UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අතහැරීම පුරුද්දක් කර ගනිමු

අතහැරීම පුරුද්දක් කර ගනිමු

ජීවිතයේ අනිත්‍යතාවය අවබෝධ කර ගන්නට බැරි බොහෝ දෙනෙක් ලෞකික වශයෙන් විඳින සැප සම්පත් හැර යාමට කිසිවිටක අපොහොසත් වෙති.

උපතේ පටන් මරණය දක්වාම අනිත්‍ය සිද්ධාන්තය මත ගමන් කළ ද, ඒ පිළිබඳව අනවබෝධය හේතුවෙන් සත්ත්වයා තව තවත් කම් සැප පසු පසම හඹා යති. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔස්සේ සත්ත්වයා භෞතික ලෝකය ගොඩ නඟා ගනී. එහි නිමග්නව මොහොතක් ගානේ කාම ලෝකය තුළ කිරුළු පැළඳීමට වෙහෙසෙති. ස:නි: බ්‍රාහ්මණ සංයුක්තයේ උදය සූත්‍රය තුළ පැහැදිලි වන ආකාරයට එතුළින් සත්ත්වයා නැවත නැවත දුකටම පත් වෙති.

පුනප්පුනං ඛීරනිකා දුහන්ති – පුනප්පුනං වච්ඡො උපෙත මාතරං
පුනප්පුනං කිලමති ළුන්දතීච – පුනප්පුනං ගබ්භමුපෙති මන්දො

කිරි දොවන්නෝ නැවත නැවත දොවති. වස්සා නැවත නැවත මව වෙත එළඹෙයි. මේ ආකාරයෙන් සත්වයෝ නැවත නැවත වෙහෙස ලබති. කම්පා වෙති. බාලයා ( මෝඩයා ) නැවත නැවත මව්කුසට පැමිණෙයි.

පුනප්පුනං ජායති මීයති ච – පුනප්පුනං සීවථිකං හරන්ති
මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය – න පුනප්පුනං ජායති භුරිපඤ්ඤෝ

නැවත නැවත උපදියි. නැවත නැවත මියයයි.නැවත නැවත සොහොනට ගෙන යයි. නිවන් ලැබු නුවණැත්තා නැවත නැවත නූපදී.

ඉහත ගාථාද්වයෙන් පැහැදිලි වන්නේ ජීවිතයේ සැබෑ අර්ථය යි. වර්තමානය තුළ වසන්නන් හරියට යන්ත්‍ර සේ දිවි රැකුමට වෙහෙසෙති. සීමාව ඉක්මවා වස්තු සම්පත් සෙවීමට යෑම තුළ එය දෙගුණ තෙගුණ වශයෙන් සිදු වෙයි. සත්ත්වයා උපදින, මැරෙන ස්වභාවය නැවත නැවත සිදු වේ. ඒ අතර අනන්ත අප්‍රමාණ දුක් ජීවිතයට එකතු වෙති. රාග. ද්වේශ, මෝහ, ව්‍යාධි ජරා, මරණ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ,උපායාස යනාදී එකොළොස් ගින්නකින් සත්ත්වයා පිච්චි පිච්චී දැවි – දැවී සිටින්නේ ය. මේ බව දන්නෝ එයින් මිදීමට මඟ පාදා ගන්නා අතර. අනුවණයෝ තව තවත් සසර පිච්චි පිච්චී, මැරි මැරී උපදිති.

අප මහ බෝසතාණෝ අත්හැරීම සසර පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කළහ. බුදු වීමට පෙර ආත්ම දෙස බැලීමේ දී ද ඒ බව මනාව පිළිබිඹු වේ. බුද්ධ ධර්මයේ පදාර්ථ පහක් පිළිබඳව කියැවේ. සියලු දතයුතු දේ යන අර්ථයෙන් සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති යනුවෙන් පස් අංගයකින් ඒවා දක්වා ඇත. ඉන් විකාර යනුවෙන් හැඳින්වෙන්නේ විද්‍යාමාන වස්තුන්ගේ වෙනස් වීම ය. එසේනම් භෞතික වශයෙන් ශරීරය තුළ ද එම වෙනස් වීම දැකිය හැක. ඒ සඳහා අපට හොඳම නිදර්ශනයක් ලෙස පන්සිය පනස් ජාතක පොතෙහි නව වන ජාතකය වූ මඛාදේව ජාතකය පෙන්වා දීමට පුළුවන.

බුදුරදුන් පෙරුම්දම් පුරන සමයෙහි එක් භවයක වේදේහ රාජ්‍යයෙහි මියුලු නුවර මඛාදේව රජු වශයෙන් පෙනී සිටියහ. කෙස් කපන කරනවෑමියාට තමාගේ හිසෙහි පැසුණු හිස කෙසක් දුටුවොතින් දන්වන ලෙස කලින්ම මතක් කළේ ය. ඒ අනුව දිනක් කරණවෑමියා ඉදුණු කෙස් ගසක් දැක එය ගලවා රජු අතට දුන්හ.ඒ දැක රජු මහත් සංවේගයට පත් වී නරකෙස් එන තුරුත් කෙලෙස් අත්හළ නොහැකි වී යැයි තමන්ටම දොස් පවරා ගත්තේ ය. එපමණක් නොව තම රාජ්‍ය පුතුට පවරා රජු මඛාදේව අඹ උයනෙහි මහණදම් පුරන්නට යන බව පැවසී ය. ඒ අවස්ථාවේ දී ඇමතියන් ප්‍රශ්න කරන්නේ මහණ වීම සඳහා යන්නට හේතුව කුමක්ද යන්නයි. එහි දී මඛාදේව රජු දුන් පිළිතුර ඉතා වැදගත් ය. එනම්, “මරණය නළලට පැමිණියේ වෙයි. යම දූතයෙකු බඳු ය. එබැවින් මහණ වෙමි” යනුවෙනි.

මඛාදේව රජු රාජ්‍යත්වය අත්හැරීමට තීරණය කළේ එක් කෙස් ගසක් පැසී එය දිටීමෙනි. එතරම් ප්‍රමාද වීම ගැන බොහෝ දුක් විය.

රජ සැපතට වඩා තපස උතුම් කොට සැලකූ තේමිය කුමරා කොරෙක්, බිහිරෙක්, ගොළුවෙක්, විලසට රංගනයක යෙදී රජ සැපත බාර නො ගැනීමට අවස්ථාව සලසා ගත්තේය. පසුව තේමිය කුමරු රජ සැපතට නුසුදුසු ලෙස සලකා අමුසොහොනට ගෙන යෑමත්, එතැන දී තම සැබෑ තතු රාජ සේවකයින්ට දැන්වීම හා ඒ බව මව්පියන්ටද දන්වන ලෙස ඉල්ලීම් කිරීමත් සිදුවීමෙන් තපසට මඟ පාදා ගැනීමක් එම කතා පුවත තුළින් දක්නට ලැබේ. අද යුගය තුළ සැප සම්පත්, තානාත්තර කෙරෙහි ඇලුම් කරන, ඒ සඳහා සටන් කරන කාට වුව ද මෙවැනි දහම් කතා වැදගත් නොවන්නේ ද?

ජීවිතයේ සැබෑ තතු අවබෝධ කර ගැනීම අද අදම කළ යුතුව ඇත. ජීවත් වීමේ කාලය ඉතා සීමිත බැවිනි. එය ද අවිනිශ්චිත ය. සෑම තැනකින්ම මෙම ශරීර කූඩුව විනාශ වීමේ ප්‍රවණතාව වැඩි ය. අහස උසට මාලිගා හැදුවට ,අසීමිත ප්‍රාර්ථනා පොදි බැන්ඳට ඒවා ක්ෂණයකින් විනාශ වීම ධර්මතාවය යි. අත්තාහි අත්තනෝ නාථො – කෝහි නාථො පරෝසියා” තමාට පිහිට තමාම ය. වෙන කෙනෙකුන් පිහිට නො වන්නේ ය. එබැවින් “අත්ථ දීපා විහරථ” තමා තමාටම ප්‍රදීපයක් කොට වසන්න. මේ ආදි බුදු වදන් සිහියට ගෙන ජීවිතයේ අනිත්‍ය සිද්ධාන්තය භාවනාවක් කොට විසීම තුළින් අත්හැරීම පහසු වන්නේ ය. එතුළින් ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමටත් ,ලෝකෝත්තර වශයෙන් “නිබ්බානං පරමං සුඛං” පරම සැපත වූ නිවන් මඟ ක්ෂාත් ක්ෂාත් කර ගැනීමටත් හැකි වනු ඇත. 

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk