සසර දුකින් මිදීමට නම් ...
කු/නික / වාරි රතනසෙල ඓතිහාසික මහ පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවෙණාධිපති
ගලගෙදර රතනවංස හිමි
බුදුරජාණන් වහන්සේ සුජිවත් අයට දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ උතුම් දහමක් පිළිබඳ
රාජවග්ගයට අයත් රට්ඨපාල සූත්‍රය තුළින් පැහැදිලි වේ. එහි දී පැහැදිලි වන්නේ
චුල්ලකොට්ටික නියම් ගමේ දී බුදුරදුන් දේශනා කළ ධර්මය අංග රට්ඨපාල නම් විවාහ වූ
කුමරුවෙකු පැහැදී පැවිදි වීමට මඟ පාදා ගන්නා කතා පුවතකි.
බුදුරදුන් කල කෙනෙක් පැවිදි වූයේ නම්, ඒ ගිහි ජීවිතය හා සැප සම්පත් පිළිබඳ කළකිරීම
හා නිවන එකම අරමුණ කොට ගෙන ම ය. රට්ඨපාල කුමරා ද මව්පියනට සිටි එකම පුතණුවන් වූ අතර
බිරින්දෑවරුන්ගේ ආදර සැලකිල්ලේ ද කිසිදු අඩුවක් නොවී ය. වස්තු සම්පත්හි අඩුවක් ද
නොවී ය. මව්පියන්ගේ ආදරයේ අඩුවක් ද නොවී ය. නමුදු පැවිදි වීම සිදු විය. එයට හේතුව
බුදුරදුන්ගේ ධර්මය අසා
අවබෝධ කරගත් දහම් කරුණු කිහිපයක් මුල් වීම ය. කෝරව්‍ය රජතුමා
රට්ඨපාල හිමිගෙන් පැවිදිවීමට හේතුව ප්‍රශ්න කළ කල්හි රට්ඨපාල හිමි එයින් සුවිශේෂී
කරුණු හතරක් පිළිබඳ රජතුමාට පැහැදිලි කර දුන්හ. එම කරුණු පුහුදුන් සත්වයා
යථාර්ථවාදී ව දන්නේ නම්, සුජීවත්ව වසන කාට වුව ද සසර විමුක්තියක් ඇතිකර ගැනීමට
පුළුවන.
“උපනීයති ලෝකෝ අද්ධුවෝ” යනුවෙන් පැහැදිලි වන්නේ ලෝකය හා සත්වයා හට ගෙන ඇත්තේ පදාර්ථ
හතරක් මුල් වීමෙන් බවයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහාභූත ධර්ම එම පදාර්ථ
හතරයි. පඨවි ගතියනම් තද, කර්කශ, ඝණ,ස්වභාවයයි. එලෙස පඨවි ධාතුව ඝණ, තද ස්වභාවයෙන්
යුක්ත වන්නේ රූප කලාප ඝනව පිහිටීම හේතුවෙනි. රූප කලාප ඝණව නොපිහිටි, වායුව අධිකව
ඇති වස්තූන්හි කර්කශ බව මෘදු වූවක් සේ දැනෙනු ඇත. කළු ගලක් හා ළදරු සිරුරක් පිළිබඳ
සිතීමෙන් ඒ බව අවබෝධ කරගත හැකි ය.
ආපෝ ධාතුව යනු වැගිරෙන බව, ඇලෙන බව, පැතිරෙන බව ආදී ස්වභාවයයි. පඨවි ධාතුව විසිර යා
නොදී ඒකරාශී කොට, පිඬුකොට පවත්වා ගන්නා ස්වභාවය ආපෝ ධාතුවයි. පඨවි ධාතුව අධිකව ආපෝ
ධාතුව අඩුවෙන් පවතින වස්තු ඝනව කැටිව පවතියි. පස්, ගල්, යකඩ, දැව ආදියෙහි ආපෝ ධාතු
ව අඩුවන අතර පඨවි ධාතුව දැඩි ය. තෙල් වතුර ආදිය දියාරු වැගිරෙන ගතියෙන් යුක්ත වන්නේ
පඨවි ධාතුව අඩුවෙන් හා අපෝ ධාතුව බහුලව තිබෙන නිසා ය.
තේජෝ ධාතුව නම් සිසිල් බව, උණුසුම් බව වේ. තේජෝ ධාතුවෙන් අන්ධාතු තුනම පාලනය කරනු
ඇත. පඨවි ධාතුවේ තද ගතිය අඩු කිරීම, ආපෝ ධාතුවෙ වැගිරෙන ගතිය අඩු කිරීම සිදු කරයි.
වායෝ ධාතුව නම් පිම්බෙන, පුම්බවන, තෙරපන ස්වභාවයයි. පඨවි ධාතුව හා බැඳී සිට එයට
විසිර යෑමට ඉඩ නොදී එය ඇද බැඳ තබා ගැනීම ආපෝ ධාතුවෙ කාර්යයි. එය පුම්බවනු ලබන්නේ
වායෝ ධාතුවෙනි.
මේ ආදී වශයෙන් සතර මහා භූත ධර්ම සෑම වස්තුවකටම මූල බීජය වේ. මහා භූත යනු මූල ධාතු
යන අර්ථය ගෙන දෙන පදයකි. මෙම ධාතු සතරම එකිනෙකට සම්බන්ධව පවතින අතර වෙන් වෙන් ව
පැවතිය නොහැක. මෙම ධාතු ශක්තීන් නැත්නම් බලවේගයන් ලෙස සැලකීම ඉතා නිවැරැදි ය. ඉතා
සියුම් වූ ද, කුඩා වූ ද වස්තූන් තුළ වුව ද මෙම පදාර්ථ හතර පවතී. පරමාණුව ඉතා කුඩා
වූවකි. නමුදු එය වුව ද සෑදී ඇත්තේ මෙම පදාර්ථ එක්වීමෙනි. රට්ඨපාල හිමි ජීවිතය
පිළිබඳ යථාර්ථවාදීව දුටු එක් කරුණක් ලෙස ජීවාජීව වස්තූන් ළංවීම සෑදී ඇත්තේ මහාභූත
පදාර්ථවලින් බව පෙන්වා දීමට පුළුවන.
අත්තනො ලොකෝ අනභිස්සරෝ යනුවෙන් පැහැදිලි වන්නේ සතර මහාභූත තුළින් එකතු වූ රූපය තුළ
ඇති අනාරක්ෂිත භවයි. අවිනිශ්චිත භාවයයි. ඇත්තෙන්ම අපි මේ ගෙවන ජීවිතය තුළ පැහැදිලි
වන දෙයක් නම් මෙම ශරීරය නිරන්තරයෙන් තවත් වස්තුවකට ගොදුරු ව විනාශ වීමයි. සාංසාරික
වශයෙන් බලන කල්හි ඉපදෙන මැරෙන අනන්ත අප්‍රමාණ මේ සංසාර චක්‍රයේ ජාති, ජරා, ව්‍යාධි,
මරණ ආදීන්ට මෙම පදාර්ථයන්වලින් සැදුම් ලත් රූපය ගොදුරු වනු ඇත. නිතරම මෙම රූපය තුළ
පවතින්නේ අවිනිශ්චිත අස්ථාවර භාවයක් නොවේ ද? එසේනම් මෙම රූපය කොතෙක් සැරසුව ද,
කොතෙක් සැප දුන්න ද, කොතෙක් ආරක්ෂා කළ ද ඵලක් නොවනු ඇත. සිද්ධාර්ථ කුමාරයා මේ රූපය
සැපයක් යැයි සිතුවානම්, සක්විති රජ සැප පවා විඳිමින් ගිහි ජීවිතයේ ඉන්නට ඉඩ ඕනෑ
තරම් තිබුණි.
“අස්සකෝ ලොකෝ සබ්බං පහාය ගමනීයං” යනුවෙන් පැහැදිලි වන්නේ සියල්ල අත්හැර අප මරණයට
පත් වන බවයි. කොතරම් මිල මුදල්, ගේ දොර, වතුපිටි, ඉඩ කඩම්, යාන වාහන, හරකා බාන
තිබුණ ද, ඒ සියල්ල අත්හැර, හිස් අතින්, වේලාව ආ කල්හි අප මරුවා සමඟ යා යුතු ය. අඥාන
මිනිසුන් හිතන්නේ,
“පුත්තා මත්ථි ධනං මත්ථි –
ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අන්තනො නත්ථි –
කුතො පුත්තෝ කුතො ධනං”
නුවණ නැති මිනිසා මට දරුවෝ ඇත. මට ධනය ඇතැයි සිතමින් වෙහෙසෙයි. තමාගේ ආත්මයවත් තමාට
නැති කල, දරුවෝ නම් කොයින් ද? ධනය කොයින් ද? නැත්තේ ම ය.
මේ ආදී වශයෙන් බලන කල්හි සෑම කෙනෙක් ම සිතිය යුත්තේ තමා පසු පස මාරයා පැමිණෙන බවත්,
ඉන් පැන යාමට නොහැකි බවත් ය. ඒ සඳහා ආත්ම ශක්තියකින් යුක්තව මුහුණ දීමට හැකි වන්නේ
බුදු දහමට අනුගතව ජීවන රටාවක් ගොඩ නඟා ගැනීමෙන් පමණි. ලෝවැඩ සඟරාව තුළ දක්වා ඇත්තේ
ද එලෙස ම ය.
අද අද එයි මරු පින් කර ගන්නේ -
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ –
කුමටද කුසලට කම්මැලි වන්නේ
මරු එන බැවින් අද අදම පින්කර ගන්න. හෙට මරණය නොඑන්නේ යයි සිතන්නේ කෙසේ ද? මහා
සේනාවක් ඇත්තා වූ මාරයාට ඇපවන්නේ කවර කාලයෙක්හි ද? එබැවින් කුසලට කම්මැලි වන්නේ
කුමට ද?
ඌණෝ ලොකෝ අතිත්තෝ තණ්හා දාසෝ යනුවෙන් හතරවෙනි කරුණින් අවබෝධ කරගත යුතු වන්නේ ලෝකය
ඌණ පූර්ණ බවත්, සත්වයා තෘෂ්ණාවේ වහලෙකු බවත් ය. ලෝකය ගත් කල්හි බඹයක් වූ මේ ශරීරය ම
බව බුදුරදුන් දේශනා කොට ඇත. ඊට අමතරව සත්ත්ව ලෝකය, ඕකාස ලෝකය, සංඛාර ලෝකය යනුවෙන්
එය ත්‍රිවිධාකාරයෙන් දේශනා කොට ඇත. ඒ අනුව ශරීරය යනුවෙන් ස්ඛන්ධ පහක් සම්බන්ධව ලෝකය
ම මෙහි දී ගත යුතු ය. එය ශරීරය වශයෙන් අපි සම්මුති ලෝකය තුළ ගොඩනඟාගෙන ඇත.
එය නැවත නැවත හට ගන්නේ තෘෂ්ණාව පදනම් කරගෙන ය. තෘෂ්ණාව නිසා උපාදානය ඇති වී එතුළින්
භවය නිර්මාණය වේ. ඒ අනුව සත්වයා තෘෂ්ණාවේ වහලෙකු බවට පත් වී ඇත. එම තෘෂ්ණාව ක්ෂය
කරන තාක් අප ඉපදෙනු ඇත. බුදුරදුන් පළමු උදාන වාක්‍ය තුළින් තෘෂ්ණාව නමැති වඩුවා මා
දන්නා ලද්දෙහි ය. යනුවෙන් පැහැදිලි කොට ඇත. ඒ අනුව තෘෂ්ණාව නැති කිරීමෙන් භවය ද
අවසන් වේ.
රට්ඨපාල හිමි සසරින් මිදීමට හේතුව වූයේ මෙම කරුණ හරි හැටි අවබෝධ කර ගැනීම ය.
එතුළින් වෙනස් නොවන පරම සැපත වූ නිවන ක්ෂාත් කර ගන්නා ලදී. එය අපේ ජීවිතවලට ද
ආදර්ශයකි. අනන්ත අප්‍රමාණ දුක් ගොඩක් පොදි බඳිමින් යන මේ සසර ගමන දුර ය. එහෙයින්
සසරින් මිදීමට යුහුසුලු වීම ප්‍රඥාවන්තයින්ගේ එකම අරමුණ විය යුතු ය. |