වප් පුර අටවක 2018.10.16
මුළා නොවන්න
සදාචාරවත් පුද්ගලයෙකු නිර්මාණය කිරීම තුළින් සදාචාරවත් සමාජයක් ගොඩනඟණු පිණිස
තථාගතයන් වහන්සේ පංච ශීල ප්‍රතිපදාව අනුදැන වදාළහ. තෙරුවන් සරණ ගිය බෞද්ධයා ඒ
සිල්පද සිය ප්‍රාණය හා සරි කොට ආරක්ෂා කරන්නේ ය. ඔහු කිසිදු විටෙක එක් සිල්පදයක් හෝ
කඩ කරන්නෙකු නොවේ. එකිනෙකාගේ ජීවිතවලට ගරු කරනා, බිය සැක නැති, විශ්වාසවත්, අවංක
,මදයෙන් තොර එවැනි බෞද්ධ සමාජය ද ආදර්ශ සම්පන්න ය.
අනුබුදු මිහිඳු මා හිමියන් අපේ රටට සම්බුදු දහම, හඳුන්වා දුන් දා සිට ගිහි සමාජයතුළ
පන්සිල් මුල්කරගත් ධාර්මික සංස්කෘතියක් ගොඩනැඟුණි. අනාදිමත් කලෙක සිට එය ආරක්ෂා
වෙමින් පැවත ආව ද , දැන් දැන් අසන්නට ලැබෙන සිදුවීම් බෞද්ධ නාමයෙන් සිටින ඇතැම් අය
පංචශීල ප්‍රතිපදා මාර්ගයෙන් දුරස්වන බවට සාධක ගෙනෙන්නේ ය. උපතින් හෝ නාමයෙන් බොදු
වූ පමණින් සැබෑ බෞද්ධයකු වීමට නුපුළුවන. බෞද්ධයකු නම් බෞද්ධ ප්‍රතිපදා මාර්ගයේ ගමන්
කළ යුතු ම ය. එය බිඳ වැටෙනවා නම්, ඔහු තුළ මිත්‍යා දෘෂ්ඨිකයෙකු මිස සම්මා
දෘෂ්ඨිකයෙකු ජීවත් නොවේ.
අපගේ ශාස්තෘන් වහන්සේ අපට උගන්වා වදාළ ජීවන ප්‍රතිපදාව ස්වාක්ඛාත ය. යමෙක් ඉන්
බැහැර වූයේ නම්, එතැන් සිට මතු වන්නේ ගැටලු ය. එහි අහිතකර ඵල වැරැදි මග ගිය
පුද්ගලයාට පමණක් නොව පොදුවේ සමාජයට ම ය. පංචශීල ප්‍රතිපදාවේ අවසන් සිඛ පදය ලෙස
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මදයට හේතුවන මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින ලෙස ය.
මෑත අතීතය වනතුරුම සමාජයේ ඇතැම් වැඩිහිටියන් මතට ගොදුරු වී තිබෙනු ඇසුවා විනා තරුණ
පරපුර ඊට අනුගත වන බවක් අසන්නට ලැබුණේ ඉතා කලාතුරකින් ය. බොහෝ විට නො ඇසූ තරම් ය.
එහෙත් සමාජයේ වැඩි පිරිසක් මුදල් පසුපස ම හඹා යන්නට පටන් ගැනීම නිසා පවට ඇති
ලජ්ජාවත්, බියත් දුරුකොට අනුන් නසා හෝ තමන් හැදෙන්නට (නො හැදෙන්නට) යාම තුළ බොහෝ
ගැටලු උද්ගත ව ඇති බව හැඟේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විවිධ වේශයෙන්
පැමිණ විවිධ ස්වරූපයෙන් තරුණ පිරිස් වෙත, පාසල් දරුවන්ට සමීප ව ඔවුන් මතට ගොදුරු
කරගන්නට ගන්නා ප්‍රයත්න බොහෝ ය. මේ නිසා අපගේ තරුණ පරපුර සේ ම පාසල් දරුවන් මත්
රකුසාගෙන් බේරා ගන්නට වහ වහා ම අවධානය යොමු කළ යුතුව තිබේ. එහි දී විශාල වගකීමක්
පැවරෙන්නේ මව්පිය වැඩිහිටියන්ට ය. වෙසෙසින් පාසල් වෑන් රථයක නංවා පාසලට ඇරලවු
පමණින් තම දරුවා මහ මඟ සුරක්ෂිත යැයි බොහෝ මව්පියවරු සිතති. එහෙත් අනතුර සෙවණැලි සේ
ඔවුන් පසු පස ම ඇදෙන බවත්, කවර මොහොතක හෝ අයහපතට යොමු කරවා ගත හැකි බවත් අමතක නො කළ
යුතු ය. ඒ සා විපරීත අදහස් ඇති ආත්මාර්ථකාමීන් අප අතර ම වෙසෙන බැවිනි.
පසුගිය දා අපවත් වී වදාළ අලුත්ගම ධම්මානන්ද නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක හිමියෝ
ඉතාමත් සංවේදී ව මේ තත්ත්වය පෙන්වා දුන්හ. උන්වහන්සේ අවධාරණය කළේ මත් උවදුර කල්
මරමින් විසඳිය යුතු ප්‍රශ්නයක් නොවන බවයි. දරුවන්ට ආමන්ත්‍රණය කළ උන්වහන්සේ පෙන්වා
දුන්නේ දරු පරපුර මතට ඇබ්බැහි වූයේ නම්, අපට රටක් ඉතිරි නොවන බව ය.
හොඳ වේශයෙන් එන නරක හඳුනා ගන්නට ඇතැම් ළමයින්ට අවබෝධයක් නැත. ඔවුන් යන එන තැන්වල
,ගැවසෙන ඇතැම් පුද්ගලයන් සඟවා ගත් ආත්මාර්ථකාමී සිතිවිලි තුළ බාහිර ව පෙන්වන සිනහව,
ආදරය, කරුණාව, ලෙන්ගතුකම දැක ඔවුන් රැවටෙන්නට ඉඩ ඇත. සරලව කියනවා නම්, ළමා පරපුර
මතට ගොදුරු කරගන්නට එසේ සැරසෙන්නෝ එවන් අපමණ උපක්‍රම යොදති. නොදරුවෝ ඊට රැවටෙන්නට
ඉඩ ඇත. මව්පියන් දරුවන්ගේ නියමුවන් විය යුත්තේ එහෙයිනි. පාසල් යන තම දරුවන් ගැන
පමණක් නොව, රැකියාවට යන, නො යන තරුණ දුව පුතා ගැන ද නිරන්තර විමසිල්ලෙන්, ඔවුන්ට
සමීප ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. රූපවාහිනිය, පරිගණකය,ජංගම දුරකථනය නිසා දුරස්වන
මව්පිය දූ දරු සබඳකම් වහ වහාම සමීප කරගත යුතුම ය. පන්සල ඇසුරු කරමින් ළමයින් වඩ
වඩාත් ධාර්මික පරිසරයට යොමු කිරීමට වග බල ගත යුතු ය. එවිට වරදට පෙළඹීමට ඇති ඉඩ
නිතැතින් ම ඇහිරෙන්නේ ය. එහි වගකිව යුත්තෝ ළමා හා තරුණ පරපුරේ මව්පිය භාරකරුවෝ ම ය.
|