ඉල් අවඅටවක 2018.11.30
දැන යා යුතු මඟ...
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි ඒ අසල නිවෙසක චුන්දසූකර නම් ඌරු
වැද්දෙක් සිටියේ ය. ජනී ජනයා දිවා රෑ දෙකෙහි දෙව්රම් වෙහෙරෙහි ධර්ම ශ්‍රවණයට ගිය ද,
චුන්දසූකර කවරදාකවත් එහි නො ගියේ ය. එක බණ පදයක් හෝ ශ්‍රවණය නො කළේ ය. අවසන මහා
දුක් වේදනා විඳ මරණයට පත් වූ ඔහු අපාගත විය.
බුදුරජාණන් වහන්සේ දිවමන් කාලයෙහි ම ආලවක නම් යක්ෂයෙක් ද සිටියේ ය. මිනිස් මාංශ
අනුභව කළ ආලවක සැඩ පරුෂ ය. මහා දරුණු ය. බුදුරදුන්ට පවා අභියෝග කරන්නට ඉදිරිපත්
වූයේ ය. එහෙත් ආලවකට ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්නට වාසනා මහිමය තිබුණි. අවසන ඔහු
සදහම් හි පැහැද යහපත් මගට පිවිසුණි. සියලු සතුන්ට මෛත්‍රිය පැතිර වූ
අවිහිංසාවාදියෙක් විය. චුන්දසූකරත්, ආලවක යක්ෂයාත් දෙදෙනා ම දරුණු පැවතුම්වලින්
යුතු වූවෝ වෙති. එහෙත් චුන්දසූකර අපාගත වූයේත්, ආලවක යක්ෂයා යහමඟට පිළිපන්නේත් දෙ
මඟක ගිය නිසා ය.
දිවමන් බුදුන් කල සේ ම අද ද මෙවැන්නෝ බොහෝ වෙති. එදා චුන්දසූකර සත්ත්ව ඝාතනය කළේ
ජීවනෝපාය පිණිස ය. අද මිනිස් වෙස් ගත් ඇතැම් අමනුෂ්‍යයෝ සිත පෙළෙන වෛරය, ක්‍රෝධය
පාලනය කරගත නො හී තම වර්ගයාට ම එරෙහිව අවි අතට ගනිති. වඩාත් කනගාටුවට කරුණ නම් අද
පාසල් වියේ පසුවන ඇතැම් ළමයින් පවා මේ මහා ව්‍යසනයට ගොදුරු වී සිටීම ය.
තාරුණ්‍යය නො ඉක්මවූවෝ, ගැමි වහරින් නම් කටේ කිරි සුවඳවත් නො ගිය දරුවෝ ය. සමාජයේ
ආදරය, කරුණාව, අවධානය නො අඩුව ලබන ඒ දරුවන් වෙතින් කිසිවෙක් ප්‍රචණ්ඩත්වය අපේක්ෂා
නො කරති. කෙළිලොල්බව, දඟකාරකම් මිස ඔවුන්ට සමාජයත් සමඟ විසඳා ගන්නට නොහැකි ගැටලු
නැත.
එහෙත් පසුගිය දින කිහිපයේ පාසල් වියේ ළමයින් සම්බන්ධව වාර්තා වූ සිදුවීම්වල මහපොළොව
නුහුලන අපරාධ පසුපස ඇත්තේ කාගේ වරදක් ද යන්න සොයාබලා අද අදම ඒ වැරැදි නිවැරැදි නො
කළේ නම් හෙට දවසේ ද මේ සාපරාධී දේ අසන්නට දකින්නට අප අභාග්‍ය සම්පන්න වෙනු නියත ය.
යම් සිත් රිදීමකට, තමන්ට සිදු වූ වරදකට ජීවිතයක් විනාශ කරන තරමට වෛරී අදහස් මේ
දරුවන්ගේ සිත තුළ වර්ධනය වූයේ කෙසේද? තමන්ගේ මිතුරා වරදකට පෙළඹෙනවා නම් ඉන්
වළක්වනවා වෙනුවට, මිතුරාගේ සිත ගිනිගෙන දැවෙන කෝප සහගත සිතිවිලි නිවා දමනවා වෙනුවට
අනුබල දෙමින් ඔහුට සහාය වන තරමට ළමා සිත් අපගාමී වූ අයුරු එම සිදුවීම්වල දී අපි
දුටුවෙමු. මෙහි සැබෑ වරද කාගේ ද?
කුඩා ළමයා ජීවිතය ඉගෙන ගන්නේ පළමුව මව්පියන් වෙතිනි. දෙවනුව ගුරුවරුන්ගෙනි. ළමාවිය
ගෙවෙන්නටත් පෙර අනුන්ට හිංසා කරනවා නම්, එහි වගකීම් මව්පියන්ට මිස අන් කවරෙකුට හෝ
නො වන්නේ ය. රැයක් දවාලක් නො බලා අධ්‍යාපනය පසුපස ම හැල්මේ දිව යන්නට ළමයින්
පොළඹවනවා හැර ගුණ ධර්ම උගන්වන්නට ආගමට දහමට සමීප කරවන්නට, අනෙක් මිනිසුන් සමඟ
සහයෝගයෙන් ජීවත් වන්නට, ප්‍රශ්නයක් ගැටලුවක් සාකච්ඡාවෙන් විසඳා ගන්නට මව්පියන්ට
ඉඩක්, සැලකිල්ලක් නො වන්නේ නම් හෙට දවසේ ළමයින්ගේ හැසිරීම් පසුපස එන කළකිරීම්,
පසුතැවීම්, වේදනාවන් ඉවසා දරාගන්නට ම සිදුවනු ඇත.
අද සමහර මව්පියන්ට ඉරිදා දින දහම්පාසල් මහත් කරදරයකි. ඒ කාලසීමාවේ ද දරුවා ටියුෂන්
යවන්නට ඉඩක් නැති නිසා ය. අද අපට අත් විඳින්නට ඇත්තේ ද මුල් තැන ටියුෂන් පන්තියට දී
දහම් පාසල අමතක කරවීමේ විපාක නොවේද?. පසුගියදා මාතර පාසල් සිසුවකු ඝාතනය කළ සිදුවීම
පිළිබඳ අදහස් දැක් වූ බොහෝ පිරිස් කියා තිබුණේ අදාළ ප්‍රදේශයේ ඉරිදා දිනයේත්
ටියුෂන් බව ය. ළමයින් අතර විෂමාචාර වර්ධනය වෙමින් පවතින බව ය.
සිතාබලා කටයුතු කළ නොහැකි සුනඛ, බළල්, ඇත්, අස් ආදී සිව්පා සතුන් පවා හී ලෑ
කිරීමෙන් කීකරු කරගත හැකි නම් උසස් මනසක් ඇති මිනිස් දරුවා කීකරු කරගැන්ම අපහසු
වන්නේ කෙසේද? යන්න ගැන ඇත්තේ ගැටලුවකි. අපගේ හැඟීම නම් දරුවන් හදන ක්‍රමෝපායේ වරදක්
ඇති බව ය.
දරුවන් වහ වහා දහමට යොමු කළ යුතු ය. කුඩා කල සිටම තුනුරුවන් ඇසුරේ හැදෙන වැඩෙන
ළමයෙක් දාමරිකයෙක් වන්නේ නැත. ඔහු ජීවිතය ධර්මයෙන් දකින නිසා ය.
අප කළ යුතු වන්නේ ධර්ම මාර්ගයට දැයේ සියලු දරුවන් යොමු කරවීම ය. බුදුන් කල
චුන්දසූකරලා ගිය මග නොව, සදහම් දැන සුමඟට යොමු කරවීම ය. එවිට මේ සමාජයේ මිනිස්කම්
බබළනු ඇත.
|