සතුටින් ජීවත් වීමට නම්...
කැකනදුරේ
ධම්මසිරි හිමි
“අතිත්තංයෙව කාමෙසු අන්තකො කුරුතෙ වසං” යන පාඨය අවධාරණය කරන්නේ අසීමිත ආශාවන් පොදි
බැඳ ජීවත්වන්නට උත්සාහවත් වන ජනතාව තමාගේ ජීවතාවසානයේ දෙනෙත් පියා ගන්නේ පොදි
බැඳගත් නොනිමි ආශාවන් සමඟින් ම වන බව ය.
මෙම තත්ත්වයට පත්වීම ගැන අවධානය යොමුකර දශක හතක් හෝ අටක පරමායුෂයට හිමිකම් පාන අප
කළ යුත්තේ කුමක් ද යන්න ගැන සිතා බලා, සැලසුම් සහගතව ජීවිත ගත කළ යුතුය යන්න
බුදුදහම වසර 2600 පෙර සිටම මානව සමාජයට පෙන්නුම් කරමින් සිටී. යුරෝපීය සමාජය, තවමත්
බුදුදහම පෙන්නා දෙන මාර්ගය මනා ලෙස අධ්‍යයනය කර නැතත්, ඒ පිරිස් ළමා වියෙහි (වසර
16) වන විට ඉපැයීම් සඳහා නැඹුරුව යොවුන්විය, පශ්චාත් යොවුන් විය සහ මැදිවියට එළඹ
කිසියම් තෘප්තිමත් භාවයකින් යුතුව ජීවත් වන අතර වඩාත් අඩු බැඳීම්වලින් යුතුව තමන්ගේ
සැඳෑ සමය (Golden age) ගෙවන අයුරු දැකිය හැකි ය. විශේෂයෙන් භූමිය හෝ වෙනත් භෞතික
සම්පත් මත්තෙහි දැඩි ලෙස රැඳී, ස්ථාවර ප්‍රදේශයක ම ජීවත්වීමට වඩා සංචාරක ස්වරූපයක්
ගත් ජීවන රටාවකට (Mobile home) නැඹුරුව සරලව ජීවත්වීමට පි‍්‍රයතාවයක් දක්වයි. සමහර
පිරිස් කුඩා සුරක්ෂිත බෝට්ටුවක තම ජීවිතය පවත්වාගෙන යනු දැකීම, ආසියානු සිංහල බෞද්ධ
සමාජ රටාවකට හුරුපුරුදුව හැදුණු වැඩුණු අයෙකුට මහත් කුතුහලයක් ගෙන දෙන අත්දැකීමකි.
2016 වසරේ අමෙරිකාව, වොෂින්ටන් ප්‍රාන්තයේ ටකෝමා නගරයේ ජීවත් වන ඇමෙරිකන් හා
තායිලන්ත යුවළකගේ ඉහත ජීවන රටාව මට මුල දී කුතුහලයක් හා මහත් අභියෝගයක් ලෙස පෙනී
ගිය ද, ඒ පවුලේ අය සමඟ පැවැත් වූ ඇසුර තුළින් ඒ අයගේ සතුට හා සරල බව මහත්
අස්වැසිල්ලක් බව තේරුම් ගැනීමට හැකි වී ය.
අතෘප්තිකර භෞතිකත්වයට ප්‍රමුඛතාව දීම නිසා බටහිර ජනතාව සතුටින් ජීවත් වීමට උත්සාහ
ගන්නේ එයත් තම ජීවිතයේ අධ්‍යාපනික අවශ්‍යතාවක් ලෙසට සලකා ය. මේ නිසාම මනෝ
විද්‍යාඥයින්, උපදේශකයින් සහ නිදහස් චින්තකයින් විවිධ පර්යේෂණයන්හි නියැළෙමින් සතුට
සඳහා ක්‍රමෝපායන් සොයා සමාජගත කරන ආකාරය දැකගත හැකි වේ. එසේ කර ඇති පර්යේෂණාත්මක
සොයා ගැනීම් අතුරින් ඇමරිකාවේ ප්‍රසිද්ධතම විශ්වවිද්‍යාලයන්ගෙන් එකක් වන යේල්
(Yale ) විශ්වවිද්‍යාලයේ ‘ලෝරි සන්ටොස්’ නම් මහාචාර්යවරියගේ පර්යේෂණයෙන් හෙළි පෙහෙළි කර
ඇති කරුණු පහ (05) ගැන සමාලෝචනයක් කරලීම යෝග්‍යයි විශ්වාස කරමි.
මහාචාර්ය ලෝරි සන්ටොස් ගේ මූලධර්ම පහ (05) මෙසේ ය.
01. කෘතඥතාව දැක්වීමට ලැයිස්තුවක්
සෑදීම.
02. දිගු වේලාවක් නිදා ගැනීම.
03. භාවනා කිරීම.
04. පවුලේ අය සමඟ, යහළුවන් සමඟ
වැඩිපුර කාලය ගත කිරීම.
05. අන්තර්ජාල සබඳතා අඩුකර සැබෑ
සබඳතා වැඩිකරගැනීම.
යේල් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් ලෙස නම් කරන ලද ‘කෙසේද සතුටු වන්නේ’ යන පුහුණුව
සඳහා එක් වාරයකට ශිෂ්‍ය පිරිස 1200 වැඩිය ලියාපදිංචි වී ඇති අතර විශ්වවිද්‍යාලයට
ඇතුල් වීමට සුදුසුකම් නොලබන පිරිස සඳහා අන්තර්ජාලය මඟින් පුහුණු කිරීම් කරනු ලැබේ.
මහාචාර්යවරියගේ පෙළ ගැස්වීමේ මුලින්ම දක්වන කෘතඥතාව සංකල්පය යටතේ සතියක කාලය ආවරණය
වන පරිදි තමා විසින් කෘතඥතාව දැක්විය යුතු කරුණු ඇතුළත් ලේඛනයක් සකස් කළ යුතු බවත්,
එසේ සකසන ලේඛනය ඔවුන් විසින් සතිපතා යාවත් කාලීන කර පවත්වාගෙන යා යුතු බවත් සඳහන්
ය. මේ තුළින්, මතු කොට දක්වන්නට ඇත්තේ මානව සබඳතාව සංවර්ධනය කර ගනිමින් අන්‍යෝන්‍ය
ජීවිත සුරක්ෂිතව පවත්වාගෙන යාමත්, දැඩි ලෙස ව්‍යාප්ත වන ආත්මාර්ථකාමී සහ හුදකලාවන
මානව සමාජය ඉන් මුදා ගැනීමත් විය හැකි ය.
බුදු පදවියට සෙවන දුන් බෝධීන් වහන්සේට කෘතවේදීත්වය දැක් වූ බුදුපියාණන් වහන්සේ
“කෘතවේදීත්වය” ගැන විශේෂ උනන්දුවක් දැක් වූ අතර, තමා සමඟ සසරේ බැඳී, අවසාන ජීවිතයේ
දී ආදරණීය බිරිඳ ලෙස සෙනෙහස දුන් යශෝධරාවන් ට කෘතවේදීත්වය පළකරමින් ඇගේ මැදුරට ගිය
අතර, ඇයගේ ප්‍රතිචාරයන්ට කිසිසේත් බාධාවක් නොකරන ලෙස සෙසු ඥාතීන් දැනුවත් කිරීම ද,
පසුව ඇයට භික්ෂුණියක වීමට, අවස්ථාව ලබාදීම ඇයගේ කුසලතාවන්ට සුදුසු ගෞරවය ද නො අඩුව
ම ලබාදීම මෙහිදී සරල සාධකයන් සේ සිහියට නැගේ. තමන් වහන්සේ භාවිතයෙන් එසේ පෙන්වා
දුන්න ද, මෙම කෘතවේදී බවේ වටිනාකම අගයන හෝ එම ක්‍රියාවලිය ප්‍රායෝගිකව කරන පිරිස්
බෙහෙවින් ම අඩු බව පැහැදිලිව මෙසේ පෙන්නා දේ.
“කතඤ්ඤු කත වේදී පුග්ගලො දුල්ලභො ලෝකස්මිං” (කෙළෙහි ගුණ දන්නා සහ කළගුණ වෙනුවෙන්
ප්‍රතිඋපකාර කරන පිරිස් බෙහෙවින්ම අඩු බව මෙම පාඨයෙහි තේරුමයි.)
ලොරි සන්ටොස් මහාචාර්ය වරියට අනුව සතුටු වීම සඳහා අවශ්‍ය දෙවන සාධකය ලෙස පෙන්වා
දෙන්නේ “දිගු වේලාවක් නිදා ගැනීම” යි.
නිදා ගැනීම භෞතික කයේ යහපැවැත්මට වඩාත් අවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙක්ම හොඳින්
දන්නා සරල සාධකයකි. එහෙත් නිදා ගැනීමට නොහැකි පිරිස් විශාල වශයෙන් ඒ සඳහා නිදිපෙති
විශාල වශයෙන් ගැනීම රහසක් නොවේ.
නිදාගැනීමේ වැරැදි රටා නිසා නිදි වර්ජිතව සිටින පිරිස් ගැන අසන්නට ලැබේ. පැය 08 ක
කාලයක් නිදා ගත යුතු බව පවසන මහාචාර්යවරිය, එසේ නිදා ගැන්ම තුළින් මානසික ආතතිය අඩු
වීම සහ ධනාත්මක සිතුවිලි වර්ධනය වීමේ හැකියාව වැනි ප්‍රතිඵල කිහිපයක් ලබා ගත හැකි
බව පර්යේෂණාත්මකව පෙන්වා දේ. බුදු දහම නිදා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය සාධක ගැන පෙන්වා
දුන් අවස්ථා රාශියකි. “සුඛං සුපති” සැපවත් නින්දක් සෑමදෙනාටම අවශ්‍ය බව සඳහන්
කරමින් මෙත්තානිසංස සූත්‍රයේ දී සිතෙහි සසල බව නැති කර ගැනීම නිසා සැපවත් නින්දක්
ලබා ගැනීමටත්, ඒ සඳහා මෛත්‍රී භාවනාව බෙහෙවින් යොදා ගත යුතු බවත් අවධාරණය කරයි.
මෙත් වඩන තැනැත්තා තම සිතතුළ පවතින විවිධ පදනම් රහිත බැඳීම්වලින් තමාගේ සිත නිදහස්
කර ගැනීමට උත්සාහවත් වේ. සරලව සිතීම සහ දැකීමට පුහුණුවන සිත ආතතීන්ගෙන් වැළකීම සහ
සැම වෙත මෙත් සිත මුදා හැරීම නිසා දයාබරිතව සැමට යහපතක් වන ලෙස සිතා කටයුතු කරන්නට
පෙළඹේ.
How to be happy ලිපිය පෙන්වා දෙන තෙවන කාරණය වන්නේ ‘භාවනා කරන්න’ යන්නයි. කිසිදු
ආගමික නැඹුරුතාවයක් නැති, තමන්ගේ විශ්වාස පදනම මත කරගෙන කළ හැකි භාවනාවක් ගැන කරන
සඳහනක් ලෙස ඇය තමා අධ්‍යාපන කටයුතුවල යෙදෙන මුල් යුගයේ සිටම පුරුද්දක් ලෙස භාවනා
කරගෙන පැමිණි බවත්, ඒ තුළින් වටිනා ප්‍රතිඵල තමා ලබා ගත් බවත් සඳහන් කරන්නී ය.
ප්‍රායෝගිකත්වයට නැඹුරුව මනස සංවර කර ගැනීම නිසා අසීමිත බැඳීම්වලින් ටිකෙන් ටික
ඉවත් වීම වානිජ රැල්ලේ ගොදුරක්ව ඇති වත්මන් සමාජය ඉන් ලබන අසීමිත අපහසුතා අවම
කරගෙන, සැහැල්ලු ජීවිතයකට පුරුදු පුහුණු වීමට ගන්නා උත්සාහවත් අවස්ථාවක් වෙත යොමු
වීම මෙම භාවනා කිරීම යන්නෙන් අදහස් කර ඇති බව පෙනේ. දිනකට අවම වශයෙන් විනාඩි 10 ක්
වත් භාවනාවේ යෙදෙන ලෙස තම ශිෂ්‍යයන්ට අවධාරණය කරයි. “භාවනාවට” බුදු දහමේ ඉහළම මඟ
පෙන්වන්නේ මෙලොව සහ පරලොව උභයාර්ථ සාධනය පිණිස සහ බුදු දහමේ ඉහළම අපේක්ෂාව වන
නිර්වාණය ළඟා කරගැනීමට, ආධාරකයක් ලෙස ය. එසේ වුවද භාවනා වැඩපිළිවෙළකට යොමු වන්නා
සෙසු අයට වඩා හැම අංශයකින් ම ස්ථාවරත්වයකට මෙන්ම සාපේක්ෂව සතුටින් ජීවත් වන
ප්‍රතිපදාවකට හුරුපුරුදු වේ. බෞද්ධ භාවනාවේ පදනම පුද්ගලයාගේ පසිඳුරන් පාලනය කරගෙන ඒ
තුළින් තමන්ට මෙන්ම සෙසු පිරිසටද කිසිදු අවහිරතාවක් සිදුවන ආකාරයට ක්‍රියා කිරීමෙන්
වැළකී සිටීමට පුරුදු පුහුණු වීමකි.
“සතුටු වන්නේ කෙසේද?” යන ලිපිය මගින් අවධාරණය කරන සිව්වන කරුණ වන්නේ “පවුලේ අය සහ
යහළුවන් සමඟ වැඩිපුර කාලය ගත කරන්න” යන්නයි. අද සමාජයේ සියලු ස්ථර දෙස විමර්ශනශීලීව
බලන විට, මඟ තොට, ගුවන් තොට අතරමග සහ සේවා ස්ථානවල දැකිය හැකි ලක්ෂණය වන්නේ තම සුරත
මත රඳවා ගත් ජංගම දුරකතනය වෙත නෙත් යොමා ගනිමින් අවට සිදුවන කිසිදු දෙයක් ගැන
උනන්දු නොවන, සමාජ සම්බන්ධතාවලින් මිදෙමින් ගෙවන ජීවන රටාවකි. මෙය ශ්‍රී ලංකාවේ
පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සුලභ දර්ශනයකි. හතරවන නිර්ණායක ගැන විස්තර කරන
මහාචාර්යවරිය
‘එය එතරම් කල්ගතවන දෙයක් නෙවෙයි. ඔබ කළ යුත්තේ එම මොහොතේම ජීවත් වීම, එම කාලය ඔවුන්
සමඟ එක්ව සිටින බව තේරුම් ගනිමින් ගත කරන්න. ඔබේ කාලය ගත කෙරෙන ආකාරය පිළිබඳව
සවිඤ්ඤානික වෙන්න’ යනුවෙන් වැඩිදුරටත් පැහැදිලි කරයි.
මෙම සංකල්පය බුදුදහම ඉතා ගැඹුරින් විග්‍රහ කරන අතර හැම විට අන්තර් සමාජ සම්බන්ධතා
වැඩිදියුණු කරගත යුතු බව, ඒ හා සම්බන්ධව ඒ ඒ අයගේ යුතුකම් සහ වගකීම් ගැන අවබෝධයක්
ලබාදෙමින් උනන්දු කරන අවස්ථා අතරින් සිඟාලෝවාද සූත්‍රයෙහි සමස්ත සමාජ සම්බන්ධතා
ශ්‍රී ලාංකික ජනසමාජය අතර බෙහෙවින් ප්‍රචලිත ය. මව්පිය, දූදරු, අඹු සැමි සේවක
සේව්‍ය, ගුරු සිසු ගිහි පැවිදි යනුවෙන් වර්ගීකරණය කොට තමතමන්ගේ සුහද සම්බන්ධතා
නිරෝගීව පවත්වාගෙන යා යුතු ලෙස මග පෙන්වා දේ. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ දී ධනවත්
පිරිසකට පෙන්වා දුන්නේ දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සහ සමානාත්මතාවය යන කරුණු
සතරින් සෙසු ප්‍රජාවට සංග්‍රහ කරන ලෙසටයි. තවද අර්ථ චර්යාව ගැන නූතනයේ විශේෂ
අවධාරණයක් කරන ටිබෙට් බුදුදහම ඒ හා සම්බන්ධව ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරන
අතර ළඟදී “Richard Mathew” විසින්
“Ahruism” යනුවෙන් පළකළ ග්‍රන්ථයෙන් බෞද්ධ
සමාජය මානව සංවර්ධනය වෙනුවෙන් දක්වන අනුග්‍රහය බටහිර ජන සමාජයට පෙන්නා දේ,
“ How to be happy” යන නිබන්ධනයෙහි අවසාන කාරණය ලෙස සඳහන් කරන්නේ “අන්තර්ජාල සබඳතා
අඩුකර සැබෑ සම්බන්ධතා වැඩිකර ගන්න” යන්නයි. සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ව්‍යාජ සතුටෙන්
සියල්ල අහිමි කර ගත යුතු නැති බව සන්ටොෂ් මහාචාර්යවරිය “
Instergram” වැනි සමාජ
මාධ්‍ය වැඩියෙන් භාවිත කරන අයට වඩා සමාජ මාධ්‍ය ජාල භාවිත නොකරන අය බොහෝ කාලයක්
ජීවත්ව සිටින බව නවතම සමීක්ෂණවලින් පෙන්වා දී ඇති බව තවදුරටත් සඳහන් කරයි. |