UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

පරණගම සෝමාලංකාර නා හිමි

බදුලු දිස්ත්‍රික්කයට අයත් උඩුකිඳ, පරණගම ගම් පියසෙහි විසූ පොල්වත්තගාල්ලගේ සිඤ්ඤෝඅප්පු නම් ගමේ ආරච්චි රාළහාමි සහ ජොහානා හාමිනේ යන දම්පතීන්ට 1912 මැයි 06 දින පින්වත් කුමරෙක් උපන්නේ ය.

එම කුමරු මොරවින්න සුධර්මාරාම විහාරාධිපතිව වැඩවිසූ දෙල්දූවේ ඤාණරතනාභිධාන අධිකරණ නා හිමියන් ගේ ආචාර්යත්වයෙන් 1925 ඔක්තෝබර් 02 දින “පරණගම සෝමාලංකාර” යන නමින් ප්‍රවෘජ්ජා භූමියට පත් විය. 1932 පොසොන් පොහෝ දින “බලපිටිය මහා කප්පින වලව්ව මාදු නදී ස්වෙජින්” සීමා මාලකයේදී අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහා නායක ධුරන්ධර බෝගහපිටියේ සිරි සීලක්ඛන්ධ මහ නාහිමියන් උපාධ්‍යාය කොටගෙන උපසම්පත්ති ප්‍රතිලාභයට ද පත් වූහ.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනින් අධ්‍යාපනය ලබා එහි විද්‍යෝදය අවසාන සහතිකය ද හිමි කොටගෙන ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ද උත්තීර්ණ වූහ. මෙතුමෝ ඉතා සම්භාවනීය වූ පැවිදි සහෝදර පිරිසකට හිමිකම් ලබති. දෙල්දූවේ පියරතන මාහිමි, කරතොට වජිරබුද්ධි මාහිමි, පොහද්දරමුල්ලේ සීලරතන මාහිමි, ගොරකානේ පේමරතන නාහිමි, කරතොට විමලරතන මාහිමි, දෙල්දූවේ ධම්මරතන නාහිමි, වඩුමුල්ලේ විපස්සී මාහිමි ඒ පැවිදි සහෝදර උතුමන් ය

1977 දෙසැම්බර් 11 දින ගොරකානේ පේමරතන නාහිමියන් අපවත් වීමෙන් පසු ව ඤාණරතන නාහිමියන්ගේ සහ ගොරකානේ පේමරතන නාහිමියන්ගේ අන්තිම කැමති පත්‍ර ප්‍රකාරව පරණගම සෝමාලංකාර නාහිමියෝ පාණදුර මොරවින්න සුධර්මාරාමය, වාද්දුව දෙල්දූව ගනේවත්ත විහාරය, බණ්ඩාරගම මස්විල ශෛලතලාරාමය , වාද්දුව, මැලෑගම සුගතබිම්බාරාමය යන විහාරස්ථාන හතරෙහි ආධිපත්‍යයට පත් වෙති.

බුරුමයේ පැවැත්වූ ජට්ඨ මහා සංගායනාවට ද සහභාගි වීමේ භාග්‍යය හිමි කරගත් උන්වහන්සේට බුරුම රටින් සම්මාන පණ්ඩිත උපාධියක් ද පිරිනමා ඇත. අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහා නායක ධූරය හෙබවූ කොස්ගොඩ ධම්මවංශාභිධාන මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාව , කාරක සංඝ සභික ධූරයත්, දෙවනුව 1978 මැයි මස “සද්ධම්මකිත්ති සිරි” යන ගෞරව සම්මානෝපාධි ගරු නාමය සහිතව කළුතර පළාතේ අධිකරණ සංඝ නායක පදවිය පිරිනැමූහ. කොළඹ ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙහි සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කොට ඇති නාහිමිපාණෝ සිරිලක වැඩ සිටි සුප්‍රසිද්ධ පැවිදි උතුමන් අතර මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි , වජිරාරාමාධිපති, නාරද මාහිමි,කොස්ගොඩ ධම්මවංශ මහ නාහිමි, තලල්ලේ ධම්මානන්ද මහ නාහිමි, පියදස්සි මාහිමි වැනි උතුමන් සමඟ කල්‍යාණ මිත්‍ර භාවයෙන්, මෙත්තා විහරණයෙන් යුතු ව ක්‍රියා කළ පැවිදි උතුමෙකි.

පරණගම සෝමාලංකාර නාහිමි සහ පැලෑනේ සද්ධම්මවංශ නාහිමි යන දෙනම ගේ ම ශිෂ්‍යවර දෙල්දූවේ සුමන නිකායේ අධිකරණ නාහිමියෝ විහාරස්ථාන සතරෙහි ම ආධිපත්‍ය දරමින් අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරනු ලබන සේවාව ද අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකාය තුළ කරනු ලබන සේවාවන් ද ප්‍රශංසනීයය. වාර්ෂිකව සිදු කෙරෙන විහාර පරම්පරායත්ත මහා තෙරවරුන් සිහි කෙරෙන ශතාධික මහා පින්කම මෙම මාර්තු මස 24 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අපවත් වී වදාළ පරණගම සෝමාලංකාර නාහිමියන්ට නිවන් සුව ලැබේවා.

****

ගැටමාන්නේ ධම්මින්ද හිමි

වලස්මුල්ල දලුවක්ගොඩ ශ්‍රී ධර්මායතනාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත ගැටමාන්නේ ධම්මින්ද හිමිපාණෝ 82 වියට පා තබති.

ධර්මායතන දායක සභාව සහ ශීල භාවනා කුළඟන සමිතිය ඇතුළු, සංවිධාන රාශියක් ධම්මින්ද හිමියන්ට දිගාසිරි පැතීමේ බෝධිපූජා පින්කමක් සහ පිරිත් දේශනයක් මාර්තු 09 සහ 10 යන දෙදින පැවැත්විණි. සි.දො. සමරනායක හා සිරිමලී කොඩිතුවක්කු දම්පතීන්ගේ පුත්‍රයෙකු ලෙස ගැටමාන්නේ දී උපත ලබා ගැටමාන්න මහ විදුහලින් හා ඉත්තදෙමළිය මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබී ය. තම ඥාතිවරයෙකු වූ වෛද්‍ය විශාරද ගලහිටිය වෙදරාළ හාමිගේ ඇසුරෙන් දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ප්‍රායෝගිකව පුහුණුව ලබද්දී 1952 දී පනන්වෙල ගණේගොඩ පුරාණ මහා විහාරාධිපති නෙලරම්පිටියේ චන්දානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් ගැටමාන්නේ ධම්මින්ද නමින් පැවිදි විය. සිය ගුරු හිමියන්ගේ ඇසුර ලබමින් ගුණ දහම් බණ පිරිත් හදාරා මාතර මහා මන්තින්ද, උපාධි පීඨයෙන් උසස් අධ්‍යාපනය ලැබූහ. 2500 සම්බුද්ධ ජයන්තිය සිහිවටනයක් කරමින් මහනුවර මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරයේ දී උපසම්පදා සීලයෙහි පිහිටියහ. 1962 දී සරසවි වරම් ලැබ ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. මාතර පුෂ්පාරාම පිරිවෙන් ආචාර්යවරයෙකු ලෙස දස වසරක් පමණ උසස් අධ්‍යාපනික සේවයක් ඉටු කළහ.

මාතර මහා මන්තින්ද උපාධි පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර ශාස්ත්‍රපති උපාධිය ලබා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පවත්වමින් අමරණීය ධර්මදූත සේවයක් ඉටු කළහ. මාතර හිරගෙදර ධර්මදේශනා පවත්වමින් නොමග ගිය අසරණ හදවත් සනසවමින් දැහැමි මග කියාදුන් අතර, මාතර තරුණ බෞද්ධ සමිතියේ බොහෝ කාලයක් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පවත්වා බොහෝ බුද්ධිමතුන්ගේ ධර්මඤාණය දියුණු කළහ. 1960 සිට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ආගමික වැඩසටහන්වලට සහභාගි වෙමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා , ධර්ම චින්තා, බෞද්ධ කතා ඉදිරිපත් කරන්නේ ජනතා ප්‍රාසාදය දිනා ගනිමිනි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ රුහුණු සේවය මගින් ඉදිරිපත් කළ ධර්ම මණ්ඩපය හා අසපුව වැනි දහම් වැඩසටහන් මෙහෙයවා කාලීන දහම් ගැටලු සාකච්ඡා කළහ.

ප්‍රවෘත්ති පත්‍ර සඟරා ආදියට ලිපි සැපයීමත්, මැදුම් පිළිවෙත, සිංහල පරිනිබ්බාන සූත්‍රය වැනි ග්‍රන්ථ සම්පාදනය කොට ශාස්ත්‍රීය සේවයක් ඉටු කරති. ජපානය, ඉන්දියාව, නේපාලය, දඹදිව ආදී රටවල ධර්ම ප්‍රචාරය සඳහා වැඩමවා උදාර සේවයක් ඉටුකොට ඇත.

1976 දී පිරිවෙන් ගුරු සේවයෙන් වෙන් වී රජයේ ගුරු සේවයට සම්බන්ධ වූ ධම්මින්ද හිමිපාණෝ හ.මුන්තෙට්ටුගම විදුහල , හ /ඉහළ බෙලිගල්ල මහ විදුහල යන විදුහල්වල විදුහල්පති සේවය හා දකුණ කණුමුල්දෙනිය විදුහල්පති ලෙස ක්‍රියා කර

දළුවක්ගොඩ ශ්‍රී ධර්මායතනය පළාතේ දර්ශනීය පන්සලක් බවට පත් කළහ. ශ්‍රී ධම්මින්ද දහම් පාසල, සුමග පෙර පාසල, සුමග කලායතනය, සර්වෝදය ශ්‍රමදාන සමිතිය, ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානය තුළින් ජනතාවට උදාර සේවයක් සිදු කරති.

ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලාගේ සුව පහසුව සඳහා වලස්මුල්ල දිසා රෝහලේ භික්ෂු වාට්ටුව සෑදවූයේ පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ලබා ගනිමිනි. 1985 සිට රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගයත්, පළාතේ විද්‍යාලයන්හි සහයෝගයත් ලබාගෙන රෝහලේ බෝධිපූජා, ගිලන් සංග්‍රහ පවත්වමින් අසරණ රෝගින්ට සෙත් පිරිත් පවත්වමින් උදාර සේවයක් දැනටත් සිදු කරති. රෝහල් කමිටුවේ අනුශාසක ලෙස කටයුතු කරමින් නිහඩ සේවයක් සිදු කරන ශාස්ත්‍රපති ගැටමාන්නේ ධම්මින්ද හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා!

****

ඌරුගමුවේ වාචීස්සර නා හිමි

නුගේගොඩ, පාගොඩ ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානයේ ගෞරව ශාස්ත්‍රවේදී ඌරුගමුවේ වාචීස්සර නාහිමියන් ධර්ම, විනයධර සුපේෂල ශික්ෂාකාමී සංඝපීතෘන් වහන්සේ නමකි.

මාතර දිසාවේ වැල්ලබඩ පත්තුවේ ඌරුගමුව ගම්මානයේ 1944 මාර්තු මස 05 වැනිදා උන්වහන්සේ ජන්ම ලාභය ලැබීය. ඌරුගමුවේ විසූ පී.ඇල්. කරෝලිස් අප්පුහාමි හා ඩිංගිරිහාමි කොඩිතුවක්කු දෙමහල්ලන්ගේ දරුවන් නව දෙනා අතර හයවැන්නා බවට පත්වූයේ වාචිස්සර නාහිමියන් ය. ගිහි නම වූයේ ඒ.පී. ලියනගේ ය.

මේ දරුවා ඌරුගමුව මෙතෝදිස්ත විද්‍යාලයටත් අනතුරුව විද්‍යාරාජ විද්‍යාලයටත් ඇතුළත්ව ඉගෙනුම ලැබූ අතර, වැඩි සැලකිල්ලක් ආගමික කටයුතු කෙරෙහි දක්වන්නට විය. පැවිද්දට දැක් වූ කැමැත්ත නිසාම මව්පිය දෙපළ විසින් එම දරුවා වීරකැටියේ කවිශ්වර නාහිමියන්ට ගෙනැවිත් භාර දුන් අතර අනතුරුව වැඩිදුර අධ්‍යාපනයට මරදාන මාළිගා කන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් කිරීමට නා හිමියෝ කටයුතු කළහ. 1960 – 1964 දක්වා පිරිවෙන් අධ්‍යාපනය ලබා ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් උසස් ලෙස සමත්ව කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වූ ඔහු 1964 වර්ෂයේ ජූනි මස 22 දා වීරකැටියේ කවීශ්වර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිද්ද ලැබීය. ඒ ඌරුගමුවේ වාචීස්සර නමින් ය. පසුව නුගේගොඩ ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. නාහිමිවරු ඇසුරෙන්, පිරිවෙන් තුළින්, විශ්වවිද්‍යාලයෙන්, පාලි, සංස්කෘත, සිංහල භාෂාත්‍රය ප්‍රගුණ කර ඊට අමතරව බුද්ධ ධර්මය ඇතුළු ධර්ම ශාස්ත්‍ර දැනුම් සම්භාරයෙන් පෝෂිත වාචීස්සර නාහිමියෝ 1967 ජූනි 22 දින අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක කොස්ගොඩ ධම්මවංශ මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් බලපිටිය මහා කප්පින වලව්ව උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා වූහ. එකල එක් ශාලාවක පමණක් පවත්වාගෙන ගිය ධර්ම දූත මධ්‍යස්ථානය වාචීස්සර නාහිමි 1959 දී පැමිණීමෙන් පසු දියුණු විය. ධර්මදූත පින් බිමේ නිර්මාතෘ විරකැටියේ කවීශ්වර නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ගොඩපිටියේ ධම්මරතන පණ්ඩිත නාහිමිපාණන් වහන්සේ සම්මාන විහාරාධිපති ධූරයටත් ඌරුගමුවේ වාචීස්සර නාහිමියන් විහාරාධිපති ධූරයටත් 1998 දී පත් වූහ.

ඌරුගමුවේ වාචීස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වය යටතේ ආගමික කටයුතු පමණක් නොව විවිධාකාර වූ සමාජ සේවා කටයුතු ද සිදු කරනු ලබයි. කලණ මිතුරු සේවය සංවිධානයෙන් ප්‍රදේශයේ දිළිඳු පවුල් තෝරා සෑම මාසයකටම වරක් වියළි ආහාර පාර්සලයක් බැගින් බෙදා දෙති. මෙයට අමතර වාචීස්සර නාහිමියන්ගේ උපදෙස් පරිදි නිවාස නොමැති අයට අත දීමක් වශයෙන් නිවසට අවශ්‍ය ගොඩනැගිලි උපකරණ බෙදාදීම, අසරණ රෝගී අයට අවශ්‍ය බෙහෙත් ලබාදීම, ඉගෙනීමට පොත්පත් නොමැති ළමයින්ට පොත්පත් උපකරණ ආදිය ලබාදීම ද සිදු කෙරේ. නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මරණයට නියමිත ගවයින් මරණින් මුදා කිරි ගොවියන් අතර බෙදා දෙයි. මේ වන විට ගවයින් සිය ගණනකට ජීවිත දානය දී තිබේ.

නුගේගොඩ, පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයට සම්බන්ධ මධ්‍යස්ථාන රැසක් වෙයි. ඒවා අතර අන්දරවැව ධර්මදූත ආශ්‍රමය, රඹුක්කන ධර්මදූත මධ්‍යස්ථානය, රිදියගම බෝධිරුක්ඛාරාමය, රිදියගම විජයාරාමය සහ බෝධිමළු විහාරය ආදිය වෙයි. මෙම මධ්‍යස්ථානවල අඩුපාඩු සොයා බලා ඒවා සලසාදීම ද වාචීස්සර නාහිමිගේ ව්‍යාපෘතිවලට අයත් වේ. අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායද වාචීස්සර නාහිමියන්ගේ ශාසනික ජාතික සමාජ සේවාවන් අධ්‍යයනය කොට සතුටට පත්ව ඒ සඳහා උන්වහන්සේට දැක්විය හැකි ඉහළම ගෞරවය දක්වා තිබීම දායක දායිකාවන් කාගේත් අමන්දානන්දයට හේතුවකි. තත් නිකායික කාරක සංඝ සභික ධූරයක් උන්වහන්සේට පිරිනමා ඇත. ඒ සමගම ‘ශාසන කීර්ති ශ්‍රී’ ගෞරව නාමය ද ශාසනික සේවාවට ගෞරවයක් ලෙස ප්‍රදානය කර තිබේ.

ඌරුගමුවේ වාචීස්සර නාහිමියන් මේ වන විට හැත්තෑ පස්වෙනි වියෙහි පසුවෙති. ශාසනික ජාතික සමාජ සේවාවන් තවදුරටත් එලෙසින්ම සිදුකරගෙන යාමට තෙරුවන් සරණත්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයත්, රැකවරණයත් දීර්ඝායුෂ හා නිරෝගි සැපතත් ප්‍රාර්ථනා කරමි.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]