UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම

බුද්ධජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම

ව්‍යවහාර වර්ෂ එක්දහස් නවසිය පනස් හයේ දී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදුකළ මාහැඟි ශාසනික මෙහෙවරක් ලෙස සිංහල අකුරෙන් පැවැති පාලි ත්‍රිපිටක ග්‍රන්ථ (සමස්ත බුද්ධ දේශනාවම) සංශෝධනය කොට, ශුද්ධ කොට තහවුරු කිරීම හා අට්ඨකථානය හෙවත් ථේරවාදී සම්ප්‍රදාය භාවිත කරමින් සිංහලට පරිවර්තනය කිරීම අතිශය වැදගත් කාර්යයක් විය.

මෙම කාර්යයේ දී පාලි සිංහල භාෂාවන්හි මෙන්ම ධර්ම විනය පිළිබඳ මනා පටුත්වයක් ඇති අග්‍රගණ්‍ය පැවිදි පඬිවරුන් රැසක් ක්‍රියාත්මක වූ බවත්, උන්වහන්සේලා වසර තිහකට අධික කාලයක් ඉතා සියුම් ලෙසත්, නිවැරැදි ලෙසත් මෙම කාර්යය මහත් ශාසන දයාවෙන් යුතුව සිදුකළ බවත් ඉතා පැහැදිලි ය. එසේ තහවුරු භාවයට පත්කළ ත්‍රිපිටක පෙළ හා සිංහල පරිවර්තනය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව ලෙසින් සම්භාවනීයත්වයෙන් වැජඹෙමින් ධර්මාධ්‍යයනයට හා විමුක්ති සාධනයට මහදුපකාරී වී පවතී. එසේ නිවැරැදි පෙළ හා අරුත් දනවන ත්‍රිපිටකයට බාහිර වූ අර්ථ ඇතුළු කිරීමටත්, පෙළ විකෘති කොට ස්වාභිමතය තුළ අරුත් සම්පාදනය කිරීමටත්, විකාර ස්වරූපී අර්ථකථන, විකාරරූපී සංශෝධන හරහා ශාසන විලෝපකාරීන් තැත් දරණ මෙවන් යුගයක ශ්‍රී ලාංකේය ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය විසින් පිළිගන්නා ත්‍රිපිටකය මේ යැයි තහවුරු කොට තැබීම අතිශය වැදගත් කාර්යයකි. එම කාර්යය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪකිරීම, බුද්ධජයන්ති ත්‍රිපිටක සංස්කරණ ක්‍රියාවලිය මෙන්ම කාලීන වශයෙන් වැදගත් බව මෙහිලා මූලිකව සටහන් තබමු.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව රැස් වූ මහාකාශ්‍යපාදී ශාසනභාරධාරී මහරහතන් වහන්සේලා ශාසනයට මතු ඇතිවිය හැකි අනතුරු විෂයෙහි උපේක්ෂක නොවී සසුන ආරක්ෂා කරගැනීම පිණිස ප්‍රථම ධර්ම සංගායනාව සිදුකොට සූත්‍රයන්හි ප්‍රමාණය, දිග පළල, අන්තර්ගතය, විෂයක් ෂේත්‍රය, ස්ථානය, පුද්ගලයා ආදී නොයෙක් කරුණු සැලකිල්ලට ගෙන ධර්මය හා විනය ක්‍රමාණුකූලව ගොනුකොට ඒ ඒ නිකායයන් ආනන්ද මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හා ශිෂ්‍ය පිරිස, අනුරුද්ධ මහරහතන් වහන්සේ හා ශිෂ්‍ය පිරිස, උපාලි මහරහතන් වහන්සේ හා ශිෂ්‍ය පිරිස වෙත නොනසා පවත්වාගෙන යාම සඳහා භාරදුන් බව ඓතිහාසික මූලාශ්‍රය මගින් පැහැදිලි කෙරෙයි. එසේ ධර්ම සංගායනාවෙන් හා ධර්ම සංග්‍රහයෙන් සුරක්‍ෂිත බුද්ධවචනය දෙවැනි තෙවැනි සංගායනාවන්ගෙන් ද සුරක්‍ෂිත භාවයට පත් කිරීමත්, තුන්වෙනි සංගායනාවෙන් අනතුරුව ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය ආදී ථේරවාදී රටවල් වෙත ප්‍රචාරය වීමත් සිදුවිය.

එහි සාධනීය ප්‍රතිඵලය වූයේ භාරතයෙන් බුදුසමය අතුරුදන් වන අවස්ථාවෙහි පවා ඉන්දියානු උපමහාද්විපය තුළ වෙනත් රටවල් ගණනාවක් ඇසුරු කොටගෙන ත්‍රිපිටකය සුරක්‍ෂිත වීමයි. එසේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ලක්දිවට ලැබුණු ත්‍රිපිටක ධර්මය ජාතියේ ජීවය ලෙස රැකගැනීමට සමස්ත ගිහි පැවිදි හෙළයන් කටයුතු කළ ආකාරය මෙබඳු කෙටි ලිපියකින් පැහැදිලි කිරීම කෙසේවත් නොකළ හැක්කකි. මෙම ලිපියේ දී ධර්මයේ සුරක්‍ෂිත භාවය උදෙසා සම්ප්‍රදාය විසින් වරින් වර ගත් පරිශ්‍රමයන් හා විධික්‍රමයන් පිළිබඳ කෙටි සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

සම්බුද්ධ දේශනාවේ සුරක්‍ෂිත භාවය හා විශ්වසනීය භාවය තහවුරු කරගනුවස් සම්බුද්ධ පරිනිර්වාණ අවදියේ මෙන්ම ඉන් මෙපිට වැඩසිටි භික්ෂූන් වහන්සේලා ද ඉතා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ බව පැහැදිලි ය. ඒ අතර මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු පන්සීයක් රහතුන්ගේ ප්‍රථම සංගායනාවෙන් සිදුවූ කාර්යභාරය සුවිශේෂ වෙයි. එහි දී ධර්මය විධිමත්ව සංග්‍රහ කිරීම මෙන් ම භාණක පරපුරු වෙත පවත්වාගෙන යාම සඳහා භාරදීම ද තුළින් ධර්ම සංරක්ෂණ වැඩ පිළිවෙළ සාර්ථකත්වයට පත් විය. ඒ පිළිබඳ ඓතිහාසික වාර්තාව වනුයේ චුල්ලවග්ගපාලි පඤ්චසතිකක්කන්ධකය යි.

සුමංගලවිලාසිනී හා සමන්තපාසාදිකා අටුවාවන්හි ආරම්භයේ දී ම, එවමෙතං සබ්බම්පි බුද්ධවචනං රසවසෙන එකවිධං, ධම්මවිනයවසෙන දුවිධං, පඨමමජ්ක්‍ධිමපච්ඡිමවසෙන තිවිධං, තථා පිටකවසෙන, නිකායවසෙන පඤ්චවිධං, අංගවසෙන නවවිධං, ධම්මක්ඛන්ධවසෙන චතුරාසීතිසහස්සවිධන්ති වෙදිතබ්බං යනුවෙන් වන හැඳීන්වීමක් මෙන්ම යථෝක්ත රසාදිය පිළිබඳව වන විග්‍රහාත්මක විස්තරයක් ද දක්නට ලැබෙයි.

මෙහිලා සමස්ත බුද්ධවචනයම (සබ්බම්පි බුද්ධවචනං) එකිනෙකට වෙනස් විභජනක්‍රම හතකට ගොණුකර දැක්වීමේ හැකියාව අටුවාවෙහි නිරූපණය වෙයි. මෙහි එන රස වශයෙන්, ධර්ම විනය වශයෙන්, ප්‍රථම මධ්‍යම පශ්චිම වශයෙන්, පිටක වශයෙන්, නිකාය වශයෙන්, අංග වශයෙන් හා ධර්මස්කන්ධ වශයෙන් ඉදිරිපත් වන වර්ගීකරණය තුළ විවිධ ක්‍රමයෙන් එතෙක් බුද්ධදේශනාව යැයි සම්භාවිතව පැවැති ධර්ම කොටස් ප්‍රතිෂ්ඨා ලබන බව පැහැදිලි ය.

1. බුද්ධවචනය රස වශයෙන් එකාකාරය (රසවසෙන එකවිධං)

රස වශයෙන් තථාගත දේශනාව ඒක විධ වන්නේ කෙසේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධකොට අනුපාදිසෙස නිර්වාණධාතුවෙන් පිරිනිවෙන තුරු පන්සාළිස් වසක් දෙව් මිනිසුන්ට අනුශාසනා කරමින් හෝ සිතින් මෙනෙහි කරමින් දෙසන ලද ධර්මය එකම විමුක්ති රසයක් දරයි. මෙසේ රස වශයෙන් ධර්මය ඒකවිධ වෙයි, යනුවෙන් අටුවාව පෙන්වා දෙයි.

2. බුද්ධවචනය ධම්මවිනය වශයෙන් දෙයාකාරය (ධම්මවිනය වසෙන දුවිධං)

ධර්ම විනය වශයෙන් දෙයාකාර වන්නේ කෙසේ ද? මෙම සියලුම දේශනාව ධර්මය මෙන්ම විනය යනුවෙන් ව්‍යවහාර වෙයි. එහි විනය පිටකය විනය වෙයි. අවශේෂ බුද්ධවචනය ධර්මය වෙයි. එබැවින්, අප ධර්මය හා විනය සංගායනා කරන්නෙමු නම් මැනවි, මම උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් පළමුකොට විනය විමසමි, ආනන්ද ස්ථවිරයන්ගෙන් ධර්මය විමසමි යනුයෙන් ප්‍රකාශ කරන ලදී යනුවෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශ කරති. මෙසේ ධර්ම විනය වශයෙන් දෙපරිදි වෙයි. එසේ ම අපට මෙතෙක් හමුවන ප්‍රථම සංගායනාව පිළිබඳ ඓතිහාසික ම වාර්තාව වන චුල්ලවග්ගපාලියෙහි ද උපාලි හිමියන් හා ආනන්ද හිමියන් විමසීමෙන් ධර්මය හා විනය සංගායනාවට බඳුන් වූ බව පැහැදිලිව ම තිබීම තුළ තථාගත පිරිනිවීමට සමාසන්න කාලයේ දී ධර්ම විනය යන ව්‍යවහාරයට වැඩි තැනක් හිමිවූ බව පෙනෙන අතර, තථාගතයන් වහන්සේගේ අවසාන භාගයේ දී උන්වහන්සේ සිය දේශනාව හඳුන්වා ඇත්තේ ද ධර්ම විනය යන පදද්වයෙන් බව මවිසින් ධර්මය ද විනය ද දේශනා කරන ලදී. මගේ ඇවෑමෙන් එය ශාස්තෘ වන්නේය වැනි කියමන් දෙස සැලකිල්ලෙන් අධ්‍යයනය කරන විට පැහැදිලි වෙයි. සමස්ත ධර්මය ම ධර්ම විනය යන ව්‍යවහාරයට යටත් වන බව (සබ්බමෙව චෙතං ධම්මො චෙව විනයොචාති සංඛ්‍යං ගච්ඡති) ප්‍රකාශ වන බැවින් මෙහි ධර්ම හා විනය යන කොටස් දෙකෙහි අභිධර්ම නම් ධර්ම කොටස ද ආවරණය වන බව සම්ප්‍රදායාගත පිළිගැනීමයි.

3. බුද්ධවචනය ප්‍රථම මධ්‍යම පශ්චිම වශයෙන් තුන්ආකාරය (පඨමමජ්ක්ක්‍ධිධිමපච්ඡිමවසෙන තිවිධං)

ප්‍රථම, මධ්‍යම, පශ්චිම වශයෙන් බුද්ධවචනය ත්‍රිවිධව හඳුන්වා දීමක් ද යථෝක්ත අට්ඨකථාගත වර්ගීකරණ අතර දක්නට ලැබෙයි. මෙයින් පළමු බුද්ධ වචනය ලෙස ධම්මපදයෙහි පැණෙන,

අනේකජාති සංසාරං -සන්ධාවිස් සං අනිබ්බිසං
ගහකාරං ගවෙසන් තො -දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨො සි -පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග් ගා -ගහකූටං විසඛතං
විසංඛාරගතං චිත්තං- තණ් හානං ඛයමජ් ඣගා

යන තථාගතෝදානය පෙන්වා දෙයි. එසේ නමුත් කේචිවාදයක් ඉදිරිපත් කරන අටුවාව, ඇතැමෙක් කන්ධකයන්හි එන යදාහවෙ පාතුභවන්ති ධම්මා ගාථාව ප්‍රථම බුද්ධවචනය ලෙස පිළිගන්නා බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් බුද්ධත්වයෙන් අනතුරුව එළැඹෙන දින තමන් වහන්සේගේ සත්‍යාවබෝධයේ බලවත් ප්‍රීතිය මත පටිච්චසමුප්පාද දේශනාව මෙනෙහි කරන අතරෙහි මෙම උදාන ප්‍රකාශය සිදු වූ බවත්, එය ප්‍රථම බුද්ධවචනය ලෙස හඳුනා ගතයුතු බවත් අටුවාව පෙන්වා දෙයි.

පශ්චිම බුද්ධවචනය නම් බුදුරදුන් පිරිනිවෙන කල්හි දේශනා කළ, හන් ද දානි, භිකඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සංඛාරා, අපපමාදෙන සම්පාදෙථ යන වගන්තිය යි. මෙම පඨම පශ්චිම බුද්ධවචනයන්ට අමතර යම් දේශනාවක් බුදුරදුන් විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද්දේ ද ඒ සියල්ල මධ්‍යම බුද්ධවචනය වෙයි.

ඉහත හැඳීන්වීම කිනම් අරමුණක් පිට සිදුකරන ලද්දක්දැයි විමසා බැලිය යුතුය. එහි මූලික අරමුණක් ලෙස බුද්ධවචනයට මර්යාදාවක් හෙවත් සීමාවක් පැණවීම පෙන්වා දිය හැකි ය. මෙතෙකින් මෙතෙක් බුද්ධවචනය වේය යන නිගමනය තුළ ද්විතීය අධ්‍යාරෝපිතයන්ට අවකාශ නොලැබෙන අතර පවත්නා බුද්ධවචනය ගිලිහීයාමට ද අවස්ථාවක් නොලබන බව මෙමගින් ගම්‍ය වෙයි.

4. බුද්ධවචනය පිටක වශයෙන් තුන් ආකාරය (තථා පිටකවසෙන) ත්‍රිවිධ බෙදීම් අතරට වැටෙන තවත් බෙදීමක් වෙතත් වර්තමානයෙහි ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති වර්ගීකරණය වන ත්‍රිපිටක ව්‍යවහාරයයි. මෙම පිටකත්‍රය වර්ගීකරණය සියලු නිකායිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත. වර්ගීකරණ ගොන්නෙහි අවිශේෂ වර්ගීකරණයක ස්වභාවයක් පිටක ව්‍යවහාරය දැරුව ද සුවිශේෂ ම වර්ගීකරණය ලෙස හඳුනා ගත හැක්කේ ද එයයි. මක්නිසා ද යත් සෙසු වර්ගීකරණයන්හි බුද්ධවචනය දෙස අවධානය යොමුකළ හැකි විවිධ පැතිකඩ හා කෝණයන් අවධානයට යොමු වෙතත් සමස්ත බුද්ධ දේශනාවේ අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු වන්නේ පිටක ව්‍යවහාරයෙහි බැවිනි. පිටක යන්නෙහි ඇති භාජනාර්ථය නොඑසේ නම් බුද්ධවචනය දරාගැනීම් අර්ථය කැළම දරනුයේ පිටකයන් ය.

බ්‍රහ්මජාලාදී තිස් හතරක් වූ සූත්‍ර සංග්‍රහය දීඝ නිකාය ලෙසත්, මූලපරියායසූත්‍රාදී සූත්‍ර එකසිය පනස් දෙකක් අන්තර්ගත සූත්‍ර සංග්‍රහය මජ්ක්‍ධිමනිකාය ලෙසත්, ඔඝතරණසූත්‍රාදී සූත්‍ර හත්දාස් හත්සිය හැටදෙකකින් පරිමිත සූත්‍ර සංග්‍රහය සංයුත්තනිකාය ලෙසත්, චිත්තපරියාදානී සූත්‍රාදී නවදහස් පන්සිය පනස් හතක් වන සූත්‍ර සංග්‍රහය අංගුත්තර නිකාය ලෙසත්, ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස හා චරියාපිටක යන ග්‍රන්ථ පසළොස ඛුද්දකනිකාය ලෙසත් හඳුනා ගත යුතු ය.

මීට අමතරව ඛුද්දකනිකායාන්තර්ගත කෘතීන් තුනක් ලෙස මිළින්දපඤ්හය, නෙත්තිප්පකරණය හා පෙටකොපදෙසය ද හඳුනා ගැනීමට ඇතැම් විචාරකයෙක් කැමැති වෙතත් ඒවා පශ්චාත් ත්‍රිපිටක ප්‍රාග් අට්ඨකථා කෘතීන් ලෙස විග්‍රහ කිරීම වඩාත් උචිත බව අප හැඟීමයි.

5. බුද්ධවචනය නිකාය වශයෙන් පස් ආකාරය (නිකායවසෙන පඤ්චවිධං) බුද්ධ දේශනාව නිකාය වශයෙන් පස්විධ බව මෙම විභජන විධීන්හි දැක්වෙයි. පඤ්චවිධ නිකායයන්ගෙන් ආවරණය වන්නේ සමස්ත බුද්ධ වචනය නොවන බව මතුපිටින් පෙනෙන කරුණක් වුවත් ථේරවාදී සම්ප්‍රදායෙහි ඛුද්දකනිකායාගත පිටකද්වයක් සේ විනය අභිධර්ම පිටක ද සලකා ගැනේ. මෙම නිකාය පඤ්චකය හැඳීන්වීමේ දී දීඝාදී නිකායයන්ගේ ස්වභාවය, නාමය, සූත්‍රගණන පමණක් නොව අවධාරිත විෂය පථය පිළිබඳ විශේෂ අවධානයකින් අටුවාව ඒවා විග්‍රහ කරනු දක්නට ලැබෙයි.

6. බුද්ධවචනය අංග වශයෙන් නවාකාරය (අංගවසෙන නවවිධං) බුද්ධවචනය අංග වශයෙන් නවවිධ බව නවංගසත්ථුසාසනය හැඳීන්වීම තුළ පෙන්වා දෙයි. සූත්‍රාදී අංග නවයෙහි සම්බුද්ධ දේශනාව ප්‍රබේධිත බව අටුවා පෙන්වා දෙයි. එහි දක්වන පරිදි උභතොවිභංග, නිද්දෙස, ඛන්ධක, පරිවාර, සුත්තනිපාතයෙහි මංගලසූත්‍රය, රතන සූත්‍රය, නාලක සූත්‍රය, තුවටකසූත්‍රය, සහ වෙනත් සූත්‍ර නාමයට වැටෙන සියලු තථාගත වචන සූත්‍ර කොටසෙහි ලා සලකා ගත යුතු බව පෙන්වා දෙයි. මෙහිලා දැක්වෙන සූත්‍ර නාමයට වැටෙන සියල්ල සුත්තාංගයෙහි වැටේ නම් සියලුම බුද්ධ දේශනා මෙම ගොඩෙහි ලා සැලකිය යුතුය. සියලු සගාථක සූත්‍ර ගෙය්‍ය යනුවෙන් හඳුනාගත යුතුය විශේෂයෙන් ම සංයුත්ත නිකායේ සියළු සගාථකවග්ගය, සම්පූර්ණ අභිධර්ම පිටකය, නිග්ගාථක සූත්‍ර, යම් වෙනත් අට්ඨාංගයකින් සංගෘහිත නොවූ බුද්ධවචනය වෙය්‍යාකරණ නම් වෙයි. ධම්මපද, ථෙරගාථා, ථෙරිගාථා, සුත්තනිපාතයෙහි සූත්‍ර නම නොලබන සුද්ධිකගාථා ආදිය ගාථා ගණයෙහි ලා සැලකෙයි. සොමනස්සඤාණමයික ගාථාවන්ගෙන් යුත් අසූ දෙකක් වන සූත්‍රාන්ත උදාන නම් වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ පවසන ලදැයි ආදී න්‍යායෙන් ඉදිරිපත් කරන ලද දසුත්තර සූත්‍රාදී සූත්‍ර ඉතිවුත්තක නමි. අපණ්ණකජාතකාදී පන්සිය පණහක් වූ ජාතක ජාතක නමි.

මහණෙනි, ආනන්දයන් විෂයෙහි වූ අශ්චර්යවත්, අද්භූත ධර්මයෝ සතරෙකි, ආදී වශයෙන් දෙසන ලද කොටස් අන්තර්ගත දේශනා අබ්භුතධම්ම වෙයි. චුල්ලවේදල්ල, මහාවේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්හ, සංඛාරභාජනිය, මහාපුණ්ණම සූත්‍රාදී සියලු ප්‍රහර්ෂය සතුට ලබමින් විමසන ලද සූත්‍රාන්ත වේදල්ල නම්වේ. මෙසේ මුළුමහත් බුද්ධ දේශනාව ම අංග වශයෙන් නවවිධ බව මෙම විග්‍රහයෙහි දක්වා තිබේ.

මෙහි අංග නවයකට බුද්ධ දේශනාවේ සියලු දෙසුම් බෙදා අන්තර්ගත කිරිමට අටුවාචාරීන් වහන්සේ උත්සාහ දැරුවද බොහොමයක් දේශනා මේ අංග කිහිපයකටම පොදු බව ඒවා දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වෙයි. උදාහරණයක් ලෙස මංගල සූත්‍රය සූත්‍රාංගයට, වෙය්‍යාකරණාංගයට මෙන්ම ගාථා අංගයට ද ඇතුළත් කිරීමේ හැකියාවක් ඇත. එබැවින් මෙහිලා අප අදහස් කරනුයේ නවංගයක් ලෙස දක්වා ඇත්තේ බුද්ධවචනයේ ප්‍රභේදයන් නොව බුද්ධවචනය පිළිබඳ දැකිය හැකි විවිධ කෝණයන් බව ය.

7. බුද්ධවචනය ධර්මස්කන්ධ වශයෙන් අසූහාරදහසකි (ධම්මක්ඛන්ධවසෙන චතුරාසීති සහස්ස විධං)

සමස්ත බුද්ධ දේශනාව ම ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසක් වන බව දක්වා ඇත. මෙම ධර්මස්කන්ධ බෙදීම පිළිබඳව අටුවාව දක්වනුයේ,

ද් වාසීති බුද්ධතො ගණ්හිං
ද්වෙ සහස්සානි භික්ඛුතො,
චතුරාසීති සහස්සානි
යෙ මෙ ධම්මා පවත්තිනො

යනුවෙන් සමස්ත බුද්ධවචනයෙන් ධර්මස්කන්ධ අසූ දෙදහසක් බුදුරදුන්ගේ බවත්, දෙදහසක් ශ්‍රාවකයන්ගේ බවත් ය. මෙම ධර්මස්කන්ධ බෙදීමේ දී කිනම් මිණුම්දණ්ඩක් අනුගමනය කළේද යන්න පිළිබඳව සම්ප්‍රදාය තුළ නිශ්චිත නිගමනයක් නැත. ඇතැම් තැනෙක විනයෙන් ධර්මස්කන්ධ විසි එක් දහසක් ද, ධර්මයෙන් විසි එක් දහසක් ද, සෙසු ධර්මස්කන්ධ හතළිස් දෙදහස අභිධර්ම පිටකයෙන් ද සම්පූර්ණ වන බව දක්වා තිබෙයි. ඒ අනුව සියල්ල අසූ හාරදහසක් ධර්මස්කන්ධය වෙයි.

මෙසේ අතිශය සංවිධානාත්මකව බාහිර අදහස් මිශ්‍ර වීමට ඉඩ නොදී තිබෙන ධර්ම ගිලිහීයාමට ද අවස්ථාව නොදී සැලකිල්ලෙන් හා කැපවීමෙන් රැකගත් තථාගත දේශනාවට බැමිණිතියා සාගතය, විදේශ ආක්‍රමණ, රටතුළ හටගත් දේශපාලන කැරලි කෝලහල අවස්ථාවන්හි බරපතල තර්ජනයන්ට මුහුණ පෑමට සිදු විය.

බැමිණිතියා සාය වැනි අවස්ථාවන්හි බොහෝ භික්ෂූන් රට හැරගිය අතර ඇතැම් භික්ෂූන් සාගින්නේ ම අපවත් වූහ. මේ අතර තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් ඉතා දුකසේ මීපොතු, නෙළුම්දඬු, කරකොල ආදිය වළඳමින් ත්‍රිපිටකය කටපාඩමේ තබාගත්හ. දුර්භික්ෂය අවසන් වූ වහාම මෙවන් ව්‍යසනයක් අනාගතයේ සිදුවුවහොත් බුද්ධවචන රැකගැනීම පිළිබඳ අවදානමක් ඇති බැවින් ද, අනාගතයේ ක්‍රමානුකූලව පුද්ගලයාගේ මතකශක්තිය හීන වීමක් දක්නට ඇති බැවින් කටපාඩමෙන් ත්‍රිපිටකය පවත්වාගෙන යාමේ ගැටලු මතුවිය හැකි බැවින් ද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට ශාසන භාරධාරී තෙරවරු තීරණය කළහ.

ඒ අනුව මාතලේ ආලෝක ලෙනෙහි දී සංගායනාවක් සිදුකොට මෙම මාහැඟි ශාසනික කාර්යය සිදු කළ අතර එය එදා මෙදා තුර ත්‍රිපිටකය රැක ගැනීම සඳහා ප්‍රථම ද්විතීයාදී සංගායනාවන්ට අනතුරුව සිදුකළ අපරිමිත සේවාව වන්නේය. සමස්ත ලෝක බෞද්ධ ජනතාවගේ ම මහත් ගෞරවයක් ශ්‍රී ලංකාවට හිමි වීමට ද මෙකරුණ හේතු වී ඇත.

මෙසේ රැකගත් ත්‍රිපිටක ධර්මය මියන්මාරයේ දී පසුගිය පනහ දශකයේ දී ඡට්ඨසංගායනා නමින් සංගායිත අතර මෙහිලා ථේරවාදී බෞද්ධ දේශයන්හි ත්‍රිපිටකයේ සාම්‍යතාව සුරක්‍ෂිත කොට තහවුරු කරන ලදී. මෙම කාලය තුළම එළැඹි දෙදහස් පන්සියය සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ක්‍රමානුකූලව ශුද්ධ කොට අටුවාටීකානුසාරයෙන් සිංහලානුවාදයක් ද සමග මුද්‍රණය කිරීමට ශ්‍රි ලංකා රජය තීරණය කොට ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළ හරහා අද වන විට ඉතා සුපිරිසිදු ත්‍රිපිටකයක් අප ඉදිරියේ පවතී. මෙසේ පවතින අතර ම බුද්ධභාෂිතයට විවිධ හානිකර සංශෝධන ගෙන ඒමට හා බුද්ධවචනය අතිශය ජනකාන්ත ලෙස, එහෙත් වරදවා විස්තර කිරීමට කටයුතු කෙරෙන පාපමිත්‍රයන්ගෙන් ගහන මෙවන් වකවානුවක එය ජාතික උරුමයක් ලෙසට නම් කිරීමට හා එමගින් බුද්ධ දේශනාවට ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව සැලකීම සුදුසු ය.

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk