UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් - 17: තමා උපමා කරගත් අත්තූපනායික ධර්ම පර්යාය

තෙවළා බුදු වදන් අතරින් - 17:

තමා උපමා කරගත් අත්තූපනායික ධර්ම පර්යාය

භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි චාරිකා කරන සමයෙහි වේළුද්වාර නම් බමුණු ගමට වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ තම ගමට වැඩම කළේ යැයි අතිශය ප්‍රීතියට පත් වේළුද්වාර ගම් වැසි බමුණෝ උන්වහන්සේ බැහැදැකීමට පැමිණියහ.

බුදුරදුන් හමුවට පැමිණි බමුණෝ , අඹුදරුවන් පෝෂණය කරමින්, මල් ගඳ විලවුන් දරමින්, රන් රිදී පරිහරණය කරමින්, මරණින් මතු ස්වර්ගයේ ඉපදීමට අපේක්ෂාවෙන් සිටින තමන්ට සුදුසු ධර්මයක් දේශනා කරන මෙන් දන්වා සිටියහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ වේළුද්වාර බමුණු පිරිසට අත්තූපනායික ධර්ම පර්යාය දේශනා කොට වදාළ හ. බොහෝ උගතුන්ගේ අවධානයට යොමු වූ මෙම අත්තූපනායික ධර්ම පර්යාය බුදුරදුන්ගේ ධර්මයෙහි සර්වකාලීන අගය පෙන්වන කදිම නිදසුනකි.

වේළුද්වාර බමුණන් ඇමතූ බුදුරජාණන් වහන්සේ,

ගෘහපතියෙනි! මේ සස්නෙහි ආර්ය ශ්‍රාවකයා මෙසේ කල්පනා කරයි. මම වනාහි ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුව කැමැති දුක පිළිකුල් කරන්නෙක් වෙමි. යමෙක් එබඳු මාගේ ජීවිතය විනාශ කරන්නේ නම්, එය මට ප්‍රිය නොවේ. මම ද ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුව කැමති, දුක පිළිකුල් කරන, අන්‍යයන්ගේ ජීවිත විනාශ කරන්නේ නම් එයට අන්‍යයෝ කැමැති නොවෙති. යම් දෙයක් මට අප්‍රිය නම්, අමනාප නම්, ඒ දෙය අන් අයට ද අප්‍රිය අමනාප ය. ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලා තමන් ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ ය. අන්‍යයන් ද ප්‍රාණඝාතයෙන් වළක්වා ලන්නේ ය. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස කියන්නේ ය. මේ ආකාරයට ප්‍රාණඝාතයෙන් වැළකීම අංග තුනකින් පිරිසුදු වූයේ වෙයි.යනුවෙන් අත්තූපනායික ධර්ම පර්යාය පැහැදිලි කළ සේක.

මේ ආකාරයට සොරකම් කිරීම, පරදාර සේවනය යන කායික චර්යාවන්ගෙන් ද, බොරු කීම, කේලාම් කීම, ඵරුෂ වචන කීම, හා හිස් වචන කීම ආදී වාචසික චර්යාවන්ගෙන් ද, තමන් වැළකීමත්, අන්‍යයන් වළක්වා ලීමත්, එම ක්‍රියාවලින් වැළකීමේ වැදගත් කම කියා දීමත් අත්තූපනායික ධර්මපර්යායෙන් අදහස් වේ. කායික හා වාචසික අකුශල චර්යාවෙන් වැළකීමේ දී ප්‍රධාන වශයෙන් නිදසුන් කොට ගන්නේ තමා ය. මිනිසා පමණක් නොව සෑම ජීවියෙක් ම ජීවත් වීමට කැමැති ය. (ජීවිතුකාමා) මරණයට අකැමැතිය, (අමරිතුකාමා) සැප විඳීමට කැමැති ය, (සුඛ කාමා) දුක වේදනාව පිළිකුල් කරයි (දුක්ඛ පටික්කූලා). මෙම ධර්මතාව සියල්ලන්ට ම පොදු ය. එහිලා කෙනෙකුගේ ජාතිය, ආගම, කුලය, ධනය හෝ උගත්කම් ආදිය වැදගත් නොවේ. තමා මෙන් ම අන්‍යයා ද එකම හැඟීම් හා බලාපොරොත්තු සමුදායකින් යුක්ත වේය යන්න වටහා ගැනීම පමණයි මෙහිදී වැදගත් වන්නේ. තමා මෙන් ම අන්‍යයාගේ ද ආකල්ප හා බලාපොරොත්තු පොදුය යන්න වටහාගත් ආර්ය ශ්‍රාවකයා වැරැදි ක්‍රියාවෙන් වැළකීමෙන් ද, අන්‍යයන් වළක්වා ලීමෙන් ද, වැරැදි ක්‍රියාවෙන් වැළකීමේ ආනිසංස හා වැදගත්කම කියා පෑමෙන් ද යන ත්‍රිකෝටි පාරිශුද්ධත්වය ඇතිකර ගනී. තමා හා සම කරමින් අන්‍යයාගේ සිතුම් පැතුම් හා අවශ්‍යතා මැනවින් වටහාගත හැක්කේ ප්‍රබුද්ධ මනසක් සහිත ප්‍රඥා වන්තයෙකුට පමණි. ජීවත් වීමේ අයිතිය, දේපළ රැස්කර තබා ගැනීමේ අයිතිය, ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමේ අයිතිය, සත්‍ය දැනගැනීමේ අයිතිය, වාචික හිංසනයට ලක් නොවී සිටීමේ අයිතිය යන මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති සම්පාදනය වී ඒවා කොතෙක්දුරට ක්‍රියාත්මක වේද යන්න විමර්ශනය කරන්නේ සමාජයක ප්‍රඥාවන්ත ප්‍රබුද්ධ මිනිසුන් අල්ප නිසයි. බුදුරදුන් පෙන්වා දුන් පරිදි අත්තූපනායික ධර්ම පර්යාය නිසි පරිදි ක්‍රියාත්මක වන ප්‍රබුද්ධ සමාජයකට මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කෙරෙන නෛතික ආයතන හෝ සංවිධාන අවශ්‍ය නොවේ. එහෙත් පුහුදුන් මිනිසුන්ගෙන් සුසැදි වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙක් මෙම ධර්ම පරියාය මැනවින් වටහා ගෙන ඇති බවක් නොපෙනේ.

බුදුදහම අනුව ජීවිතය ගත කිරීමට සපථ කළ බෞද්ධයන් අතින් ද මානව අයිතිවාසිකම් උල්ලංගනය වීම් සිදුවේ. එහෙත් වේළුද්වාර වැනි සූත්‍ර දේශනාවක් තිබිය දී බෞද්ධයන් අතින් එවැනි දෑ සිදුවීම කිසිසේත් ම අනුමත කළ නොහැක. මෙම සූත්‍රයේ අන්තර්ගත “යම් ධර්මයක් මට අප්‍රිය, අමනාප නම් කෙසේ නම් එම ධර්මය අන්‍යයන් උදෙසා යොදන්නේ ද?( යො ඛො ම්‍යායං ධම්මමො අප්පියො අමනාපො, කථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති ) ” යන පාඨය දාර්ශනික අතින් අතිශය ගැඹුරු ය. මිනිසකු වශයෙන් ඉපදුණ සෑම අයෙකුට ම ඊට අයත් ගෞරවය හා නිදහස හිමිවිය යුතු ය. මිනිස් නිදහස උපරිමයෙන් තහවුරු විය යුතුය යන පිළිගැනීම පෙරටත් වඩා ඉදිරියට එමින් පවතින විශ්වාසයකි. පිළිගැනීමකි. බුදුරදුන් වදාළ ඉහත දේශනා පාඨයෙහි ගැඹුරු අර්ථය එයයි. කෙනෙකු තවත් අයෙකු වෙත මුදාහරින හිංසනය, පීඩනය තේරුම් ගත යුත්තේ තමන් උපමා කරගෙන ය. මිනිසා තුළ සහජයෙන් ම පිහිටා තිබෙන සැප විඳීමට ඇති කැමැත්තත්, දුකට දක්වන අකැමැත්තත් වටහා ගැනීමට හැකි නම් කිසිවිටෙක කිසිදු අයුරකින් අන්‍යයන්ගේ නිදහසට හා ගෞරවයට හානි නොකරනු ඇත.

මේ ධර්මතාව මැනවින් වටහා නොගත් බොහෝදෙනකු තම කායික වාචසික චර්යා අන්‍යයන්ට පීඩාවන පරිද්දෙන් පවත්වාගෙන යන අවස්ථා සුලබව දක්නට ලැබේ. වේළුද්වාර ගම් වැසි බමුණු පිරිස ඉල්ලා සිටියේ නිර්වාණය පිණිස හේතුවන ගැඹුරු ධර්ම දේශනාවක් නොවේ. ආරම්භයේ දී ම ඔවුහු තම අභිලාසය කුමක්දැයි බුදුරදුන්ට පැවසූහ. ඒ අනුව සාර්ථක ගිහි ජීවිතයක් ගත කොට මරණින් පසුව ස්වර්ගගාමී වීම ඔවුන්ගේ ඒකායන අභිලාෂය විය. බුදුරජාණන් වහන්සේද ඔවුන්ට විමුක්තිය පිණිස යොමුවුණු ගැඹුරු ධර්මයක් වෙනුවට සදාචාර සම්පන්න අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය අවබෝධය ලැබෙන දහමක් දේශනා කළහ. දස කූශල චර්යාවන්ට අයත් කායික හා වාචසික සංවරය ආවරණය කෙරෙන පිළිවෙත පමණක් එහිදී පැහැදිලි කොට වදාළහ. පුද්ගලයාගේ කායික, වාචසික චර්යා ඍජුව ම ඔහුට හා සමාජය ට බලපෑම් කරයි. අත්තූපනායික ධර්ම පර්යායෙන් සිදුවන්නේ එකී චර්යා නිවැරැදිව හසුරුවා ගැනීමට අවශ්‍ය අවබෝධය ලබාදීම යි. එම අවබෝධය තමා ආදර්ශකොට ගත්තකි. වරදින් වැළකිය යුත්තේ ආත්මාවබෝධය තුළින්ය. නීතිය, අපාය හෝ දඬුවම ආදර්ශයක්කොට ගැනීම අවශ්‍ය වන්නේ ප්‍රබුද්ධ පුද්ගලයා ට නොවේ. එය අවශ්‍ය ධර්මය පිළිබඳ අවබෝධයක් නැති පුහුදුන් තැනැත්තා ට ය. තමා හා අන්‍යයා මැනවින් වටහාගත් අයෙකුට වරදින් නිදහස් වීමට බාහිර ආයතනයන් පෙළඹවීම අවශ්‍ය නොවේ. මිනිසා අවබෝධයෙන් ඉහළට යන විට වැරැදි නොකර සිටීම ඔහුගේ සාමාන්‍ය පුරුද්ද බවට පත් වේ. මෙම සූත්‍රය අවසානයේ දැක්වෙන පරිදි බෞද්ධ ශ්‍රාවකයා තමා ආදර්ශ කොට ගනිමින් වරදින් වළකින අතර අන් අය ද එයින් වැළැක්වීමටත්, වරදින් වැළකීමේ අගය පැහැදිලිකර දීමටත් උනන්දුවන යහපත් අයෙකු බවට පත්වේ. ත්‍රිකෝටි පාරිශුද්ධත්වයට අයත් දෙවන හා තෙවන පාරිශුද්ධි මගින් බෞද්ධ ශ්‍රාවකයාගේ සමාජ වගකීම කවරේද, යන්න පැහැදිලි වේ. සැබෑ බෞද්ධ ශ්‍රාවකයා තමා වරදින් නිදහස් වී සමාජයට ද නිසි මඟපෙන්වීමක් සිදු කරයි. එසේම එම තැනැත්තා වරදට අනුබල දීමෙන් ද වැළකෙයි. ඒ ගැන සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපාරයක නිරත වෙයි. මේ අනුව වේළුද්වාර බමුණන්ට දේශනා කළ දහම බෞද්ධයාට පමණක් නොව විශ්ව සමාජයට ම කිසිදු භේදයකින් තොරව අදාළ කරගත හැකි වේ. සූත්‍රය අවසානයේ දැක්වෙන්නේ යට කී සදාචාර සම්පන්න ප්‍රතිපදාවට අයත් අංග හත අනුගමනය කරන ආර්ය ශ්‍රාවකයා ට තමා සතර අපායෙන් මිදුණු නියත සම්බෝධිපරායන වූ සෝතාපන්න ශ්‍රාවකයෙකු යැයි ස්වයං විනිශ්චයක යෙදිය හැකි බවයි.

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk