UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

උඳුවප් අමාවක 2019.01.05

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට
ජනපති කළ මෙහෙවර ප්‍රශංසනීය යි


තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා සකල ලෝකවාසී සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පළමු, දෙවැනි හා තෙවැනි ධර්ම සංගායනාවන්හි දී සංගෘහිත විය. ඒ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා ය. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් පැවැත් වූ තෙවැනි ධර්ම සංගායනාවේ දී සම්බුද්ධ දේශිතය සූත්‍ර, විනය, අභිධර්ම යනුවෙන් සංගෘහිත වූ අතර ඒ උතුම් ත්‍රිපිටක ධර්මය දිවි හිමියෙන් ආරක්ෂා කොට අනාගත පරපුරට දායාද කරන්නට මහා සංඝරත්නය ඇතුළු ගිහි බෞද්ධ ජනතාව මහත් පරිශ්‍රමයක් දැරූහ.

භාණක මුඛ පරම්පරාවෙන් පෝෂිත වූ ඒ නිර්මල සම්බුදු දහම ශ්‍රී ලංකාවාසින්ට දායාද වන්නේ ක්‍රි.පූ. 3 වන සියවසේ දී සිදු වූ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනයත් සමඟ ය.

මෙසේ උරුම වූ සම්බුදු දහම ශ්‍රී ලංකාවේ මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මුඛ පරම්පරාවෙන් ඉදිරියට රැකගත්හ. වළගම්බා රාජ්‍ය සමයේ ඇති වූ ද්‍රවිඩ ආක්‍රමණත්, බැමිණිතියාසාය නම් දරුණු සාගතයත්, දුර්භික්ෂයත් නිසා මහා සංඝරත්නය ද විඩාපත් වූ හ. බොහෝ භික්ෂූන් වහන්සේ ඉන්දියාවට වැඩම කොට ශ්‍රී සද්ධර්මය කට පාඩමින් සුරක්ෂිත කරගත්හ. එහි යාමට නො කැමැති වූ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් කඳුරට දකුණු දේශයට වැඩම කොට අති දුෂ්කර දිවි පෙවෙතක් ගෙවමින් කුසට නිසි අහරක් නොමැතිව වුව ද ත්‍රිපිටකය සුරක්ෂිත කරගත්හ.

මෙවැනි දුර්දසාපන්න අභියෝග හමුවේ සම්බුදු දහමට එල්ලවිය හැකි තර්ජන දුටු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ත්‍රිපිටකය ලේඛණ ගත කිරීමෙහිලා උත්සුක වූහ. පොළොන්නරු යුගයට අයත් සාර සංග්‍රහය සඳහන් කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් හාරසිය පනස් අවුරුද්දක් මුළුල්ලෙහි භික්ෂූන් කට පාඩමින් රැගෙන ආවා වූ අටුවා සහිත ත්‍රිපිටක ධර්මය සත්ත්වයින්ගේ බුද්ධි පරිහානිය දැක පන්සියයක් මහරහතන් වහන්සේ ලක්දිව මලය දේශයෙහි අලු ලෙණට රැස් ව ජනපදාධිපතිතුමාගේ ආරක්ෂාව ඇතිව පොත්වල ලිවූහ’යි යනුවෙනි.

මෙසේ ක්‍රි.පූ. පළමුවැනි සියවසේ වළගම්බා රජු දවස, ලෝකයේ ප්‍රථම වරට ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය තල්පත්වල ලේඛනාරූඪ විය. එසේ ලේඛනගතවූ ශී‍්‍ර සද්ධර්මය දෙදහස් පන්සියය වැනි සම්බුද්ධ ජයන්තියේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංස්කරණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය විය.

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද මහ නායක ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධාන සම්පාදකත්වයෙන් යුතු විද්වත් ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කර ඇත.

මෙසේ වසර 2300 ට අධික කාලයක් සුරක්ෂිත වූ උතුම් ති‍්‍රපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ලද මහත්ම භාග්‍යයක් වනු ඇත.

වෙසෙසින් ශ්‍රී සද්ධර්මය විකෘති කරන ඇතැම් මන්දබුද්ධිකයන්ට සබුද්ධික වන්නට ද, ධර්මය විකෘති කර දේශනා කරන ජනකාන්ත දේශකයන් පසුපස යමින් මිත්‍යා දෘෂ්ඨිය වැළඳ ගන්නා ජනතාවට ද ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම තුළනිර්මල බුදු දහම අවබෝධ කරගන්නට අවස්ථාව උදාවනු ඇත.

ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකය ප්‍රධාන වේ. එය ආරක්ෂා කර ගැනීම සමස්ත ජාතියේම වගකීමකි. එහෙයින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරන අද දින සෑම බෞද්ධ සිද්ධස්ථානයක ම, ඒ වෙනුවෙන් පැවැත්වෙන ආගමික කටයුතුවලට සහභාගි වී තම දරුවන්ට ද මේ උතුම් ක්‍රියාව හා ත්‍රිපිටක ධර්මය පිළිබඳව හැඟීමක් ඇති කරවීම සමස්ත ගිහි බොදු ජනතාවගේ ම වගකීම විය යුතු ය.

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]