UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

බෙලිගල්ලේ ධම්මාධාර නා හිමි

හක්මන, ගම්මැදපිටිය ශ්‍රී විජයබිම්බාරාමය ඇතුලු විහාරස්ථාන රැසක අධිපතිව වැඩ විසූ මාතර, හම්බන්තොට දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝ නායක, කන්දබඩ පත්තුවේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රථම ලේඛකාධිකාරී පදවිය හෙබවූ බෙලිගල්ලේ ධම්මාධාර නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ. 2018 දෙසැම්බර් 23 වන දින උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙනි.

බෙලිගල්ලේ ධම්මාධාර නාහිමිපාණන් වහන්සේ ධර්මධර විනයධර, සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේ කළ ශාසනික සේවාව අතිමහත් ය. බුද්ධශ්‍රාවකයෙකු වශයෙන් තමන්ගෙන් සසුන් කෙතට ඉටුකළ යුතු කාර්ය භාරය මනාව ඉටුකළ භික්ෂුවකි. ශීලයෙන්, ගුණයෙන් පිරිපුන් උන්වහන්සේගේ චරිතය වර්තමාන සංඝ සමාජයට ද ආදර්ශයක් ම වන්නේ ය.

1935 ජනවාරි 25 වන දින සසුන් කෙතට ඇතුළත්ව භික්ෂුවක් සතු විනයගරුක බව, සිල්වත් බව, නැණවත් බව, මනාව ගොණුකරගත් උන්වහන්සේ විෂයානුබද්ධ කරුණු ඔස්සේ අධ්‍යාපනය ද මනාව හැදෑරීය. මූලික අධ්‍යාපනයෙන් පසු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත් වී පොත්තේවෙල ජිනරාජ මහ පිරිවෙනේ ආචාර්යවරයෙක් වශයෙන් වසර 19ක් වැනි දීර්ඝ කාලයක් සේවයේ යෙදුණාහ.

බෙලිගල්ලේ ධම්මාධාර නාහිමිපාණන් වහන්සේගෙන් රටට, ජාතියට, ආගමට සිදු වූ සේවාව ඉතා විශාල ය. විහාරස්ථාන 18ක් ඉදිකොට රටපුරා සැදැහැවතුන්ගේ දහම් පවස සංසිඳුවාලනු වස් කළ මහඟු සේවාව පුණ්‍යානුමෝදනාවෙන් යුක්තව සිහිපත් කළ යුතු ය. තම සුපිරිසුදු පැවිදි ජීවිතයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 83 නමක් පැවිදි කොට රටට දායාද කිරීමට උන්වහන්සේ කළ අප්‍රතිහත ධෛර්ය වචනවලට හසු කිරීමට නොහැකි තරම් ය. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන්නේ හක්මන ගම්මැදපිටිය ශ්‍රී විජය බිම්බාරාමය ප්‍රමුඛ විහාරස්ථාන රැසකම වර්තමාන විහාරාධිපති ලාල්පේ ධම්මසිරි නාහිමියන් වේ. උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතර රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බෙලිගල්ලේ ධම්මජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පඬිවරුන් රාශියක් බුදු සසුන බබළවමින් වැඩ වෙසෙති. බෙලිගල්ලේ ධම්මාධාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිංගප්පූරුව, ඉන්දුනීසියාව, ඉන්දියාව, නේපාලය වැනි රටවලට වැඩම කොට ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළහ. බෙලිගල්ලේ ධම්මාධාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට 1984 මැයි 19 දින මාතර, හම්බන්තොට දෙදිසාවේ ද්විතීය සංඝ නායක ධූරය පිරිනමන ලදී. 1952 ඔක්තෝබර් 08 වෙනි දින ගංගොඩගම ග්‍රාමීය රෝහලෙන් ආරම්භ කළ රෝගීන්ට ආශිර්වාද කිරීමේ සත්කාර්ය නොකඩවා ම සිදු කළහ.

1935 ජනවාරි 25 වන දින සසුන් කෙතට ඇතුළත් වූ බෙලිගල්ලේ ධම්මාධාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එතැන් පටන් අපවත්වනතුරුම අප්‍රමාණ ලෝක ශාසනික සේවාවන් රාශියක නියුක්ත වූහ. උන්වහන්සේ අපවත්වීමෙන් පසු සෑම වර්ෂයක් පාසාම උන්වහන්සේ බිහිකළ විහාරස්ථාන 18 න් එකක් මුල්කොටගෙන ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව එකමුතුව උන්වහන්සේට කෘතගුණ සලකනුවස් විවිධ පින්කම් සිදුකරමින් එන්නාහ.

අපවත් වූ නාහිමිගේ ශිෂ්‍ය රත්නයක් වූ කොළඹ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ත්‍රිපිටකවේදී ගෞරව ශාස්ත්‍රවේදී පයින්ඩිකුලමේ ධම්මසෝභන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම හා අනුශාසකත්වය මත 2018 දෙසැම්බර් 22 දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද, පසුදා භික්ෂූන් වහන්සේලා 150 නමක් උදෙසා සඟසතු මහා දානමය පින්කමක් ද සිදු කෙරිණි.


අටමුනේ ආනන්ද නා හිමි

හිරිපිටිය ධර්මචන්ද විද්‍යායතන පිරිවෙනෙහි පරිවෙනාධිපති, ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රපති අටමුනේ ආනන්ද නාහිමියන්ගේ පැවිදි දිවියට වසර හතළිස් අටක් ද, උපසම්පදා වී වසර 38 ක් සහ හැටවැනි ජන්ම දිනය සැමරීම ද පසුගියදා සිදු කෙරිණි.

කුරුණෑගල මරළුවාවට නුදුරින් වූ අටමුනේ නම් ග්‍රාමයෙහි එච්.එම්. රංබණ්ඩා නිලමෙතුමා සහ එම මහත්මියගේ පවුලේ පස්වන දරුවා ලෙස 1958 නොවැම්බර් 21 දින උපත ලද කුමරුවාට නම් තබන ලද්දේ ආනන්ද හේරත් යනුවෙනි. අනතුරුව අටමුනේ ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

වන්නි දෙමළ හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක ‘කඩම්බාවේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් වෙතින් සාමණේර වත දහම් ප්‍රගුණ කිරීමෙන් පසු 1970 දී පැවිදි දිවියට ඇතුළත් වූහ. (මූලික අධ්‍යාපනය හිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙනෙහි හැදෑරූ අටමුනේ ආනන්ද හිමියන් උසස් අධ්‍යාපනය සඳහා හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පීඨයට ඇතුළත් විය. (පිරිවෙනෙහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ උන්වහන්සේ 1980 ජූනි 15 දින නවගමුවේ ධම්මාලෝක නා හිමිපාණන් සහ කඩම්බාවේ ධම්මානන්ද නා හිමියන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලබා ගත්හ. 1981 දී ගුරුවරයකු ලෙස හිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙනට එක් වූ උන්වහන්සේ 1986 දී උපගුරුවරයකු ලෙස ස්ථිර සේවයට එක්විය. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ද, අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධිය ද ලබා ගත්හ.

හිරිපිටිය පිරිවෙන විද්‍යායතන පිරිවෙනක් බවට පත්කිරීමට කැපවී කටයුතු කළ අටමුනේ ආනන්ද හිමියන් 2002 දී එම විද්‍යායතනයේ පරිවෙනාධිපතිධූරයට පත්වූහ. පසුව උසස්පෙළ වානිජ අංශය ආරම්භ කර සංගීතය, නාට්‍ය, රංගනය වැනි විෂය ධාරාවන් ආරම්භ කර සිසු දරුවන්ට වඩාත් ඵලදායී අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළහ. 1992 වසරේ ගණේවත්ත ශ්‍රී සුමංගලාරාමයට වැඩමවා වත්මන් තත්ත්වයට එම විහාරය වැඩිදියුණු කර ජනතාවගේ සිත නිවන පින් බිමක් බවට පත්කර ඇත. ගනේවත්ත දහම්පාසලේ ප්‍රධානාචාර්ය, ගනේවත්ත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, කුරුණෑගල දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුරුවලින් පිදුම් ලැබූ අටමුනේ ආනන්ද නාහිමියන් පසුව ඉහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක ධූරයෙන් ද අනතුරුව ප්‍රධාන සංඝනායක ධූරයෙන් ද පිදුම් ලැබූහ.

අටමුනේ නම් පිටිසර ගමක ඉපිද, දුෂ්කරතා මැද, පැවිදි දිවියක් ගතකර, අධ්‍යාපනික වශයෙන් කිසියම් ස්ථාවරයක් ගොඩනගාගෙන, විවිධ ආයතන මගින් අධ්‍යාපනික සේවාවන් සිදුකරවීය. අටමුණේ ආනන්ද නාහිමිපාණන් වහන්සේට දීඝායු සම්පත් ලැබේවා.


මාවනැල්ලේ සිරසාලංකාර නා හිමි

සම්බුදුසසුනේ අභිවෘද්ධිය පිණිස අත්‍යුදාර ශාසනික මෙහෙවරක මෙන් ම සාමාජික මෙහෙවරක නියැළුණු, අපිස් සතොස් දානදාක්ෂ්‍යාදි ගුණෝපශෝභිත වූ කන්දේගම ධනංජය රාජමහා විහාරාධිපති, සාගරමතී පරිවෙණාධ්‍යක්ෂ, උතුරුමැද පළාතේ අධිකරණ සංඝ නායක, ශ්‍රී සීලාලංකාරවංශද්වජ, මාවනැල්ලේ සිරසාලංකාර නාහිමියන් පසුගිය 21 වැනි දින අපත් වී වදාළහ.

1961 දී ආර්.බී. සිරිවර්ධන රාජගුරු හා හීන්මැණිකා දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ලේ දී උන්වහන්සේ මෙලොව එළිය දුටහ. මූලික අධ්‍යාපනය උඩුගල ප්‍රාථමික විද්‍යාලයෙන් ලබා පුරාකෘත පුණ්‍යමහිමය විසින් මෙහෙයවන ලදුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ, අසරණ සරණ සිරි කස්සප මාතර කිතලගම සිරි සීලාලංකාරාභිධාන උතුරු නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1971 ජූනි මස 11 වැනි දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී සසුන් දිවියට එළඹිණි. උන්වහන්සේ මූලික පැවිදි අධ්‍යාපනය දිඹුලාගල ශ්‍රී මහාකාශ්‍යප පිරිවෙනින් ලැබූහ. අනතුරුව පාතකඩ භික්ෂු පුහුණු ආයතනයෙහි අධ්‍යාපනය ලබා ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත්වීමට උන්වහන්සේට හැකිවිය. උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධුරන්දර ව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් යුතුව 1982 ජූනි 08 දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනස්ථ බද්ධ සීමාවේ දී උපසම්පදාවට පත්වූහ. අපවත්වී වදාළ දිඹුලාගල නාහිමියන්ගේ ඉල්ලීම අනුව කන්තලේ සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානය භාරව වසර කීපයක් කටයුතු කරමින් එහි විහාරාංග ආදිය ඉදිකරවීමට උන්වහන්සේට හැකිවිය. එහෙත් එම විහාරස්ථානයට නිරන්තරයෙන් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීම හේතුවෙන් නැවත දිඹුලාගලට වැඩම කිරීමට සිදුවිය.

දෙවැනි වර බිම්පොකුණ මෙත්තාරාමය ආරම්භ කරමින් එහි විහාරාධිපති ධූරයට පත් උන්වහන්සේ පෙර පරිදි ම එම විහාරස්ථානය ද සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කිරීමට කටයුතු කළහ. එසේ ම ත්‍රස්තවාදී උවදුරුත්, කිසිවෙකු නොවිසීමත් නිසා දිනෙන් දින විනාශ මුඛයට යමින් පැවති ඔමුගල ඕවාගිරි රජමහා විහාරයේ හා රුහුණු සෝමාවතී කුම්බනාච්චි විහාරයෙහි වාසය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන ආරක්ෂා කරගැනීම පිණිස මහත් පරිශ්‍රමයකින් යුතුව කටයුතු කළත්, ත්‍රස්තවාදී තර්ජන දැඩි වූයෙන් එකී ආයතන අතහැර නැවත දිඹුලාගල විහාරයට වැඩම කළහ.

1996 මුල් භාගයේ කන්දේගම ධනංජය විහාරස්ථානයට වැඩමකර පුරා දසක දෙකකුත් වසර දෙකක් එම විහාරස්ථානයෙහි විහාරාධිපතීන් වහන්සේ වශයෙන් සුවිසල් කාර්යභාරයක් සිදුකිරීමට උන්වහන්සේ සමත් වූහ. ත්‍රස්තවාදී උවදුරු හේතුවෙන් විටින් විට පීඩා පැමිණිය ද, කිසිවිටෙක එය සිය ආගමික හා සාමාජික සත්කාරයට බාධාවක් කරගැනීමට උන්වහන්සේ කටයුතු නොකළහ. තම ගොදුරුගමෙහි විසූ කුලදරුවන් කිහිපදෙනෙකු පැවිදි කරමින් උන්වහන්සේ ඇරඹූ ශාසනික කාර්යාවලිය හේතුවෙන් මේ වන විට දේශීය, විදේශීය වශයෙන් මහත් සේවයක් සිදුකිරීමට සමත් ශිෂ්‍ය පුත්‍රයන් කිහිපදෙනෙකු නිර්මාණය කිරීමට ද උන්වහන්සේට හැකි විය.

කුඩා කුටියක් පමණක් පැවති විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් අලංකාර විහාරස්ථානයක් බවට පත්කිරීමට උන්වහන්සේගේ කාර්ය ශූරත්වයත්, දුරදක්නා නුවණත් උපස්ථම්භක විය. තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේගේද සහයෝගය ඇතිව සාගරමතී නමින් නව පිරිවෙනක් ආරම්භ කොට පොළොන්නරු දිස්ත්‍රික්කයේ අවධානයක් දිනාගත් පිරිවෙනක් බවට එය පත්කිරීමට හැකි විය. ගමේ පොදු ගැටලුවල දී පෙරමුණ ගෙන ඒවාට විසඳුම් සෙවීමට උන්වහන්සේ ක්‍රියා කළහ. ගොවිජනතාවගේ අස්වැන්න වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට විදුලිවැටක් ඉදිකිරීම, විහාරස්ථානය අසල ඇති සද්ධාතිස්ස වැව ඉදිකිරීම, ගමේ දක්ෂ දරුවන්ට කැපකරු ශිෂ්‍යත්ව ක්‍රමයක් සකස් කිරීම, නිවාස නොමැතිව විසූ පවුල් 27 කට නිවෙස් ඉදිකර දීම, ගම්මානයට ඇති මාර්ගය කාපට් අතුරා සකස් කිරීමට පුරෝගාමීව ක්‍රියාකිරීම යනාදිය උන්වහන්සේගෙන් ගමට හිමි වූ යහපත් ප්‍රතිඵලදායී ක්‍රියාවන්ගෙන් කිහිපයක් පමණි. අත්‍යුදාර සාසනික, ජාතික, ආගමික හා සාමාජික මෙහෙවරක නියැළුණු, නාහිමිපාණන් සිය දිවිගමනෙහි පණස්හත්වැනි වියේ දී අපවත් වී වදාළහ.

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk