහැ. බණ , භාවනා කරන්න නොහැකිව සිතේ වික්ෂිප්තකම නිසා සිත එහෙ මෙහෙ දුව පැන ඇවිදිනවා. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගෙන තමන්ගේ ශ්‍රද්ධාදී ගුණ ටික දියුණුවට උත්සාහයෙන් වැඩ කළ යුතු යි. එවිට යන ගමන් මඟ පිරිසුදු වෙයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණුවෙන් තමන්ගේ ජීවිතය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. බෝධිකාරක ධර්ම අඩු පාඩුවක් නැතිව දියුණු කරගන්න පුළුවන්. තමන්ගේ සිතේ , ගතේ දියුණුව, යහපත , අඩුවක් වෙන්නෙත් නැහැ.

සමාධි සම්බොජ්ඣංගයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳවම මෙනෙහි කරන්නට පුරුදු පුහුණු වන්න.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk