UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුත්ත නිපාතයෙන් ... : කෙලෙස්බර ජීවිතයෙන් මිදුණු මුනි සූත්‍රය

සුත්ත නිපාතයෙන් ... :

කෙලෙස්බර ජීවිතයෙන් මිදුණු මුනිවරු
 

මුනි සූත්‍රය

අද අපි ඉගෙන ගන්නේ සුත්ත නිපාතයේ උරග වර්ගයට අයත් ‘මුනි සුත්‍රය’ නම් උතුම් බුද්ධ දේශනාව යි.

මුනි කියා කියන්නේ නිකෙලෙස් උත්තමයන්ට කියන නමක්. බුදුරජාණන් වහන්සේ, නිකෙලෙස් මුනිවරුන් විවිධ නම්වලින් හඳුන්වා තිබෙනවා. ඉසිගිලි සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් මුනිවරුන් වූ පසේ බුදුරජාණන් වහන්සේලා ‘සෘෂි’ හෙවත් ඉසිවරු කියන නමින් හඳුන්වා තියෙනවා. ඒ දේශනාවට අනුව ‘සෘෂි’ කියා කියන්නේ ජටාබර තාපසවරුන් නෙවෙයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේටත් සමහර සූත්‍ර දේශනාවල දී ‘ඉසි සත්තම’ හෙවත් සත්බුදුවරුන් අතරේ, ‘සත්වෙනි මහා ඉසිවරයා’ කියා සඳහන් වෙලා තියෙනවා. ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයේ දී නිකෙලෙස් රහතන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ භාවිත කරන්නේ ‘උතුම් බ්‍රාහ්මණයා’ යන යෙදුමයි. ඒ වගේම නිකෙලෙස් උත්තමයන්ට බහුලව යෙදෙන නමක් තමයි ‘මුනි’ කියා කියන්නේ.

රහතන් වහන්සේලාගේ උදාන ඇතුළත්, ථෙර ගාථා අතීතයේ හඳුන්වා තිබෙන්නේ මුනිගාථා නමිනුයි. රහතන් වහන්සේට මුනිවරයා කියාත්, රහත් තෙරණියට මුනිවරිය කියාත් භාවිත කොට තිබෙනවා. බුදුරජාණන් වහන්සේට විශේෂයෙන්ම ‘ශාක්‍ය මුනි, මහා මුනි’ ආදී ගෞරව නාමයන් සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඒ අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, පසේ බුදුරජාණන් වහන්සේලාටත්, රහතන් වහන්සේලාටත් රාග, ද්වේශ, මෝහ, ප්‍රහාණය කළා යන අරුතින් මුනි කියන වචනය බුද්ධ දේශනාවල යොදා තිබෙනවා.

ලොවට උතුම් මුනි රජු...

මුනි සූත්‍රයේ දී, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උතුම් මුනිවරුන් පිළිබඳවයි. අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මහා මුනිරජාණන් වහන්සේ. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට ඉහළින් මුනිවරයෙක් මුළු තුන්ලෝකයේ ම නැහැ. බුදුරජාණන් වහන්සේට, මුනි බවට පත්වූ උත්තමයා (මෝනෙය්‍ය පත්තේ) කියාත් කියනවා. ඒ මහා මුනිරජාණන් වහන්සේ මුනි බවට පත්කරවන දහම ගැන, නිකෙලෙස් මුනිවරුන් ගැන දේශනා කළ සුන්දර දේශනාවක් තමයි ‘මුනි සූත්‍රය’ කියා කියන්නේ.

කෙලෙස් උපදින තැන

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. (සන්ථවාතෝ භයං ජාතං) එක්වෙලා වාසය කිරීමෙන් තමයි ලෝකයේ බිය හටගන්නේ. (නිකේතා ජායතේ රජෝ) එකතු වී වාසය කරන ජීවිතය තුළ තමයි කෙලෙස් උපදින්නේ. මේ කාරණය දකින කෙනා, (අනිකේතමසන්ථවං ) ‘අනිසෝත’ කියන්නේ නිකේතය නැහැ. ගෘහයක් නැහැ. ගෘහය අත්හරිනවා කියන එකයි. ‘අසන්ථවං’ යනු එක්වී වාසය කිරීමක් නැහැ යන්න යි. වාසය කිරීමට ගෘහයක් නැති, පිරිසක් සමඟ එකතුවෙලා නැති කෙනෙක් ඉන්නවා. (ඒතං වේ මුනි දස්සනං) ඒකාන්තයෙන් ම මේ තමයි මුනිවරුන්ගේ දැක්ම. බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ වැඩසිටි මුනිවරුන් ගැනයි මේ සඳහන් කරන්නේ.

මුනිවරුන්ගේ ස්වභාවය ...

බුදුරජාණන් වහන්සේ ඉන්පසු දේශනා කරනවා, (යෝ ජාතමුච්ජිජ්ජ න රෝපයෙය්ය) යම් ක්ලේශයක් උපදිනවා නම්, එය උපදින තැනම මුනිවරයා එය නසා දමනවා. එය පැළකර යන්නේ නැහැ. මේ තමයි මුනි දහම පුරුදු කරන මුනිවරුන්ගේ ස්වභාවය. ක්ලේශයක් උපදිනවා නම් උපදින තැනම ඒ ක්ලේශය නසනවා. එය රෝපණය කරගන්නේ නැහැ. පැළ කරගන්නේ නැහැ. (ජායන්තමස්ස නානුප්පවෙච්ජේ) ආයෙමත් එතැන කෙලෙස් හටගන්න ඉඩ දෙන්නෙත් නැහැ. (තමාහු ඒකං මුනිනං වරන්තං) එබඳු හුදකලාවක, එබඳු ක්‍රියාවක යෙදී හැසිරෙන කෙනාට තමයි මුනිවරයා කියන්නේ. (අද්දක්ඛී සෝ සන්ති පදං මහේසී) ඒ උතුමා මේ ලෝකයේ ශාන්ත පදය දැකපු මහා සෘෂිවරයෙකි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ශාන්ත පදය කියන්නේ අමා මහ නිවනට යි. එනම් (රාගක්ඛයෝ නිබ්බානං) රාගය ක්ෂය වීමයි නිවන. (දෝසක්ඛයෝ නිබ්බානං) ද්වේෂය ක්ෂය වීමයි නිවන (මෝහක්ඛයෝ නිබ්බානං) මෝහය ක්ෂයවීමයි නිවන. මෙවැනි මුනි දහමක් ලෝකයට දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමෙන්ම යි.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, (සංඛාය වත්ථුනි පහාය බීජං) නුවණින් කල්පනා කර කුඹුර සොයා ගන්නවා කියා. කුඹුර තමයි (කම්මං කෙත්තං) කර්මය හෙවත් ක්‍රියාව. චේතනා පහළකොට කරන ක්‍රියාව තමයි කුඹුර (පහාය බීජං) ඒ කුඹුරේ බීජය පැළවෙන්න දෙන්නේ නැහැ. (විඤ්ඤාණං බීජං) බීජය විඤ්ඤාණයයි. (සිනේහ මස්ස නානුප්පවෙච්ඡේ) ඒ කුඹුරට වතුර දාන්නේ නැහැ. මුනිවරයා ඒ කුඹුරට නැවත බීජ පැළවෙන්න වතුර දාන්නේ නැහැ. (සවේ මුනි ජාතිඛයන්තදස්සී) ඒකාන්තයෙන් ම ඒ මුනිවරයා ඉපදීමෙහි අන්තය දකිනවා. ඉපදීමෙහි අන්තය රාග, ද්වේශ, මෝහ නො මැති තැනයි. එනම් අමා මහ නිවන යි. (තක්කං පහාය න උපේති සංඛං) මුනිවරයා තර්ක අත්හරිනවා. කිසි දවසක නැවත මේ ලෝකයට පැමිණෙන්නේ නැහැ.

ඉපදීමේ අනන්තය දකින තථාගත මුනි දහම...

(අඤ්ඤාය සබ්බානි නිවෙසනානි - අනිකාමයං අඤ්ඤතරම්පි තේසං) ‘නිවේසනානි’ කියන්නේ ලෝකයේ උපදින්න තියෙන තැන්වලට යි. බුදුරජාණන් වහන්සේ මේ ශරීර කූඩුවට ගෘහය කියන වචනය භාවිත කළා. ගෘහය කියන්නේ පදිංචි වී සිටින තැනට යි. දැන් අපි පදිංචි වෙලා ඉන්නේ මනුෂ්‍ය ශරීරය නමැති නිවසේ. තව කොටසක් ඉන්නවා දේව නමැති නිවෙස්වලත්, බ්‍රහ්ම නමැති නිවාසවලත්. තවත් කොටස් ප්‍රේත, භූත, තිරිසන් ආදී නිවාසවල පදිංචි වී සිටිනවා. මේ විදිහට එක් එක් සත්ත්වයන් එක් එක් නිවාසවල, ශරීර කූඩුවල පදිංචි වී සිටිනවා. ‘අඤ්ඤාය’ කියන්නේ මේ සියලුම නිවෙස්, සියලුම ජීවිත අවබෝධ කරගෙන, (අනිකාමයං අඤ්ඤතරම් පිතේසං) ඒ නිවාස කිසිවක් ම ගැන තිබූ ඇලීම අත්හරිනවා. සියලු උපත්වලින් නිදහස් වෙනවා.

සාමාන්‍ය මනුෂ්‍යයා නම් එකක් අත්හරින්නේ තවත් එකක් අල්ලාගෙන යි. නදී සූත්‍රයේ සඳහන් වෙනවා ගඟකට වැටුණු මනුෂ්‍යයෙක් වේගයෙන් පහළට ගසාගෙන යද්දී, ඒ පුද්ගලයා ගංඉවුරේ සැඩ පහර පැත්තට හැරී තියෙන කුඩා පඳුරුවල එල්ලෙනවා. ඒවත් කඩාගෙන, ගලවාගෙන ඒ පුද්ගලයා ආපහු පහළට ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉපදෙමින් මැරෙමින් යන මේ භව ගමන් ඒ වගේ කියා. නමුත් මුනි දහම තුළ හික්මුන මුනිවරයා සියලු ලෝකයන් කෙරෙහි නො ඇලීම ඇතිකර ගන්නට දක්ෂ වෙනවා. ඒ සත්පුරුෂ නුවණැති පුද්ගලයා ගිහි ජීවිතෙත් අත්හැරියා. පිරිසත් එක්ක එකතුවී ඇලී ගැලී සිටීමත් අත්හැරියා. අකුසල් අත්හැරියා. ඒ වගේම විඤ්ඤාණය නමැති බීජය පැළවෙන්න දෙන්නේ නැහැ. තෘෂ්ණාව නමැති දිය දෙන්නේ නැහැ. කිසිම නිවෙසකට, කිසිම උපතකට ඇලුම් නො කරන හෙතෙම ඒකාන්තයෙන් ම මුනිවරයෙකි කියා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා.

තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් මුනිවරයා ගැන මෙසේ වදාළා. (වීත ගේමෝ) ‘ගේධ කියන්නේ තෘෂ්ණාවට යි. ‘ගේධ කියන වචනය අපිට කරණීය මෙත්ත සූත්‍රයේදීත් මුණ ගැසෙනවා. (කාමේසු විනෙය්‍ය ගේධං) කාමය කෙරෙහි ඇති ඇල්ම අත්හරිනවා කියන අර්ථය යි එහි තිබෙන්නේ. මුනි සූත්‍රයේ සඳහන් වන්නේ යළි උපතක් පිණිස තියෙන ආශාව අත්හැර වාසය කරනවා යන අර්ථය යි. එමෙන්ම මුනිවරයා (අගිද්ධෝ) කිසිම දෙයකට ගිජු නොවී වාසය කරනවා. (නායුහතී පාරගතෝ හි හෝති) ගෘහයක් පිණිස, යළි උපතක් පිණිස කිසිවක් රැස් කරන්නේ නැහැ. ඔහු සංසාර සාගරයේ ගිලෙන්නේ නැහැ. ‘පාරගතෝ’ කියන්නෙ සසරින් එතෙරට යනවා යන්න යි.

එසේනම් කිසිවකට නො ඇලුණ, කිසිවකට නො බැඳුණු, සියලු දුකින් නිදහස් වූ මුනිවරුන්ගේ ලෝකය මොනතරම් ආශ්චර්යවත් ද? මොන තරම් සුන්දර ද? සංසාර පුරුදුවලින් ගහණ කෙලෙස් බර ජීවිත අනන්ත පීඩා විඳිමින් දුකට පත්වෙනවා. එවැනි සිදුවීම් කීපයකදී ඒ ජීවිත සුවපත් කරවීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ මෙම මුනි සූත්‍රය දේශනා කොට තිබෙන්නේ. මේ සෑම ගාථාවකින් ම ජීවිතය නිවන් මඟ කරා ඒකාන්තයෙන් පමුණුවනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස දුරුතු පුර අටවක (ජනවාරි 14) බුදුසරණ පුවත්පතේ පළවේ.

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk