UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටුවා රසකතා 18 : තෙරුන්ගේ පා ධෝවනයට සක් දෙවිඳු පැමිණෙයි

තෙරුන්ගේ පා ධෝවනයට සක් දෙවිඳු පැමිණෙයි

‘අටුවා රසකතා’ යනුවෙන් සතර පෝදා පළවෙන ලිපි පෙළෙහි දහනව වැන්න මෙයයි. පෙර ලිපියෙන් අප ඉදිරිපත් කළේ ධම්මදින්න හිමියන් හා උන්වහන්සේගේ කමටහන් ආචාර්යවරයන් වහන්සේ වූ රෝහණ විහාර වාසී මහාතිස්ස තෙරුන්වහන්සේ අතර ඇති වූ සංවාදයකි.

එනම්, රහත් නොවී රහත් යන හැඟීමෙන් කටයුතු කළ සිය කමටහන් ආචාර්යවරයාගේ වැරැදි හැඟීම බැහැරකොට ධම්මදින්න හිමියන් විසින් කමටහන් ලබා දී උන්වහන්සේට රහත් වන්නට අවශ්‍ය පසුබිම සකස් කිරීම පිළිබඳ කතාව යි.

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ද එවැනිම කතා ප්‍රවෘත්තියකි. එනම් බොහෝ දෙනාට ධර්මය කියා දෙමින් ගණාචාරීව, අවිවේකීව විසූ මහාසිව තෙරුන් වහන්සේ තම ශිෂ්‍යයෙකු විසින් කරන ලද ධර්ම සංවේගයෙන් රහත් වූ ආකාරය සඳහන් කතාවකි. මෙය සඳහන් වන්නේ දික්සඟි අටුවා වන සුමංගල විලාසනියෙහි සක්කපඤ්හ සූත්‍ර වර්ණනාවෙහි ය. එහි සඳහන් පරිදි එම කතාව මෙසේ ය.

පබ්බරවාසි මහාසිව තෙරණුවෝ මාගම තිස්ස මහාවිහාරයෙහි වැඩ වාසය කරමින් ගණාචාරී ව අටළොස් ගණයකට අයත් භික්ෂූන්ට ධර්මය දේශනා කරමින් අවිවේකීව වැඩසිටියහ. උන් වහන්සේගෙන් දහම උගත් භික්ෂූන් වහන්සේලා තිස්දහසක් උතුම් රහත්ඵලය ලැබූහ. එයින් එක් රහතන් වහන්සේ නමක් ස්වකීය ආචාර්යවරයා වූ මහාසීව තෙරණුවෝ මාර්ගඵලාවබෝධය ලබා ඇත්දැ’යි දිවැසින් බලන්නේ තෙරුන් වහන්සේ තවමත් පෘථග්ජන භාවය දැක උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් සංවේගය උපදවා ධර්මය අවබෝධය කරනු වස් අහසින් ගොස් ස්වකීය ආචාර්යවරයා වැඳ එකත්පසක හුන්හ.

(ථෙරො කිර අට්ඨාරස මහාගණෙ වාචෙසි.තස්සොවාදෙ ඨත්වා තිංසසහස්සා භික්ඛු අරහත්තං පාපණිංසු, අථෙකො භික්ඛු, “මය්හං තාව අබ්භන්තරෙ ගුණා අප්පමාණා, කීදිසා නු ඛො මෙ ආවරියස්ස ගුණා”ති ආවජ්ජන්තො පුථුජ්ජනභාවං පස්සිත්වා ‘අම්හාකං ආචරියෝ අඤ්ඤෙසං අවස්සයො හොති, අත්තනො භවිතුං න සක්කොති. ඔවාදමස්ස දස්සාමී ති ආකාසෙන ගන්ත්වා විහාරසමීපෙ ඔතරිත්වා දිවාට්ඨානෙ නිසින්නං ආචරියං උපසංකමිත්වා වත්තං දස්සෙත්වා එකමන්තං නිසීදි)

එවිට තෙරුන් වහන්සේ පිණ්ඩපාතිකය කුමක් නිසා මෙහි ආවේදැයි විචාළහ. එවිට ඒ රහතන් වහන්සේ පවසනුයේ ස්වාමීනි, ඉඩ තිබේ නම් බණ පදයක් විචාරන්නට පැමිණියෙමි' කීහ. එවිට තෙරුන් වහන්සේ පවසනුයේ ඇවැත්නි, මෙහි බොහෝ දෙනෙක් ධර්මය හදාරන බැවින් ඔබට ඉඩක් නොලැබේ ය යනුවෙනි. එවිට ඒ රහතන් වහන්සේ විමසනුයේ ස්වාමීනි, එසේනම් විතර්ක මාලකයේ දී ඇසීමට පුළුවන් ද යනුවෙනි. තෙරුන් වහන්සේ පවසනුයේ ඇවැත්නි, විතර්ක මාලකයේ දී ද බොහෝ අය විචාරති. එබැවින් එහි ද ඉඩක් නැත යනුවෙනි. නැවතත් ඒ රහතන් වහන්සේ විමසනුයේ එසේ නම් ස්වාමීනි, පිඬු පිණිස වඩින විට, සිවුරුපොරවන විට, අවන්හලට පැමිණ කැඳ වැළඳු කල්හි, ගමින් නික්ම එන කල්හි, බොජුන් හලේ දන් වළඳා අවසන් වූ කල්හි, පා දෝනා කල්හි, උදෑසන දැහැටි වළඳන කල්හි, මුව දෝවනය කොට එන කල්හි, එසේ අවුත් සෙනසුනට ඇතුළු වු කල්හි, එම රහතන් වහන්සේ මෙසේ විමසූ නමුත් ඒ සෑම තැනක දී ම ප්‍රශ්න විචාරීමට පිරිස සිටින බැවින් උන්වහන්සේට ඉඩක් දිය නොහැකි බව මහාසිව තෙරණුවෝ පැවසූහ.

එවිට ඒ රහතන් වහන්සේ පවසනුයේ ස්වාමීනි, ඔබ වහන්සේට මෙපමණකුත් අවකාශ නැත්නම් මරණයට කෙසේනම් අවකාශ ලැබෙයි ද? ඔබ වහන්සේ බිම අතුළ ලෑල්ලක් මෙන් අනුන්ට උපකාර වෙතත් තමන්ට උපකාර කරගන්නට අසමත් වූවෙකි. එබැවින් ඔබ වහන්සේගෙන් දහම් විචාරීමෙන් මට පලක් නැතැයි පවසා තෙරුන් වහන්සේ බලා සිටිය දී ම අහසට නැගී තමන් වහන්සේ වැඩසිටි ස්ථානයටම වැඩියහ.

(මරණඛණම්පි න ලභිස්සථ, භන්තෙ, ඵලකසදිසත්ථ භන්තෙ පරස්ස අවස්සයො හොථ,අත්තනො, භවිතුං න සක්කොථ, න මෙ තුම්හාකං අනුමොදනාය අත්ථොති ආකාසෙ උප්පතිත්වා අගමාසි)

ඉක්බිති මහතෙරණුවෝ මෙසේ සිතූහ.මේ භික්ෂුව මෙහි පැමිණියේ මාගෙන් ප්‍රශ්න විචාරීමට නොව මා ධර්ම සංවේගයට පත්කිරීම සඳහා ය. ඉන්පසු මහාසිව තෙරණුවෝ ධර්ම සංවේගයට පත්ව දහවලෙහිත්, ප්‍රථම, මධ්‍යම යාමයෙහිත් ඉගෙනීමට පැමිණි භික්ෂූන්ට උගන්වා අවසන් කොට තමන් වහන්සේම තමන් වහන්සේගේ පා සිවුරු ගෙන කිසිවෙකුටත් කිසිවක් නොදන්වා හුදෙකලාවම වැඩියහ. එහි රැස්ව සිටි භික්ෂුන් වහන්සේලා තෙරුන් වහන්සේ කිසියම් කටයුත්තක් සඳහා වඩිනු ඇතැයි සිතූහ.

රහත් බව ලැබීම මට අරුමයක් නොවේ. දෙතුන් දිනක් ඇතුළත රහත් වී පෙරළා ආපසු එන්නෙමි’යි සිතා ඇසළ මස පුර තෙළිස්වක දා නික්මුණු තෙරුන් වහන්සේ ගාමාන්ත පබ්බාරයට ගොස් රහත් නොවී නොනිදන්නෙමි'යි අදිටන් කොට ඇඳ හරස්කොට තබා සක්මන් කරමින් භාවනාව ආරම්භ කළහ.

(න මඤ්චෙ මය්හං චතූහි ඉරියාපථෙහි මග්ගඵලං උප්පජ්ජිස්සති,අරහත්තං අප්පත්වා නෙව මඤ්චෙ පිට්ඨිං පසාරෙස්සාමි, න පාදෙ ධොවිස්සාමී” ති මඤ්චං උස්සාපෙත්වා ඨපෙසි)

වස් එළඹෙන දිනට ප්‍රථම රහත් වන්නෙමි’යි උත්සාහ කළ නමුත් එය එසේ සිදු නොවී ය. වස්කාලය පුරාවටත් නොහැකි වී පවාරණයට පෙර රහත් වන්නෙමියි උත්සාහ කළත්, එය ද අසාර්ථක විය. තෙරුන් වහන්සේ කෙතරම් උත්සාහ කළත් මෙසේ දවසින් දවස ගොස් විසිනව වසරක් ම ඉක්ම ගියේ ය. එහෙත් තෙරුන් වහන්සේට රහත්වීමට නොහැකි විය. ඒ විසිනව අවුරුද්දෙහි ම තෙරුන් වහන්සේ ඉඳීමක් හෝ පා දෙවීමක් හෝ නො කළහ.

මෙසේ තිස්වන අවුරුද්දෙහි වස් පවාරණයට දිනය පැමිණියේ ය. අන්‍යය සබ්‍රහ්මචාරින් විසුද්ධි පවාරණය කරතියි ( රහත් වී වස් පවාරණය කිරීම) මෙනෙහි කළ උන්වහන්සේගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටෙන්නට විය. තිස් වසක් ගත වුව ද මහ රහත් වී අන්‍ය සබ්‍රහ්මචාරීන් මෙන් විසුද්ධි පවාරණය කිරීමට නොහැකි වූවෙමි. මේ අත් බවෙහි දී නම් රහත් බවක් නොවන්නේයැ’යි සිතා හඬන්නට විය.තෙරුන් වහන්සේගේ හැඬීම ඇසූ අසල සිටි එක් දෙව්දුවක ද හඬන්නට පටන් ගත්තාය. හැඬීමෙන් මාර්ගඵලාවබෝධය වන්නේනම්, මාත් හඬන්නෙමියි ඇය තෙරුන් වහන්සේට ඇසෙන සේ කීවා ය.

( තස්සෙවං චින්තයතොව දොමනස්සං උප්පජ්ජි ,අස්සුධාරා, පවත්තන්ති, අථ අවිදූරට්ඨානෙ එකා දෙවධීතා රොදමානා අට්ඨාසි, “කො ඵත්ථ රොදසී” ති “අහං භන්තෙ, දෙවධීතා” ති “කස්මා රොදසී’ ති රොදමානෙන මග්ගඵලං නිබ්බත්තිතං, තෙන අහම්පි එකං ද්වෙ මග්ගඵලානි නිබ්බත්තෙස්සාමීති රොදාමි භන්තෙ’ති)

මෙය ඇසූ තෙරුන් වහන්සේ දෙවියනුත් මට සරදම් කරතියි ලජ්ජාවට පත්ව ශෝක කිරීම නුසුදුසුයැයි සිතා දැඩි අදිටන් ඇතිව විදසුන් වැඩී ය. තෙරුන් වහන්සේ එයින්ම උතුම් රහත්භාවයට පත් වූ හ.

රහත් වූ තෙරණුවෝ දැන් හොවින්නෙමි’යි සිතා ඇඳ පිළියෙළ කොට පා දෝවණු පිණිස පියගැට පෙළෙහි පුවරුව මත වාඩි වූ හ. එකෙණෙහි ම උන්වහන්සේගේ ශිෂ්‍ය තිස්දහසක් රහතන් වහන්සේ වෙන් වෙන්ව ඒ බව දැන මා වැනි අතවැසියෙකු සිටිය දී මාගේ ආචාර්ය පාදයන් වහන්සේ තමන්ම පා දෝවනය නුසුදුසු යැයි සිතමින් මම පා දෝවන්නෙමි’යි එතැනට රැස්වූහ.

(අන්තෙවාසිකාපිස්ස’අම්හාකං ආචරියස්ස සමණධම්මං කාතුං ගච්ඡන්තස්ස තිංස වස්සානි, සක්ඛි නු ඛො විසෙසං නිබ්බත්තෙතුං නාසක්ඛී’ ති ආවජ්ජයමානා ‘අරහත්තං පත්වා පාදධොවනත්ථං නිසින්නො” ති දිස්වා “අම්හාකං ආචරියො අම්හාදිසෙසු අන්තෙවාසිකෙසු තිට්ඨන්තෙසු ‘අත්තනාච පාදෙ ධොවිස්සතී’ති අට්ඨානමෙතං , අහං ධොවිස්සාමි අහං ධොවිස්සාමී”ති තිංසසහස්සානිපි

ආකාසෙන ගන්ත්වා වන්දිත්වා “පාදෙ ධොවිස්සාම, භන්තෙ”ති ආහංසු, ආවසො, ඉදානි තිංස වස්නානි හොන්ති මම පාදානං අධොතානං, තිට්ඨථ,තුම්හෙ, අහමෙව ධොවිස්සාමීති)

මේ කරුණු දුටු සක්දෙවිඳු සුජා ඇසුරු කන්‍යාව සමඟ එහි අවුත් ස්වාමීනී, ස්ත්‍රියකැ’යි කියමින් ඒ තිස්දහසක් රහතන් වහන්සේලා පීරාගෙන අවුත් ස්වාමීන් වහන්ස, මා වැනි උපාසකයෙකු සිටිය දී ඔබ වහන්සේ ම පා සෝදා ගැනීම නොයෙදේයැයි කීවේ ය. තිස් අවුරුද්දක් මුළුල්ලෙහි පා නොසේදූ බැවින් උන්වහන්සේගේ පතුල් පැලී තුවාල වී තිබුණේ ය.

තෙරණුවෝ සක්දෙවිඳු අමතා, ශක්‍ර දේවේන්ද්‍රය, දෙවියන්ට මිනිස් ගඳ අරුචි ය. එබැවින් තිස් අවුරුද්දක් නො සේදූ පා ඔබට සේදිය නො හැකියැයි කී හ. එවිට සක්දෙවිඳු පවසනුයේ ස්වාමීනි, ඔබ වහන්සේගේ සීල සුගන්ධය දෙව් ලොව ද පැතිරී සිටී. එබැවින් ඔබ වහන්සේගේ පා සේදීම මා වැන්නෙකුට ඉතා සුදුසුයැ’යි පවසා වමතින් විළිඹු දෙක අල්ලා දකුණතින් තෙරණුවන්ගේ දෙපා පිරිමැද්දේ ය. ඒත් සමඟම උන්වහන්සේගේ දෙපාවල වු තුවාල සුව වී පොඩි දරුවෙකුගේ මෙන් මොළොක් විය. සක් දෙවිඳු පා දෝවනය කොට නැවත දෙව්ලොවට ගියහ.

(භන්තො අයං ගන්ධො නාම න පඤ්ඤායති, තුම්හාකං පන සීලගන්ධො ඡ දෙවලොකෙ අතික්කමිත්වා උපරි භවග්ගං පත්වා ඨිතො, සීලගන්ධතො, අඤ්ඤො උත්තරීතරො ගන්ධො නාම නත්ථී භන්තෙ, තුම්හාකං සීලගන්ධනම්හි ආගතොති වාමහත්ථෙන ගොප්ඵකසන්ධියං ගහෙත්වා දක්ඛිණහත්ථෙන පාදතලං පරිමජ්ජි දහරකුමාරස්සෙව පාදා අහෙසුං සක්කො පාදෙ ධොවිත්වා වන්දිත්වා දෙවලොකමෙව ගතො)

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 29 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 06.49 ට ලබයි. 30 වන දා සිකුරාදා අපර භාග 04.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 06 වනදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]