UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවන ධර්ම සංගායනාව - 3 කොටස:  ලාභ සත්කාර ලබන්නට තීර්ථකයන් යෙදූ උපාය

තෙවන ධර්ම සංගායනාව - 3 කොටස: 

ලාභ සත්කාර ලබන්නට තීර්ථකයන් යෙදූ උපාය

ඒ වන විට මිහිඳු කුමරුට වයස අවුරුදු විස්සකි. සංඝමිත්තා කුමරියට අවුරුදු දහඅටකි. මිහිඳු කුමරු පැවිදි වූ දිනයේ ම උතුම් උපසම්පදාව ලැබී ය. සංඝමිත්තා කුමරියට පැවිද්ද සහ සික්්ඛමානාවක් (උපසම්පදාව පිණිස හික්්මෙන්නියක්) ලෙසින් ශික්ෂාපද සමාදන්වීමට සිදුවිය.

මිහිඳු තෙරුන්ගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ය. මහාදේව තෙරුන් වහන්සේ කුමරු පැවිදි කළ සේක. තෙරුන් වහන්සේ උපසම්පදාවේ දී කර්ම වාක්‍යය පැවසූ සේක. උපසම්පදා මාලකයේ දී ම මිහිඳු නමැති නවක උපසම්පදාලාභී භික්ෂුව සතර පටිසම්භිදාවෙන් (අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන) යුක්තව උතුම් අරහත් ඵලයට පත් වූ සේක.

සංඝමිත්තා කුමරිය පැවිදි වන විට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණිය වූයේ ධම්මපාලා තෙරණිය යි. ඇයගේ ආචාර්ය භික්ෂුණිය වූයේ ආයුපාලි තෙරණිය යි. ඒ සංඝමිත්තා තෙරණිය ද කිහිප දිනකින් උතුම් අරහත්වයට පත් වූ සේක. අරහත්වය සාක්ෂාත් කළ මිහිඳු තෙරුන් සහ සංඝමිත්තා තෙරණිය පසු කලෙක ලංකාද්වීපයේ බුද්ධ ශාසනය බබුළුවන්නට බොහෝ උපකාරී වූ සේක. ඒ දෙනම වහන්සේ ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා ගනිද්දී ධර්මාශෝක රජතුමා රාජාභිෂේකය ලබා අවුරුදු හයකි.

මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් වසරක් ඇතුළත සිය උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වෙතින් සූත්‍ර, විනය, අභිධර්මය යන තුන් පිටකය ම ඉගෙන ගත් සේක. සංඝමිත්තා තෙරණිය සඳ රේඛාවක් මෙන්, මිහිඳු මා හිමියන් හිරු මඬලක් මෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනය නමැති ගගන තලයෙහි සෝභමානව වැඩ සිටි සේක.

එක් කලෙක පාටලිපුත්‍ර නගරයෙන් වනයට ගොස් වනාන්තරයෙහි ඇවිදිමින් සිටි එක් පුද්ගලයෙකුට දාව කාන්තාවක් පුතුන් දෙදෙනෙකු බිහිකළ අතර, වැඩිමහල් පුතු තිස්ස ද, බාලපුතු සුමිත්ත ද විය. පසු කලෙක මහාවරුණ මහරහතන් වහන්සේ අසල තිස්ස, සුමිත්ත දෙදෙනා පැවිදි වූහ. සය වැදෑරුම් අභිඤ්ඤා ලබා ගනිමින් දෙදෙනා ම උතුම් අරහත්වයට පත් වූ සේක.

වැඩිමහලු වූ එම තිස්ස තෙරුන්ට සර්ප විසක් හේතුවෙන් පාදයෙහි ඉතා වේදනාවෙන් යුතු වූ තුවාලයක් හට ගත්තේ ය. තම සොහොයුරු වූ සුමිත්ත තෙරුන්ගෙන් බෙහෙත් පිණිස පතක් පමණ වූ ගිතෙල් ටිකක් ඉල්ලා සිටියහ. එවිට සුමිත්ත තෙරුන් ගිලන් පිණිසවත් ගිතෙල් ලබා ගැනීමට හෝ රජතුමාට දැනුම් දීමට හෝ සවස් වරුවෙහි පිඬුසිඟා යාමට කැමැති වූයේ නැත. පසුදින පිඬුසිඟා වඩිද්දී , ගිතෙල් ලැබුණොත් රැගෙන එන ලෙස තිස්ස තෙරුන් සුමිත්ත තෙරුන්ට වදාළ සේක. එදින පිණ්ඩපාතයේ වඩිද්දී ඒ සුමිත්ත තෙරුන්ට ගිතෙල් නො ලැබුණි. අවසානයේ දී ගිතෙල් කළ සියයකින්වත් සුව කරන්නට නො හැකි ලෙස රෝගය අසාධ්‍ය වී තිස්ස මහරහතන් වහන්සේගේ ආයුෂ ක්ෂය වුණි. අන් භික්ෂුන් වහන්සේලාට ධර්මාවබෝධය පිණිස අප්‍රමාදි විය යුතු යැයි දහම් අවවාද දුන් උන්වහන්සේ පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කළ සේක. තිස්ස මහරහතන් වහන්සේ සෘද්ධියෙන් අහසට පැන නැගී තේජෝ ධාතු සමාපත්තියෙන් යුතුව කැමැති පරිදි අධිෂ්ඨාන කොට පිරිනිවන් පෑ සේක. රහතන් වහන්සේගේ සිරුරෙහි නික්මි ගිය ගිනි දැල්වලින් මුලු ශරීරයේ ම මාංශ දැවී ගියහ. අස්ථි ධාතු පමණක් ඉතිරි විය.

ධර්මාශෝක රජුට තිස්ස තෙරුන් පිරිනිවන් පෑ ආකාරය අසන්නට ලැබී අශෝකාරාමයට ගොස් අරහත් ධාතුන් වහන්සේට සත්කාර සම්මාන පවත්වා “උන්වහන්සේ පිරිනිවන් පාන්නට හේතු වූ රෝගය කුමක් ද? කියා සංඝයා වහන්සේගෙන් විමසී ය. බෙහෙත් පිණිස පතක් පමණ ගිතෙල් සොයා ගන්නට අපහසු වූයෙන් රෝගය උත්සන්න වී පිරිනිවන් පා වදාළ බව අසා “මා වැනි රජෙක් සිටියදීත්, භික්ෂූන්ට බෙහෙත් හිඟ වූවා නෙව” කියා මහත් සංවේගයට පත් වූ රජු නුවර සතර වාහල්කඩ අසල විශේෂ පොකුණු කරවා ඒවා බෙහෙත් ඖෂධවලින් පිරවී ය. භික්ෂු සංඝයාට ගිතෙල් , මී පැණි ආදියෙන් කිසිදු අඩුවක් නොවේවා! කියා දිනපතා භික්ෂු සංඝයාට බෙහෙත් ලබා දුණි. තිස්ස තෙරුන්ගේ සහෝදර සුමිත්ත මහරහතන් වහන්සේත්, සක්මන් මළුවේ සක්මන් කරන ඉරියව්වේ දී ම පිරිනිවන් පා වදාළ සේක. ලෝකයාගේ යහපත කැමති ව වැඩ සිටි ඒ රහතන් වහන්සේ දෙනම පිරිනිවන් පාද්දී ධර්මාශෝක රජු අභිෂේකය ලබා වසර අටක් ගත වී තිබුණි. එම හේතූන් නිසා සංඝයා වහන්සේට ් සිව්පස වඩ වඩාත් බොහෝ සෙයින් ලැබුණි.

පහසුවෙන් සිව්පසය ලැබීමට අපේක්ෂාවෙන් සිටි තීර්ථකයන්ට මේ හේතුව නිසා ලාභ සත්කාර අඩුවිය. එනිසා ඔවුන් සිවුරු පොරවාගෙන ආර්ය පැවිද්ද ලබා සිටි නිර්මල භික්ෂුන් අතරට එක්ව වාසය කළහ. ඒ අන්‍යතීර්ථක ශ්‍රමණවේශධාරීන් බණ කියද්දී බුද්ධ වචනය මෙයයි කියා තම තමන්ගේ මතිමතාන්තර පවසන්න පටන් ගත්හ. ඔවුන් කැමති පරිදි තමන්ගේ ගිනි පිදීම්, දියේ ගිලී පව් සේදීම් සිත් සේ කරගෙන ගියහ. එවිට අටලෝ ධර්මයෙන් නො සැලෙන ස්ථිරව පිහිටි මහා ගුණ ඇති, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඉතාමත් බරපතල වූ මේ ශාසනික අර්බුදය සංසිඳුවීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් ගංගා නම් වූ මහා නදියට උඩ පැත්තේ පිහිටි අගෝගංග පර්වතයට වැඩම කොට විවේකීව සත් වර්ෂයක් වැඩසිටි සේක.

තමන් ම සිවුරු පොරවාගත් තීර්ථකයන් බොහෝ පිරිසක් සිටි අතර, ඔවුහු සංඝයාගේ අවවාදවලට අකීකරු වූහ. ඔවුහු සැබෑ භික්ෂුන් නො වන බව පෙන්වා දී ධර්මානුකූලව ඔවුන් සංඝයාගෙන් වෙන් කරන්නට භික්ෂුන් වහන්සේට නො හැකි විය. අන්‍ය තීර්ථක ශ්‍රමණ වේශධාරීන්ගේ දඩබ්බර ක්‍රියාකාරකම් නිසා දඹදිව සියලු විහාර ආරාමවල භික්ෂූන් වහන්සේලා සත් අවුරුද්දක් ම පොහොය කිරීම් ආදී විනය කර්මයන් සිදු කිරීමට නො හැකිව සිටියහ. මහා පිරිවර ඇති ධර්මාශෝක රජුට භික්ෂූන්ගේ පොහොය නො කිරීම ගැන අසන්නට ලැබුණි. අශෝකාරාමයට එක් අමාත්‍යවරයෙක් පිටත්කර “එම්බා අමාත්‍යය, මාගේ අශෝකාරාමයෙහි පොහොය ආදිය නො කිරීමට හේතු වූ අර්බුදය සංසිඳුවාලව, භික්ෂු සංඝයා ලවා පොහොය කිරීම් ආදිය කිරීමට සලස්සව” යැයි දැන්වී ය. ඒ ඇමැති අශෝකාරාමයට ගොස් සංඝයා රැස් කරවා “ඔබ වහන්සේ දැන් පොහොය කරනු” මැනවයි, කියන රාජ හසුන පෙන්වී ය. “සොරෙන් සිවුරු පොරවාගෙන සිටින අන්‍ය තීර්ථකයන් සමඟ අප පොහොය නො කරමු” කියා භික්ෂු සංඝයාවහන්සේ ඒ ඇමැතිට කීහ. එවිට ඔහු “හොඳයි එසේනම් මම පොහොය කරවන්නම්” කියා කඩුවක් ගෙන පිළිවෙළින් වැඩ සිටි ස්ථවිර භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ ම හිස ගසා දැමූහ. පෙර යුවරජුව සිටි ධර්මාශෝක රජුගේ සහෝදර තිස්ස මහරහතන් වහන්සේ වහා පෙරට වැඩ ඊළඟ කඩු පහරට මුහුණදීම පිණිස ආසනයෙහි වැඩ සිටි සේක. තිස්ස තෙරුන් දුටු ඇමැති ආපසු ගොස් සියලු විස්තර මහරජුට දැන්වී ය.

ඒ ඇසු ධර්මාශෝක රජුගේ සිරුරේ මහත් දාහයක් හටගත් අතර, මහත් සේ සසල වී ගිය සිතින් වහ වහා සංඝයා වහන්සේ බැහැ දැකීමට පැමිණියහ. “අනේ ස්වාමිනි, මා භික්ෂූන් වහන්සේ අපවත් කිරීමට කිසිවෙකු නො එව්වෙමි. මේ කළ දේ නිසා පව් රැස් වූයේ කාටදැයි” විමස ීය. ඇතැම් භික්ෂු පිරිසක් “මහරජ, මෙයින් ඔබට පව් රැස් විය” කීහ. ඇතැම් කොටසක් “මහරජ ඔබටත්, ඇමැතිටත් පව් රැස් විය” කීහ. නුවණැති භික්ෂුන් වහන්සේ “මහරජ මේ අමාත්‍යයා එහි ගොස් භික්ෂුන් නසාවා! යන සිත ඔබට ඇතිවුණාද කියා විමසී ය. “ස්වාමිනි, මා තුළ එබඳු චේතනාවක් ඇති වුයේ නැත. භික්ෂු සංඝයා සමගිව පොහොය කරත්වා! යන චේතනාවෙන් ම ඔහු පිටත් කළේ” කියා රජු කීවේ ය. මෙහිලා කුසල් සිතක් මිසක් භික්ෂූන් අපවත් කරවීමේ චේතනාවක් ඔබ තුළ නැති නිසා පව් සිදු නොවේ කියා නුවණැති භික්ෂුන් වදාළහ. එය ඇසු රජු “ ස්වාමිනි, මා තුළ ඇති වූ මේ සැකය දුරුකොට යළි බුද්ධ ශාසනය නඟා සිටුවීමට සමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටී ද? කියා විමසී ය. "මහරජතුමනි, ඔබගේ මේ සියලු අදහස් සඵල කළහැකි මොග්ගලිපුත්තතිස්ස මහ තෙරුන් වහන්සේ නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටීති" යි වදාළහ. එය ඇසූ රජු සිතෙහි මහත් පී‍්‍රතියක් හට ගත්තේ ය.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]