බොදු සාරධර්ම
සුරකිමු
කාමභෝගී ගිහියාට වස්තුව, සැප සම්පත් ඉපයීමේ අවසරය බුදු දහමෙන් ලබා දී ඇත. ඇතැම්
අවිචාරවත් විචාරකයන් සූත්‍ර දේශනා කිහිපයක් මත පදනම් වූ බුදු දහම සර්ව අසුබවාදයක්
ලෙසට නිර්වචනය කර ඇත. ඔවුන් එම සූත්‍ර දේශනා කිහිපයක් මත පදනම් ව බුදු දහම සර්ව
අසුබවාදයක් ලෙසට නිර්වචනය කර ඇත.
ඔවුන් එම සූත්‍ර කිහිපයවත් ගැඹුරින් අධ්‍යයනය කර නොමැති බව කරුණු සලකා බැලීමේ දී
පෙනේ. ගිහියාට වස්තුව, සැප සම්පත් ආදිය ඉපයීමට අවස්ථාව බුදු දහමෙන් ලබා දී ඇතත් එහි
සීමාවන් දක්වා ඇත. ඒ වචන දෙකකිනි. එනම් ධාර්මික බව හා නිවැරැදි බවයි. යමෙකු ධනය
ඉපයිය යුත්තේ ධාර්මික ක්‍රමයකිනි. එනම් ධාර්මික රැකියාවකිනි. එසේම එය නිවැරැදි ද
විය යුතු ය.
වර්තමානය වන විට ජනතාව තුළ ඉපයීමේ උනන්දුව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. එයට හේතුව
ජනගහනය වර්ධනය වීමත් ඒ තුළ පරිභෝජනය ඉහළ යාමත් ය. මෙය සැබැවින්ම පොදු ධර්මතාවයකි.
එසේ ම ඉපයීම, පරිභෝජනය යන කරුණු සමඟ ම මිනිසුන් තුළ ගුණ ධර්මයන්ගේ විශාල හීන වීමක්
ද දක්නට ලැබේ.
ගිහියාට අවශ්‍ය නම් ඕනෑ තරම් වස්තුව ඉපයිය හැකි ය. එයට බාධාවක් නැත. නමුත් ධනය උපයන
ක්‍රමය ධාර්මික මෙන් ම නිවැරැදි ද විය යුතු ය. යම් ඉපයීමේ මාර්ගයක් ධාර්මික වූ
පමණින් එය නිවැරැදි වන්නේ නැත. යමක් නිවැරැදි වූ පමණින් ධාර්මික වන්නේ ද නැත. එම
නිසා බෞද්ධ ගිහියා යමක් උපයන විට තමන් කරන රැකියාව හෝ ජීවනෝපාය මාර්ගය පිළිබඳව
වඩාත් සැලකිලිමත් විය යුතු ය.
වර්තමානයේ බොහෝ අය ධාර්මික රැකියාවල නිරත වුව ද ඒ තුළ නිවැරැදි බවක් දක්නට ලැබෙන්නේ
ඉතාමත් අඩුවෙනි. තමා තුළ පවතින අලස ස්වභාවය නිසා තමා සේවය කරන ආයතනයෙන් යමක් රැගෙන
ඒමට ම ඇතැමෙක් කල්පනා කරති. එසේ ම තමා සේවය කරන කාලය තුළ වංචා කිරීමටත්, කාලය වංචා
කිරීමටත් පෙළඹී සිටිති. සැබැවින් ම යමෙකුගෙන් මේ පිළිබඳ ව විමසුවහොත් නොයෙකුත් හේතු
ඉදිරිපත් කරයි. නමුත් සෑම කෙනෙක් ම කල්පනා කළ යුත්තේ තමා විසින් ඉදිරිපත් කරන එම
හේතු සැබෑ හේතු ද නැතහොත් තමා විසින් තමා හෝ අනෙකා රැවටීමට මවා ගත් හේතු ද යන්නයි.
රැකියාවට අප යෑමට ප්‍රමාද වුවත් වේලාසනින් පිටවීමට කවුරුත් කැමති ය. එසේ ම වෙනත්
පෞද්ගලික කටයුත්තක දී උදෑසන අවදිවීම, පිටත් වීම මෙන් ම රෑ බෝ වීම ද ගැටලුවක් නොවේ.
මෙය වර්තමානයේ පන්සලට නොපැමිණීමට බෞද්ධයන් ඉදිරිපත් කරන හේතුවක් ද වේ. ධර්ම
දේශනාවක්, බෝධි පූජාවක් අවසන් වන විට රෑ බෝ වේ. අතීතයේ මිනිසුන් අරියවංශ දේශනා වැනි
සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කළේ මුළු රාත්‍රිය ම විහාරස්ථානයට වී සිටිමිනි. නමුත්
වර්තමානයේ ධනවාදී ආර්ථීක ක්‍රමයක් තුළ එසේ කළ නොහැකි ය. නමුත් වෙනත් පින්කම්
අවස්ථාවක දී රෑ බෝ වි එය අවසන් වුව ද නිවෙස් කරා යාමට ඕනෑ තරම් පහසුකම් නාගරික ව
මෙන් ම ග්‍රාමීයව ද සැකසී තිබේ. එවන් වටාපිටාවක් තුළ වෙනත් කරුණු ඉදිරිපත් කරමින්
තමා රවටා ගැනීම කොතෙක් දුරට යුක්ති සහගත දැයි තමා විසින් තමාගෙන් ම ප්‍රශ්න කළ යුතු
ව තිබේ. වෙසක්, පොසොන් සමයේ දන්සල් යාමට, තොරන් බැලීමට මෙන් ම සංගීත සංදර්ශන
නැරඹීමට ද මහත් උනන්දුවෙන් පෙර පැවසූ අපහසුකම් මැඩගෙන පැමිණේ. නමුත් අප මතක තබා ගත
යුතු දේ නම් එවන් දේ බෞද්ධ අපේ අවසාන අරමුණට කිසිසේත් ම උපකාරයක් නොවන බවයි. එසේම
තමාට අපහසුකම් පවතින කාලයක ඒ පිළිබඳව කල්පනා කර සතුටුවීමට හැකි කාරණා නොවන බව ද මතක
තබා ගත යුතු ය.
ඇතැම් කෙනෙක් රාජ්‍ය සේවය කරති.තවත් අයෙක් පෞද්ගලික අංශයේ සේවය කරති. කුමන අංශයක
සේවය කළ ද සැවොම කරන්නේ රටට සේවයකි. රටේ දියුණුවට, අනාගත රැකවරණයට කරන සේවයකි. එයට
අප කැපවිය යුතු ය. අපට යම් වැටුපක් හිමි වේ. එසේ ම කළ යුතු වැඩ කොටසක් ද නිශ්චය
වශයෙන් පැවරී ඇත. තව ද අපේ ම අනාගත පරපුරේ රැකවරණය සැලසෙන්නේ ද අප කරන සේවය මගිනි.
එම නිසා කාලය කා දමන කිසිදු දෙයක් අප සේවය කරන ස්ථානයේ දී නොකළ යුතු ය. කාලය වෙනත්
දේට යෙදවීම ද සොරකමකි. සැබවින් ම ඔබෙන් යම් කෙනෙක් ඔබ සොරකම් කරන්නේදැයි ඇසූ විට ඔබ
නැත යනුවෙන් පිළිතුරු දෙයි. එහෙත් ඔබ කාලය සොරකම් කර ඇත්නම් ඔබත් සොරෙකි. එසේ
කිරීමේදී ආයතනයේ කටයුතු වෙනත් අයෙකුගේ දෝෂයක් දැක එය නැති කිරීමට ඔබත් අරගල කරනවා
විය හැකි ය. නමුත් ඔබ සැබෑ අරගලකරුවෙකු වන්නේත්, ඔබ නිවැරැදි තැනැත්තෙකු වන්නේත් ඔබ
සැම අතින් ම පිරිසුදු නම්, නිවැරැදි නම් පමණි. එම නිසා සෑම අවස්ථාවක දී ම ඔබ කරන
සේවය, ක්‍රියාව ගැන සැලකිලිමත් වන්න. පුහුදුන් මිනිසුන් අතින් වැරැදි දේ සිදු වේ.
නමුත් එය වහා නිවැරැදි කරගත යුතු ය. සෑමවිටම කල්පනා කළ යුත්තේ අනෙකාගේ වැරැදි ගැන
නොව තමා අතින් සිදු ව ඇති වැරැදි පිළිබඳව ය.
එම නිසා අප විසින් සිදු කරන රැකියාව ධාර්මික වුව ද එය නිවැරැදි ව කරන්නේ දැයි නැවත
නැවතත් සිතා බැලිය යුතු ය. යම් රටක් ශ්‍රේෂ්ඨ වන්නේ ස්වභාවික පරිසරය නිසා නොව එහි
ජීවත් වන මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වය මත ය. මිනිසුන් ශ්‍රේෂ්ඨ වන්නේ උසස් රැකියාවක
නිරතවීමෙන්, ඉහළ ආදායමක් ලැබීමෙන් නොව ගුණ ධර්ම කොතෙක් දුරට රකින්නේ ද යන කාරණාව මත
ය. යමෙකු ඔබ වරදට පොළඹවා ගන්නට උත්සාහ කරන්නේ නම් ඔහු මග හැරීමටත් ඔහුට නිවැරැදි දේ
පෙන්වා දීමටත් ඔබ සමත් විය යුතු ය. නිරන්තරයෙන් ම අනෙකාට බැණ වදිමින්, දොස් නගමින්
සිටීමෙන් අපත් රටත් දියුණු නොවේ. බෞද්ධ හර පද්ධතිය අපේ ජීවිතවලට එක් කිරීමට නම් අප
එය පටන් ගත යුතු ය. අපේ දුර්වලකම් හඳුනා ගත් විට අපේ ආරම්භය ද ඒ දුර්වල තැනදී ම
යෙදිය යුතු ය.
බෞද්ධ සාරධර්ම එකින් එක අපේ ජීවිතයට එක් කර ගැනීම තුළ අපේ ජීවිතයත් මුළු මහත්
සමාජයත් සුවපත් වේ. එමෙන් ම නිවන කරා යන ගමනේ ආරම්භක ස්ථානය එය විය හැකි ය. හුදෙක්
ඕලාරික දේ කිරීමෙන් කිසිදින ඔබට අවබෝධය ලබා ගත නොහැකි ය. අවබෝධය ලබා ගැනීමට නම් ඔබ
පළමුව ඔබට සත්‍යවාදී විය යුතු ය. අපි අපට සත්‍යවාදී වෙමු. ලෝකයට සත්‍යවාදී වෙමු.
අපි සිතන ලෝකය එවිට ඉබේම නිර්මාණය වේවි.
කොළඹ 05,හැව්ලොක්ටවුන්හි
ඉසිපතනාරාම මහා විහාරාධිකාරි,
තිඹිරිගස්යාය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි , අධ්‍යාපනපති,
වග විජිතවංශ හිමි |