මනසෙහි සංසිඳීමට නම් ...
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
“බොදු දනට කරුණාවෙනි” ලිපි පෙළෙන් පෙන්වා දෙන්නට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන්
වහන්සේ දේශනා කොට වදාළ ධර්මය එදිනෙදා ජීවිතයට ප්‍රායෝගික වශයෙන් ගලපා ගන්නේ කෙසේ ද
යන කරුණ පිළිබඳවයි.
යම් කෙනෙක් ලෞකික වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දැන හඳුනාගෙන, ධර්ම මාර්ගය දැන හඳුනා
ගෙන කටයුතු කරන විට ස්වභාවයෙන් ම ලෝකෝත්තර මාර්ගයත් එළිපෙහෙළි වෙනවා. එසේත් නැතිනම්
විවෘත වනවා. සසර ගමනත් සුවදායී වනවා. එනම් දුගතිය වළකා, නියත සම්බෝධි පරායන හෙවත්
අත්‍යන්තයෙන් ම අරහත් මාර්ගයෙන් නිවන් අරමුණු කරගන්නා බව පැහැදිලියි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය ධර්මානුකූලව
ගත කළ යුතුයි. සතුටින් ජීවත්විය යුතුයි. මේ දහම් ලිපි පෙළේ අප ඒ පිළිබඳව සඳහන් කළා.
ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව කිසිවිටෙකවත් ඇසෙන් රූප බලන්නට එපා යැයි දේශනා
කරන්නේ නැහැ. කනෙන් ශබ්ද අසන්නට එපා යැයි දේශනා කරන්නේ නැහැ. නාසයෙන් ආග්‍රහණය
ලබන්නට එපා යැයි දේශනා කරන්නේ නැහැ. දිවෙන් රස බලන්නට එපා යැයි සඳහන් කරන්නේ නැහැ.
කයෙන් ස්පර්ශ ලබන්නට එපා යැයි සඳහන් කරන්නේ නැහැ. සිතෙන් සිතිවිලි උපදවා ගන්නට එපා
යැයි සඳහන් කරන්නේ නැහැ. එසේ නම් දේශනා කරන්නේ කුමක් ද?
ඇසෙන් රූප බලන්නට, කනෙන් ශබ්ද අසන්නට, නාසයෙන් ආග්‍රහණ ලබන්නට, දිවෙන් රස බලන්නට,
කයෙන් ස්පර්ශ ලබන්නට, මනසින් සිතිවිලි නගා ගන්නට සිදු වෙනවා. මෙවැනි අවස්ථාවක
කායික, වාචසික සංවරය නම් වූ සීලයෙහි ම පිහිටා ඔබ රූප බැලිය යුතුයි. ශබ්ද ඇසිය
යුතුයි. ආග්‍රහණ ලැබිය යුතුයි. රස බැලිය යුතුයි.. ස්පර්ශ ලැබිය යුතුයි. සිතිවිලි
නැගිය යුතුයි. එහි අදහස කුමක් ද? ඔබ තුළින් පස්පව්, දස අකුසල්, වැරැදි සිදුවෙන්නේ
නැත යන අදහසයි. එයට හේතුව ඔබ සීලයේ පිහිටා ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් රූප ශබ්ද
ආදී අරමුණු පරිහරණය කරන නිසා ය. ඒ වගේ ම ඔබ සීලයේ පිහිටා සිටින තැන ධර්ම කතාවේ
පෙන්වා දෙන්නේ, එම සීලය පරමාර්ථ ධර්මය ද ඇසුරු කොට ගෙන පවත්වා ගන්නා බවයි. එනම්
“යත්ථ සීලං තත්ථ පඤ්ඤා” නම් වූ අදහසයි.
මේ සීලය සමාධි සංවත්ථනික සීලය බවට පත්වෙනවා. ඒ අනුව සියලු සංඛත, සංඛාර වස්තු
අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛන ධර්මයට යටත් නම් ඒ අවබෝධයෙන් යුක්තව ම ඔබ අප
ප්‍රාණඝාත, සොරකම් කිරීම් ආදී පස් පව් දස අකුසලයන්ගෙන් බැහැර වෙනවා. දීර්ඝ සංසාර
ගමනේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම, උතුම් බව තේරුම් ගන්නවා. එසේ ඒ දුර්ලභව
ලබාගත් මනුෂ්‍ය ජීවිතයත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස,
උපායාස එනම් බලවත් සිත් තැවුල්, පරිළාහ, එනම් දැවෙන, පිච්චෙන, රත්වෙන ස්වභාවය.
මෙවැනි දුක් දොම්නස්වලින් පිරී පවතින්නේ නම්, ඒ වගේ ම අවුරුදු සියයක් හෝ ඊට වඩා අඩු
කාලයක් හැම කෙනෙකුට ම ජීවත්වීමට උරුමව පවතින්නේ නම් මේ ලෝකයේ කිසිවක් ස්ථිර
සදාකාලික නොවන බවත්, තමාට ඕනෑ ආකාරයට නොපවත්නා බවත් වටහා ගන්නට උත්සාහ ගන්නවා. ඒ
වගේ ම වැටහෙනවා.
එසේ නම් කවර කරුණක් නිසා අතට හසුවෙන බාහිර වස්තුවක් හෝ සිතෙන් සිහියට හසුකරගත යුතු
චිත්ත චෛතසික හෝ “මම ය මාගේ ය යන දෘෂ්ඨියෙන් උපාදානය නොකරගත යුතු බව වටහා ගන්නවා.
එවිට තමාගේ සිත තුළ තද ආශාවක් වූවත් එනම් අභිජ්ඣා නම් වූ විෂම වූ ලෝභයක් වූවත්
පටිඝය නම් වූ ද්වේෂයක්, තරහවක් ඇති වූවත් මෙය අනිත්‍ය, දුක්ඛ, අනත්ත තිලක්ඛන ධර්මයට
යටත් කොට සිතින් දැකගෙන තමාගේ සිත සංසිඳුවාගැනීමේ හැකියාව තමාට උදාවෙනවා. එයට හේතුව
වෙනස්වන ලෝකයක් තුළ කිසිවක් ස්ථිර ලෙස සිතා ප්‍රාණඝාත කිරීම්, සොරකම් කිරීම්,
ඉන්ද්‍රියයන් වරදවා සතුටුකිරීම්, බොරුකීම්, මදයට ප්‍රමාදයට හේතුවන මත්වතුර ගැනීම්
ආදී වශයෙන් කෙලෙස් සකසා ගැනීම නිරර්ථක බවත්, එය මෙලොව යහපැවැත්මට බාධාවක් බවත්,
අනිවාර්යයෙන් ම සසර හෝ ඊළඟ ජීවිතය සතර අපායේ ඉපිද දුක්විඳීමට හේතුවක් කර ගන්නා බවත්
පැහැදිලි වෙනවා. මේ නිසා සීලයෙහි ම පිහිටා ලෝකය දෙස බලනවා.
නිදසුනක් ලෙස “ඇස් දෙකෙන් ලෝකය දෙස බලන විට තම අම්මාගේ වයසේ පසුවෙන කාන්තාවක්
කෙරෙහි අම්මා කෙනෙක් දෙස බලන්නා සේ බලන්න. පිය කෙනෙක් දෙස බලන්නා සේ බලන්න. තම
මව්පියන් දෙස බලන්නා සේ බලන්න. එය රාගයෙන් විනිර්මුක්තයි. ද්වේෂයෙන් විනිර්මුක්තයි.
ධර්ම මාර්ගයේ පිහිටා සිටින විට මෝහයෙන් ද විනිර්මුක්තයි. මාගේ ගුණබර මව හා පියාණන්
වූයේ ද පඨවි ආදී හේතූන්ගෙන් සකස් ව කර්ම ශක්තියට උරුමව පවතින බැවින් මොනයම් හෝ
වෙලාවක හටගත්තා සේ ම නැතිව යන්නේ ය. මේ අදහස අමෝහයට හේතුවන කරුණකි. සහෝදරියක් දෙස
බලන්නා සේ බලන්න. දියණියක් දෙස බලන්නා සේ බලන්න. පුතණු කෙනෙක්, දරුවෙක් දෙස බලන්නා
සේ බලන්න. මේ ආකාරයට අසන, බලන, දැනෙන ආදී වශයෙන් ඇස ආදී ආයතන හයම පරිහරණය වන විට
දුෂ්චරිතයන්ගෙන් ද බැහැරව සුචරිතයට යොමුව ධර්ම මාර්ගය ම ඉලක්ක කොට ජීවිතය හසුරුවා
ගැනීමේ හැකියාවක් පවතිනවා.
එසේ නොමැතිව කිසිවිටෙකවත් රූප නොබලන්නට. ඇස් පියාගෙන සිටින්නට යැයි දහමේ පෙන්වා දී
නැහැ. කෙසේ වෙතත් රූප බලන, ශබ්ද අසන අවස්ථාවන් කෙලෙස්වලට උනන්දු කරන, කෙලෙස්වලට ඇද
දමන අවස්ථාවන් හැකිතාක්දුරට මඟ හරවා පවත්වා ගැනීම ධර්ම මාර්ගයේ දී පහසු කරුණක්
වන්නේ ය. මංගල සූත්‍රයේ සඳහන් කළ “අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා” යන වචන පෙළ
උදාහරණයට ගත හැකියි. ඒ වගේ ම “ඒක චරියං දළ්හං කයිරා නත්ථි බාලේ සහායතා” පස්පව් දස
අකුසල් මාර්ගයේ ගමන් කරමින් අපායගාමී මාර්ගය සාදන, ඒ මාර්ගයේ ගමන් කරන බාල
පුද්ගලයන්ගෙන් බැහැරව, තමන් තනිව හුදකලාව හැසිරීම යහපත් බව ධර්ම කතාවේ පෙන්වා
දෙනවා. කුණු වූ මාංශ ඔතා කිලිටි වූ, දුගඳ වූ පත්‍රයකින් පිරිසුදු යමක් ඔතන ලද්දේ
නම්, එය ද දුගඳ හමන්නා සේ දහම් මඟ අනුගමනය නොකරන, පාපකාරී මඟට යොමු වූ, දුගති
මාර්ගය අනුගමනය කරන පුද්ගලයන්ගේ ආශ්‍රය සසර දිගු වීමට, දුගතිය උරුමවීමට, සුගතියෙන්
බැහැරවීමට හේතුවක් වන්නේ ය. එයත් සිහියට නගාගෙන, සම්මුතිය තුළ කටයුතු කිරීමට සිදුවන
නිසා ඔබ විසින් රූප දකින විට, ශබ්ද අසන විට ආදී වශයෙන් සමාජ සංවත්ථනික ලෙස ජීවිත
පැවැත්වූවොත් සීලයේ පිහිටා සිටින අයෙක් ලෙස ඔබට ලෝකයෙහි ධර්මානුකූලව සතුටින් ජීවිතය
පවත්වා ගත හැකියි. ඔබ අස්සාදයෙන් යුතුව, සතුටින් යුතුව සැනසිලිමත්ව ජීවිතය පවත්වනවා
යන අදහස ගන්නට පුළුවනි.
තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය නිසා සැනහුණු ඔබ දැන් ලෝකය දැකගෙන, අසාගෙන
ආදී වශයෙන් ඉන්ද්‍රියන්ගෙන් හසුරුවාගෙන ජීවිතය පවත්වනවා. ධර්මානුකූලව හා සීලයේ
පිහිටා ජීවිතය පැවැත්වීමෙන්, දුගතියෙන් බැහැර වීමෙන්, සසර ගමන කෙටිකර ගැනීම
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ ජීවත්වීම නිසා ඔබ අරමුණු කරන නිවන එනම් චතුරාර්ය
සත්‍ය ධර්ම අවබෝධය ඔබ දැන් තවදුරටත් දියුණු කර ගන්නවා. එවිට ඔබ දකින මේ ප්‍රසාද
ලෝකය ඔබේ වචනයෙන් සඳහන් කළොත් ධර්මය නිසා ඔබ සුවයෙන් විඳින මේ සුන්දර ලෝකය හැමදාම
එසේ නොපවත්නා බව දැන් දැනෙන්නට, අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. සම්මුතියෙහි සැප
වූවත්, දුක් වූවත්, මධ්‍යස්ථ වූවත්, පඨවි ආදී හේතුප්‍රත්‍ය නිසා හටගත් බවත් ඒ
හේතුප්‍රත්‍යයන්ගේ විසිරීමෙන් සැපදුක් මධ්‍යස්ථ යන සියලු විඳීම් අවස්ථා වෙනස්වන
බවත් දැන් අවබෝධකොටගෙන තිබෙනවා.
අවබෝධය ඔස්සේ ම සීලයේ පිහිටා ධර්මානුකූල හා යහපත් වූ ජීවිතයක් ගත කරන්න අවබෝධය
ඔස්සේ පරිහරණය කරන මේ ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, ස්පර්ශයත්, සැපදුක් මධ්‍යස්ථ
යන සියලු විඳීම් ද, හටගත්තා වගේ ම නැතිව යන්නේ ය යන “උදයත්ථ ගාමිණියා පඤ්ඤාය” යන
නුවණ ඔබට වැටහෙන්නට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනම් අස්සාදයෙන් දකින ලොව අසන ලොව
නාසයෙන් ආඝ්‍රහණ ලබන ලොව, දිවෙන් රස බලන ලොව, කයෙන් ස්පර්ශ ලබන ලොව, සිතින්
සිතිවිලි නගාගෙන විඳින්නා වූ ලොව හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවය නුවණින් දකිනවා.
එවිට ඇස, රූප, චක්ඛු විඤ්ඤාණය, සැප දුක් මධ්‍යස්ථ විඳීම් ඔස්සේ ඔබ දුටු පුද්ගලයෙක්
හෝ සත්ත්වයෙක් හෝ ස්ථිර යමක් හෝ එහි හැබෑවට නොපවත්නා බව වටහා ගෙන තිබෙනවා. සීලයේ
පිහිටා අස්සාදයෙන් යුතුව පුද්ගලයන් හා වස්තූන් ඇසුරු කරනවා. එහෙත් එහි සිතින් දැඩිව
ගැනීම සිදු කරන්නේ නැහැ. එනම් උපාදානය කරන්නේ නැහැ. අකැමැති අරමුණේ දී ගැටෙන්නේ
නැහැ. සංසිඳුණු මනසක් ඔබ තුළ පවතිනවා.
- දීපා පෙරේරා
|