තෙවළා
බුදු වදන්
අතරින් -
16
පුද්ගල හා සමාජ
සදාචාරය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
දහසක් නෙත් ඇති සක් දෙවි සදෙව්ලොවට ම අධිපති බලසම්පන්න දෙවියා යැයි බෞද්ධ පිටක
ග්‍රන්ථවල සඳහන් වේ. නිතර බුදුරදුන් හමුවුණ සක්දෙව් රජු උන්වහන්සේ සමග කළ සාකච්ඡා
පිළිබඳ තොරතුරු සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ ඇතුළත් වේ.
එහි ඇතුළත් සූත්‍ර දේශනා අතරින් සත්ත වත පද යනුවෙන් හැඳීන්වෙන සූත්‍රය බුදුරජාණන්
වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසන සමයෙහි භික්ෂූන් වහන්සේ අමතා කළ දේශනාවකි. සක් දෙව්
රජු පෙර මනුෂ්‍යයෙකුව ඉපිද සිටි සමයෙහි දිවිහිමියෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති හතක්
ගැන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ට කරුණු පැහැදිලි කළ සේක. ඒ අනුව ඔහු
විසින් දිවි හිමියෙන් මව්පියන් පෝෂණය කිරීමත්, කුල දෙටුවන් පිදීමත්, මෘදු වදන්
භාවිත කිරීමත්, කේලාම් කීමෙන් වැළකීමත්, මසුරු මළ දුරු කොට දන් දීමත්, සත්‍ය
ප්‍රකාශ කිරීමත්, ක්‍රෝධ නොකිරීමත් යන ප්‍රතිපත්ති හත අනවරතයෙන් අනුගමනය කරන ලදී.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මරණින් පසු සදෙව් ලොවටම අධිපති සක්‍ර පදවියට පත් වූ බව
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක.
සක් දෙව් රජ අනුගමනය කළ පිළිවෙත් හත වතපද යනුවෙන් දක්වා තිබේ. ඔහු එම වතපද දිවි
ඇතිතෙක් ම අඛණ්ඩව අනුගමනය කළ නිසයි සදෙව්ලොවට ම අධිපති ශක්‍ර පදවියට පත් වූයේ. මෙම
වතපද පිළිබඳ විමර්ශනය කළ විට පෙනී යන්නේ ඒ සියල්ල පුද්ගලයා ට මෙන් ම සමාජයට ද
හිතකර, සදාචාරය වර්ධනය කෙරෙන අත්‍යුත්කෘෂ්ට සත් ගුණාංග බවයි. එසේම මෙම සදාචාර
ප්‍රතිපත්ති සෑම අයෙක් ම ක්‍රියාවට නැංවිය යුතු සද් ගුණාංගයෝ ය. එහිලා පුද්ගල
විශේෂත්වයක් නොමැත. ඒ සියල්ල ආගමික අර්ථයෙන් පමණක් නොව ශිෂ්ට සම්මත විශ්වධර්මතා
යටතේ ද කිසිදු භේදයකින් තොරව විශ්වීය වශයෙන් ඇගයුමට ලක්වෙන වටිනාකම් පද්ධතියකි.
සමාජයක යහපැවැත්ම සනිටුහන් කෙරෙන අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතා මැනවින් සුරැකෙන
අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා කෙරෙන උදාර පුරුෂාර්ථ ලෙස ඒවා නම් කිරීම යෝග්‍ය වේ.
පළමු වත පදයෙන් මව්පියන්ට සැලකීම අවධාරණය වේ. එය ලෝක සම්මත සදාචාර ධර්මයකි. මෙලොව
ජනිත වූ සෑම මිනිසෙක් විසින් ම අනුගමනය කළ යුතු උසස් සදාචාර පිළිවෙතකි මව්පිය
උපස්ථානය. එය කඩ කිරීම අකෘතඥ කමෙකි.
දෙවන ප්‍රතිපදාවෙන් කුල දෙටුවන්ට ගරු සත්කාර කිරීම අදහස් වේ. අට්ඨකථා නිර්වචනය අනුව
කුල දෙටුවන් යනු සිය පවුලේ වැඩිහිටියන් වන පියාගේ වැඩිමහල් සොහොයුරා ඔහුගේ බිරිඳ,
බාල සොහොයුරා හා ඔහුගේ බිරිඳ, මාමණ්ඩිය හා නැන්දනිය ආදී වැඩිහිටියන් ය. සිංහල බෞද්ධ
සංස්කෘතිය අනුව ලංකාවේ පවතින්නේ විස්තෘත පවුලකි. සිය දෙමාපියන්ට අමතරව සෙසු
වැඩිහිටි ඤාතීන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රැසකි. පවුලේ ඤාතීන් අතර අන්‍යෝන්‍ය
සහයෝගය හා සුහදත්වය ආරක්ෂා කර ගැනීමට යුතුකම් ඉටු කිරිම අවශ්‍ය වේ. එය කිසියම් කාල
සීමාවකට පමණක් සීමා වූවක් නොවේ. යාවජීව වශයෙන් ඉටුකළ යුත්තකි.
තෙවන, සිව්වන හා සයවන වත පද සන්නිවේදනය හා සම්බන්ධ වේ. ඒ යටතේ මෘදු වදන් භාවිතය
හෙවත් ආචාරශීලිව කථා කිරීමත් එකිනෙකා කොටවන කේලාම් කීමෙන් වැළකීමත්, සත්‍ය ප්‍රකාශ
කිරීමත් අදහස් කොට තිබේ. අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතා නිවැරැදිව පවත්වාගෙන යාමට යට
කී යහපත් සන්නිවේදනය අවශ්‍ය වේ. අදහස් ප්‍රකාශ කිරීමේ දී ඇතිකරගන්නා ශික්ෂණය ආර්ය
මාර්ගයේ සම්මා වාචා යටතේ අවධාරණය වේ.
පස්වන වත පදයෙන් දානය හා පරිත්‍යාගය අදහස් වේ. පරිත්‍යාගය ප්‍රගුණ කිරීම සන්තානගත
ආත්මාර්ථකාමී ආකල්පය දුරුකිරීමටත්, අකුශල මනෝ භාවයක් වන ලෝභය නැති කිරීමටත් ඉවහල්
වේ. ලෝභ චේතනාවේ ප්‍රතිඵලයක් වන සියල්ල තමා සතු කර ගැනීමේ මසුරු ආකල්පය පරාජය කිරීම
ට නම් දානය හා පරිත්‍යාගය අභ්‍යාස කළ යුතුවේ. ධන නිෂ්පාදනයේ යෙදෙන ගිහියාට පමණක්
නොව පරපටිබද්ධ දිවිපෙවෙතක් ගෙවන අධ්‍යාත්මික විමුක්තිය පිණිස කැපවෙමින් මාර්ග
බ්‍රහ්මචර්යාවේ නිරතවන පැවිද්දා ද දානය හා පරිත්‍යාගය යාවජීව වශයෙන් අභ්‍යාස කළ
යුතු යන්න බෞද්ධ ඉගැන්වීමයි. තමන් උපයන දෑ, අන් අය හා බෙදා ගැනීමට අකැමැති
මිනිසුන්ගෙන් සැදි සමාජය අන්තර් සමාජ සම්බන්ධතා ගිලිහුණු ආත්මාර්ථකාමී එකකි. දානය ට
හා පරිත්‍යාගයට ලැදියාවක් නොදක්වන සිත වියළි කතරක් වැනි ය. පරිත්‍යාගයට පොළඹවන
කරුණාව නමැති තෙත් ගුණය නොරඳන සිතක සත් ගුණ නැමැති බීජ රෝපණය වන්නේ කෙසේ ද? එය
කිසිසේත් විය නොහැකි ය.
සන්තානගතව නැගෙන ක්‍රෝධය පාලනය කිරීම යාවජීව වශයෙන් සිදුකළ යුතුය යන්න අවසන් සත්වන
වත පදයෙන් අවධාරණය වේ. සූත්‍රයේ දැක්වෙන පරිදි සන්තානගත ක්‍රෝධය විවිධ හේතු නිසා
නැවත නැවතත් ඇති වේ. එය ස්වභාවික ය. එහෙත් එය ක්‍රමයෙන් පාලනය කළ යුතු අකුශල සහගත
චිත්ත වේගය කි. මෛත්‍රිය වැනි කුශල සහගත චිත්ත වේග වර්ධනය කරගැනීමෙන් එය පාලනය කළ
යුතුය යන්න බෞද්ධ පිළිගැනීම යි. ක්‍රෝධය පාලනය නොකළහොත් එහි බලපෑමෙන් බොහෝ බිහිසුණු
අපරාධ සිදුවිය හැකි ය.
යට දක්වන ලද වත පද හතෙන් පුද්ගල සදාචාරය මෙන්ම සමාජ සදාචාරයත් අවධාරණය වේ. පුද්ගලයා
විසින් යාවජීව වශයෙන් මෙම ප්‍රතිපත්ති හත ක්‍රියාවට නංවන විට ඔහුට සාපේක්ෂව සමාජය ද
යහපත් වේ. ඒ අනුව මෙම සදාචාර ප්‍රතිපත්ති පුද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක කළ ද,
සමාජීය වශයෙන් එහි බලපෑම සුළුකොට තැකිය නොහැකිය. අනෙක් අතට මෙම සදාචාර ප්‍රතිපත්ති
හත විවාදයකින් තොරව විශ්වවීය වශයෙන් ම පිළිගත් සද් ගුණ වේ. ඒවා යම් පුද්ගලයෙකුට හෝ
විශේෂ සමාජයකට පමණක් සීමා වූ ප්‍රතිපත්ති නොවේ. ඒ සියල්ල මිනිසා විසින් මිනිසාගේ
යහපැවැත්ම උදෙසා ක්‍රියාවට නැංවිය යුතු සදාචාර ප්‍රතිපත්ති වේ.
බෞද්ධ දේව සංකල්පය කවරේද? යන්න හඳුනා ගැනීමෙහිලා මෙම සූත්‍රය බෙහෙවින් ප්‍රයෝජනවත්
වේ. මරණින් පසුව කෙනෙකු ඉපදිය හැකි පංච ගති අතරින් දේවත්වය එක් ගතියකි. පෙර
මනුෂ්‍යාත්ම භාවයක් ලැබූ තරුණයෙකු විසින් යාවජීව වශයෙන් අනුගමනය කළ යහපත්
ප්‍රතිපත්ති හතක් නිසා මරණින් අනතුරුව ඔහු ශක්‍ර තත්ත්වයට පත්විය. සදෙව් ලොවට ම
අධිපති දහසක් නෙත් ඇති දිව්‍ය රාජයෙකු විය. ඒ අනුව කෙනෙකු දේවත්වයට පත්වන්නේ
මනුෂ්‍යයෙකු වශයෙන් අනුගමනය කරනු ලබන යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙනි. බෞද්ධ
ඉගැන්වීම අනුව දේවත්වය යනු මනුෂ්‍යත්වයේ ම දිගුවකි. එය තීරණය වන බලවේගය යහපත් කර්ම
ශක්තිය යි. සදාචාර සම්පන්න කුශල ප්‍රතිපදාව යි.
මෙම සූත්‍රයේ දැක්වෙන සදාචාර පිළිවෙත් එක් දිනක් හෝ එක්වරක් පමණක් ක්‍රියාවට නැංවිය
යුතු අභ්‍යාස නොවේ. ඒ සියල්ල පුද්ගල ජීවිතයේ සාමාන්‍ය පුරුදු බවට පත්විය යුතුය යන්න
ගම්‍ය වේ. මරණින් පසුව ලැබෙන තත්ත්වය කෙසේ වුව ද, මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම
වර්තමාන ජීවිතය අර්ථවත් කරගැනීමට හේතු වේ. ඒ අනුව මව්පියන්ට සලකන, වැඩිහිටියන්ට ගරු
කරන, ආචාරශීලි වදන් භාවිත කරන, පරිත්‍යාගශීලි, සත්‍යවාදී, ක්‍රෝධයෙන් තොර මානසික
සංහිඳියාවෙන් යුක්ත පුද්ගලයා තව්තිසා වැසි දෙවියන් විසින් සත්පුරුෂයෙකු යැයි
නිර්වචනය කරන බව සූත්‍රය අවසානයේ දැක්වේ (තං වේ දේවා තාවති සා ආහු සප්පුරිසා ඉධ).
සත්ත වත පද සූත්‍රය අනුව මිනිසා දෙවියෙකු මෙන් ම සත්පුරුෂයෙකු වශයෙන් තීරණය කරන්නේ
ඔහු විසින් වර්තමාන භවයෙහි යාවජීව වශයෙන් අනුගමනය කරනු ලබන යහපත් ප්‍රතිපත්ති
විසින් ය. |