UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 20 : කුරුණෑගල නිල්ලග්ගම බෝධිඝරය

කුරුණෑගල නිල්ලග්ගම බෝධිඝරය

අසෝක රාජ යුගයේ (ක්‍රි.පූ. 272 – 232 ) සිටම බුද්ධගයාවෙහි ශ්‍රී මහ බෝධින් වහන්සේ සඳහා නිමවන ලද බෝධිඝරය ගැන සඳහන් වෙතත් එහි සම්පූර්ණ සැලැස්ම කෙබඳුවීදැයි දැනගැනීම අසීරු ය. අලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් මහාබෝධියෙහි පුරාවිද්‍යා පරීක්ෂණ පවත්වන කාලයේ දී පැරැණි ගෘහය විනාශයට පත්ව තිබිණි.

භාරතීය පුරාණ බෝධිඝර පිළිබඳ තොරතුරු දැන ගත හැක්කේ පුරාණ ජම්බුද්වීපයේ භාරුත් හා සාංචි මූර්ති කැටයම්වල නිරූපිත බෝධිඝරයන්ගෙන් පමණි. ලක්දිව අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ සඳහා ද බෝධිඝරයක් නිර්මාණය කර තිබුණු බව වංශ කතාවන්ගෙන් සහ ටීකා ග්‍රන්ථයන්ගෙන් ද හෙළි වෙතත් බොහෝ විට ප්‍රතිසංස්කරණවලට භාජනය වීම හේතුකොටගෙන එහි සැලැස්ම වෙනස්වීගොස් ඇත. එසේ වුව ද, භාග්‍යයකට මෙන් ලක්දිව පැරැණි බෝධිඝර සැලැස්ම හඳුනා ගැනීමට බොහෝ දුරට උපකාරීවන නෂ්ටාවශේෂ වූ බෝධිඝරයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පෙදෙසින් සොයාගෙන ඇත. එය නිල්ලග්ගම බෝධිඝරයයි. මෙය ප්‍රථමයෙන්ම සොයාගෙන ඒ පිළිබඳ සැලසුම් සහිත වාර්තාවක් 1905 දී ඉදිරිපත් කළේ එවක පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසිනි. එසේ වුව ද ශිලා ලේඛනයක අනුසාරයෙන් එම බෝධිඝරයේ නටබුන් හඳුනා ගන්නා ලද්දේ ද, එය යථා පරිදි සංරක්ෂණය කරන ලද්දේ ද 1954 වර්ෂයේ දී එවක පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසිනි. (මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මහතා ලියූ ලිපිය මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ පර්යේෂණ රණවීර ගුණවර්ධන සහ ජිනදාස ලියනරත්න සංස්කෘති ප්‍රකාශන සංගමය පි. 106 – 1972)

පුරාණ ශ්‍රී ලංකාවේ පුදබිම්වලට ප්‍රතිමා ඝරය (පිළිමගෙය), උපෝසථඝරය, (පෝය ගෙය), බෝධිඝරය (බෝධිය සඳහා ගෙය), ජන්ථාඝරය (ගිනිහල්ගෙය) ප්‍රධාන ඝරය (භාවනා සඳහා වූ ගෙය) ආදිය දක්නට ලැබුණි.

අනුරාධපුරයේ මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඳහා ද පුරාණ කාලයේ බෝධිඝරයක් සෑදීමෙන් ප්‍රථම වතාවට පූජාවක් කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 247 – 207) විසිනි. එම බෝධිඝරය ප්‍රතිසංස්කරණය කර එහි බිත්ති අලංකාර සිතුවම් නිර්මාණ කරවා ධාතුසේන රජු (ක්‍රි.ව. 455 – 473) ශ්‍රී මහ බෝධීන්වහන්සේ වෙනුවෙන් බොහෝ පූජා කළේ ය. කිත්සිරිමෙවන් රජු එහි බෝධිඝරය වහලය ලෝහ තහඩු වලින් සෙවිලි කරවී ය.

(ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය – ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි පි. 272 - - (1994)

භාරත දේශයේ පැරැණිතම මූර්ති කැටයම් ඇති භාරුත්, සාංචි, අමරාවතී හා නාගර්ජුණ කොණ්ඩ වැනි පුදබිම්වල ඇති මූර්ති කැටයම්වල බෝධිඝර මූර්ති කැටයම් දක්නට ලැබේ. (භාරත ලංකා බෞද්ධ උරුමය, සිරිසමන් විජේතුංග පි. 1 – 6 දිවුලපිටිය සරස්වතී ප්‍රකාශකයෝ - 2006 )

නිල්ලග්ගම බෝධිඝරය

දැනට ලංකාවේ පැරැණි ස්වරූපයෙන් තිබී සංරක්ෂණය කර ඇති ඉතා විශිෂ්ට බෝධි ඝරය නිල්ලග්ගම බෝධිඝරයයි. මෙහි දක්නට ලැබෙන ශිලා ලේඛන අක්ෂර අනුව ක්‍රි.ව. 9 – 10 සියවස්වලට අයත්යැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉතාමත් නිර්මාණාත්මක මූර්ති කැටයම්වලින් යුක්ත වූ මෙහි නිල්ලග්ගම බෝධිඝරය අයත් ගොඩනැගිල්ල ශිලා පුවරුවලින් ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර තිබීම එකල වූ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල නිපුණතාවය ප්‍රකාශ කරන්නකි.

නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වේ. පැත්ත අඩි 34 ක් වූ පාදමක් මත මෙය නිර්මාණය කර ඇත. මෙම පාදමෙහි උස අඩි 4 ක් පමණ වේ. මෙහි නැගෙනහිර පැත්තේ සහ බටහිර පැත්තේ දොරටු දෙකකි. පුරාණ බෝධිඝරයට අයත් වූ ගල්කණු කීපයක් ද හමු වී ඇත. මෙම ගල්කණු මත වහලයක් ද පැවැති බව මෙහි හමුවන උළු කැට කැබලිවලින් හෙළි වේ.

මෙහි ඇතුලු මාලයේ මැද බෝධිය රෝපණය කර තිබෙන්නට ඇත. මෙම මාලකය සම්පූර්ණයෙන්ම ශිලා වලින් (ගල්වලින්) නිර්මාණය කර තිබේ. වටේට සාදා ඇති ගල් වැට මත ඉදිරිපස ඇත්රූප නිර්මාණය කර ඇති තීරුවකි. මෙම බෝධිඝරයෙහි ඇතුළත මළුවට ඉහළින් සිටින සේ නිර්මාණය කර ඇති අතර ඒවාද මූර්ති කැටයම්වලින් අලංකාර කර ඇත. මෙහි අත්තිවාරම් ගල්ලෑල්ලේ හංසරූප නෙළා තිබේ.

නිල්ලග්ගම බෝධිඝරයේ බටහිර පැත්තේ වම්පසට බරව පිහිටා ඇති පිටත මණ්ඩපයේ පිට පැත්තේ අත්තිවාරම් ගලෙහි ලියා තිබෙන ශිලා ලේඛනයකි. මෙම ශිලා ලේඛනයට ඉහළින් ගල් වැටෙහි ඇත්රූප 105 ක් නිර්මාණය කර තිබේ. එම ලේඛනය මෙසේ ය. ‘සම්බුදුම මොණර ගල් බුද් වෙමි. මේ දස ඇතුන් කරවා මහා බෝධියට පූජා කළ පිනෙන් සම්මා සම්බුදු බව ලැබම්වා!’

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් මෙහි අර්ථය පැහැදිලි කර ඇත. මෙහි සඳහන් වන අක්ෂර අනුව ක්‍රිස්තුවර්ෂ 8 – 9 යන සියවස්වලට අයත් සේ සැලකේ. මේ අනුව බෝධිඝරය ඉදි කිරීම ඒ කාලයට අයත් සේ සැලකේ.

දෙරටු මණ්ඩපයේ දෙපස වූ ඵලකයෙහි යටි පැත්ත ‘මංගල විහඟ’ යන නාමයෙන් හඳුන්වනු ලබන හංස පේළියකින් අලංකාර කර තිබේ. දොරටුවේ පාමුල කැටයම් නැති සඳකඩ පහනකි. ඒ සමඟම පියගැට පේළි දෙකකි. පියගැට දෙපැත්තේ කොරවක්ගල් දෙකක් වේ. මකර රූප කැටයම කොරවක් ගල්වල නෙළා ඇත. දොරටු මණ්ඩපය මුදුනට සමතලා වහලයක් පරිදි යටිපැත්ත ඉතා සුමට කරන ලද ගල් පුවරුවකින් ආවරණය කර තිබේ. උළුවස්සේ දාර සහ උඩ එළිපත ඉතා අලංකාර අන්දමට කැටයම් කර තිබේ. පිටතින්ම වූ වටේට දක්නට ඇති ලිස්තරයේ ගිනිසිළු රටාවකි. උළුවස්සේ ඉහළට නගින කළස් කැටයම් ය.

බෝධිඝරයේ මධ්‍ය මාලකය ඉතාමත් විසිතුරු ලෙස කැටයම් කර ඇත. ඊට ඉහළින් තීරුව මත උක්කුටුයෙන් සිටින හා පසකට හැරී සිටින සිංහරූප පෙළකි. මෙවැනි අලංකාර වූ මූර්ති කැටයම් සහිත බෝධිඝරයක් ලංකාවේ කිසිදු පුදබිමකින් හමු වී නැති බව කලා විචාරකයන් හා පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk