පි‍්‍රය බව නිසා ශෝකය ඇතිවේ
සැවැත්නුවර තිසරණ සරණ ගිය සිටුවරයෙක් සිටියේ ය. ඔහුට යහපත් පුතෙක් උන්නේ ය. ඒ
සිටුකුමරු රෝගාතුර විය. එම රෝගයෙන් ම මිය ගියේ ය. සිටුතුමා පුතාගේ මරණය ගැන දැඩි සේ
කම්පා විය. නොකා නොබී සිටියේ ය. නිතර පුතා දැමූ සොහොනට ගියේ ය. හඬාවැළපෙන්නට වූයේ
ය. උමතුවෙන් මෙන් කාලය ගත කෙළේ ය.
බුදුන්වහන්සේ අලුයම ලොව බලනවිට මේ සිටුවරයා දුටු සේක. සිටුපායට වැඩිය සේක. සිටුවරයා
බුදුන්වහන්සේට ගෞරව දැක්වී ය. අසුන් පැනවී ය. පිළිසඳරට කැමැති බව ප්‍රකාශ කළේ ය.
උපාසක ඇයි මේ ශෝකයෙන් බුදුහු විචාළහ. ස්වාමීනි! මගේ පුතා මිය ගිය නිසා දුකින්
ඉන්නේ.
ඇයි තවත් දුකින් ඉන්නේ.
ස්වාමීනි! මට සිටියේ එකම දරුවා ය. ඔහු අකාලයේ මිය ගිය විට කෙසේවාවම්ද ? කියමින්
හඬන්නට විය.
උපාසක එසේ නො සිතන්න. මරණය නම් එකම තැනක එකම අයකුට පමණක් සිදු නොවේ. භවයේ හැම
කෙනෙකුට ම මරණය සිදුවේ. එය සංස්කාරයක් වුව ද නිත්‍ය නොවේ. ශෝක නොකළ යුතු ය. පැරැණි
නුවණැත්තෝ ද, දරුවන් මිය ගිය විට මරණය උරුම යැයි කීහ. ශෝක නොකළහ. මරණ සතිය වැඩූහ.
බුදුන්වහන්සේ වදාළ සේක.
ස්වාමීනී, තවදුරටත් මට එය වටහා දෙනු මැනවි.
උපාසක, සර්පයා දිරා ගිය හැව හැර යයි. එසේ ම මිය ගිය විට දී තමා පරිහරණය කළ සිරුර අත
හැර දමයි. මියගිය තැනැත්තාට ඒ සිරුර දැවෙන විට දී ද නො දැනේ. නෑ සිය මිතුරන් අඬන
විට ද නො ඇසේ. එබැවින් ඔබේ මිය ගිය පුතා යා යුතු තැනට ගොස් ඇත. ඔහුට ඔබ ශෝකයෙන්
පසුවීම නො පෙනේ. ඔබේ ඇඬීම නොපෙනේ. ඒ නිසා ඔබ නුවණැත්තකු ලෙස කටයුතු කරන්න. මෙතෙක්
කරගෙන ආ කර්මාන්ත අත නොහරින්න. නිරාහාරව නො සිටින්න. නො හඬන්න. මරණ සති භාවනාවේ
යෙදෙන්න.
එසේය ස්වාමීනි! සිටුවරයා පැවසී ය.
බුදුන්වහන්සේ තවදුරටත් මෙසේ විස්තර කළහ. උපාසක හිතන්න. පි‍්‍රය බව නිසා ශෝකය ඇතිවේ.
පි‍්‍රයයන් නිසා බිය ඇති වේ. පි‍්‍රයයන්ගෙන් මිදුණවිට ශෝකය නැත. බිය නැත. යනුවෙන්
ධර්ම දේශනාවක් කළ සේක.
එය අවසානයේ සිටුවරයා සෝවාන් ඵලයට පත් විය.
එච්.කේ. තිලක |