උඳුවප් අව අටවක 2018.12.29
දහම් රසය විඳිමු
තථාගතයන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි විග්‍රහ කෙරෙන්නේ මිනිසා සතු පරම
ධනය සතුට වන බව ය. මෙලොව ද, පරලොව ද සුබසෙත තීරණය වන්නේ ඒ සිතිවිලි අනුව ය. එහෙත්
වැඩි දෙනෙකුගේ සතුට පිළිබඳ දැක්ම බුදු දහමේ විග්‍රහ කෙරෙන සතුටට පටහැනි ය.
කෙනෙක් සතුට මනින්නේ මිල මුදලිනි. ඇතැම් විට ගොඩගසාගත් ධනයෙනි. උදේ පටන් රාත්‍රිය
වනතුරුත්, බොහෝවිට රාත්‍රියේ පවා දවසේ වැඩි කාලයක් ගත සිත වෙහෙසන්නේ සතුට උපයන්නටය.
වෙනත් ලෙසකින් කියනවා නම් රුපියල් ශත සොයන්නට ය.
අප සොයන සතුට ළඟා කර දෙන්නට මෙවන් භෞතික වස්තූන්ට හැකි වේද? පරිබාහිර කිසිවෙකුට
සිතේ සතුට ළඟාකර දිය හැකි ද? උපයාගත් දෙයින් තෘප්තිමත්ව ජීවිත ගත කළ නොහැකි නම්,
අතෘප්තිකර ආශාවන් පසු පසම හඹා යන්නේ නම් එතැන ඇත්තේ සතුට නොව දුකක් ම බව
අතීතාවර්ජනයක යෙදුණේ නම් තමන්ට ම අවබෝධ කරගැන්ම අපහසු නො වන්නේ ය.
කාලය වේගයෙන් ගෙවී යයි. මොහොතින් මොහොත අප ළඟා වෙන්නේ මරණයට ය. කවර මොහොතක ඊට මුහුණ
දෙන්නට සිදුවේදැයි කාට නම් කිව හැකි ද? තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව මතු මිනිස්
ජීවිතයක් ලැබීම නම් ඉතාම දුර්ලභ ය. එහෙයින් ලැබූ මිනිස් දිවියේ ගෙවන ස්වල්ප කාලයෙහි
වුව සතුටින් දිවි ගෙවා මෙලොවත්, පරලොවත් සුබසෙත ළඟා කරගන්නට වීර්යය කළ යුතුම ය.
සිතෙහි සතුට වනසා දමන්නේ බාහිර බලවේග නොවේ. තමන් තුළ පහළ වන්නා වූ සිතිවිලි වලිනි.
ඒවා නම්, මේ ජීවිතයේත්, මරණින් මතු ජීවිතයේ ත් අනර්ථය පිණිසම වන, දුක ම උපදවන,
නිවන් මඟ වළකාලන ලෝභ, දෝෂ, මෝහාදී අකුසල මූලයන්ගේ මෙහෙයවීමෙන් උපදින ලාමක අකුසලයන්
ය. කෙනෙක් මෙම අකුසල මූලයන් යටපත් කරන්නට, ප්‍රහීණ කරන්නට උත්සාහ නොගන්නා තාක්
සිතෙහි උපදින්නේ ම දුක ය. සතුට නොවේ. එම අධම අකුසල මූලයන් මුලිනුපුටා දමන්නට නම් ඊට
එරෙහිව අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මූලික සිතිවිලි වර්ධනය කරගත යුතුම ය. නිවැරැදි
සතුට ළඟාකර ගත හැකි වන්නේ එවිට ය. පෘථග්ජන ලෝකයේ ඇලීම් සහ ගැටීම් මැද ලෝභ, දෝෂ,
මෝහාදී අකුසල මූලයන්ගෙන් දුරස්වීම සිතන තරම් පහසු නොවනු ඇත. ඒ සඳහා සිත නිරන්තරයෙන්
පුරුදු පුහුණු කළ යුතුම ය. තථාගත ධර්මයෙහි අන්තර්ගත වන්නේ ඒ සඳහා වූ සදූපදේශයන් ම
ය.
බුදු මග යන බෞද්ධයා ප්‍රවිශ්ෂට විය යුතු ඒ මඟට ය. ඒ සඳහා නිරන්තරව, නිවැරැදි ධර්ම
ශ්‍රවණය කිරීමෙන්, නිවැරැදි දහම් පොත පත පරිශීලනය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන්
ධර්ම ඥානය ලබාගත යුතු ය.
ධර්මය දැන ගැනීම පමණක් ද ප්‍රමාණවත් නොවන්නේ ය. උගත් ධර්ම කරුණු හොඳින් සිතෙහි
ධාරණය කරගත යුතු ය. එනම්, මතකයේ රඳවා ගත යුතු ය. එය ද ප්‍රමාණවත් නොවේ. ධාරණය කරගත්
ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නට නිරන්තරයෙන් ඇප කැප විය යුතු ය.
තමන්ගේ දූ දරුවන්ගේ, ඥාති හිත මිතුරන්ගේ ජිවිතය තුළින් ද ධර්මය ප්‍රායෝගිකව දකින්නට
ඔවුන් ද පෙළඹවිය යුතු ය. සරලව කියනවා නම් ධර්මචාරී විය යුතු ය. මේ ජීවිතයටත්, මතු
සසර ගමනටත් ධර්මය පිහිට වන්නේ එවිට ය.
තථාගතයන් වහන්සේ දේශිත ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කරගත හැකි අය සේ ම, පහසුවෙන්
අවබෝධ කළ නො හැකි අය ද බුද්ධ කාලීන භාරතයේ වූ හ. ගැඹුරු ධර්මය වඩාත් පහසුවෙන් අවබෝධ
කරවීම සඳහා උන්වහන්සේ ධර්ම දේශනාවන්හි දි පරිසරයේ ඇසෙන, පෙනෙන විවිධ දේ උපමා කොට
ගත්හ. එක් අවස්ථාවක මුසිකා සූත්‍රයේ දී සතර වර්ගයක මීයන් ගැන උන්වහන්සේ පෙන්වා
වදාළහ. ඉන් එක් වර්ගයක් වන්නේ තමන්ට මී ගුලක් සදාගත් නමුත් එහි ජීවත් නොවන මීයන් ය.
අනෙක්, වර්ගය තමන්ගේ ම යැයි මී ගුලක් නොමැතිව කොතැනක හෝ ජීවත්වන මීයන් ය.
තවත් වර්ගයක් වන්නේ මී ගුලක් ඇත්තේත් නැති, ජීවත් වන්නේත් නැති මීයන් ය. සිව්වැන්නෝ
තමන්ටම මී ගුලක් තනාගෙන එහි ජීවත්වන්මෝ ය. බුදුරජාණන් වහන්සේ මූසික සූත්‍රයේ දී
මීයන්ට උපමා කොට වදාළේ මිනිසුන් වර්ග සතරකි. මී ගුල උපමා කළේ ධර්මයට ය.
ඒ අනුව සමහරු හොඳින් බණ දහම් උගත්තෝ වෙති. එහෙත් දහමෙහි නොහැසිරෙති. තවත් සමහරු
දැහැමිව දිවි ගෙවති. එහෙත් ධර්මය නොදනිති. තවත් පිරිසක් ධර්මය නොදනිති. ධාර්මික
පැවැත්මක් ද නැත. අනෙක් පිරිස ධර්ම ඥානය ඇත්තෝ වෙති. ඒ දහම් මග ගමන් කරමින් ධාර්මික
ව ජීවත් වෙති.
බෞද්ධයන් ලෙස අප යා යුතු ද ඒ මඟ ය. එනම්, මැනවින් ධර්මය අවබෝධ කොටගෙන, ධර්මචාරී වීම
ය. එවිට මේ ලොව පරම ධනය අපවෙත ළඟා කර ගත හැකි ය. එනම්, සතුට උරුම කරගත හැකි ය.
‘ධම්ම පීති සුඛංසෙති විප්ප සන්නෙන චේතසා’ දහම් රසය වළඳන තැනැත්තා ප්‍රසන්න සිතින්
සුවසේ කල් ගෙවයි. ධර්මාවවාදය එයයි.
|