UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

බිනර පුර අටවක 2018.09.16

ජීවිතය සමත් වීම...

යහපත, අයහපත එසේත් නැතිනම්, හොඳ නරක අප ජීවත්වන සමාජයේ නිතර අසන්නට ලැබෙන වචන ය. විටෙක හොඳ පරදවා නරක දිනන්නේ ය. තවත් විටෙක නරක පරදවා හොඳ දිනන්නේ ය. සාමාන්‍ය සමාජ ස්වභාවය එය වුව ද යහපත පරදවා දිනන අයහපතට දිගු ආයුෂ නැත්තේ ය. වැරැදි කරන්නෝ ම දිනනවා’ යි ඇතැම්හු වැරැදි මතයක එල්බ සිටිති. ඒ මතු පිටින් බැලීමෙනි. මායාවක් ව එසේ පෙනුණ ද එහි ඇතුළාන්තය හිස් ය. අමිහිරි ය. කටුක ය. විපාක භයානක ය. එහෙයින්. තෝරා ගත යුතු අපහසු යැයි හැඟුණ ද යහපත ම ය.

හොඳ දේ කරන්නට ආයාසයක් දැරිය යුතු වන්නේ ය. සිත වඩාත් පුරුදු පුහුණු කළ යුතු වන්නේ ය. හැදූ වැඩූ මවට පියාට, ඉපැදුණු ගමට රටට වැඩදායක පුද්ගලයකු වන්නේ යහපත් සිතිවිලි පෝෂණය කළ තරමට ය.

‘තැනුවා නම් තම සිත තැනුවා ම ය’ යැයි ලෝවැඩ සඟරා කතුවරයා වෙසෙසින් ලෝකෝත්තරම ය වශයෙන් අවධාරණය කළ ද, ලෞකික ජීවිතයට ද එය මාහැඟි ඔවදනක් ය.

නො තැනු සිත, පාලනය නො කළ සිත ඉබාගාතේ සැරි සරයි. ඕනෑම තැනක නවතියි. සිතෙන දේ කරයි. ගුණ අගුණ නො සොයයි. විපාක නොදනියි.

අනෙක් පසින් අකුසල සිතිවිලි වර්ධනය වෙයි. ඒ අනුව තරහව, කෝපය, ඊර්ෂ්‍යාව, දැඩි ආශාව ආදී හැඟීම් දැනෙන හැම මොහොතකම තමන් ම දැවෙයි. පීඩාවට පත්වෙයි. ඒ සිතිවිලි ඔස්සේ ක්‍රියාත්මක වීමට යාම නිසා තමන් ම අපහසුවට, කරදරයට විනාශයට පත් වෙයි. තමන් තුළ සාමය, සංහිඳියාව ගිලිහී යයි. දෙවනුව සමීපතමයන් පීඩා විඳියි. එහි දී මව, පියා දූ දරුවන්, සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න, ගැටුම් උද්ගතව ගෘහ ජීවිතය අවුල් වියවුල් ඇති තැනක් බවට පත්විය හැකියි. තෙවනුව ජීවත්වන ගම, රැකියා ආයතනය තුළ සේ ම පොදුවේ සමාජයීය ක්‍රියාවලියේදී ද ප්‍රශ්නය . මේ නිසා එම සිතිවිලි පාලනය කරගන්නට තමන්තුළ ම උනන්දුවක්, උත්සාහයක් ඇති කරගත යුතු ය.

ඒ සඳහා සුදුසු ම මාර්ගය ධර්ම මාර්ගය වන්නේ ය. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය හඳුනා ගන්නා පුද්ගලයා, ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගන්නා පුද්ගලයා අකුසල සිතිවිලි හා ක්‍රියාවන්ට ඉඩ දෙන්නේ නැත.

‘අධිකරණය මිනිසුන් තුළ යම් තැනීමක් සිදු කරනවා. බුද්ධ ශාසනය සිත, කය, වචනය දමනය කර ගන්නා ආකාරය කියා දෙනවා. නීතිය තුළින් සමාජය මෙහෙයවනවාට වඩා දහම තුළින් එය සිදු කරන්නට පුළුවන් යැයි බුද්ධශාසන ඇමැති තුමා පසුගියදා අවධාරණය කර තිබුණි.

මේ ප්‍රකාශය ඉතා ම කාලෝචිත ය. එමෙන් ම ප්‍රායෝගික ව ක්‍රියාවට ද නැගිය යුතු ය. අපේ දරුවන්ට පොත පතින් ලබා දෙන ධර්මය පිළිබඳ දැනුම ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට පමණක් සීමා නො විය යුතු ය. විභාගය සමත් වුව ද ජීවිතය අසමත් වන්නේ පොතේ දැනුම ප්‍රායෝගික නොවු විට ය. යහපත් සමාජයක් නිර්මාණය කරන්නට බුදුදහමේ ඉගැන්වෙන සදූපදේශ සමාජයට ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරවන්නට සුදුසු වැඩ පිළිවෙලක් වහ වහා ක්‍රියාත්මක කළ යුතුව තිබේ. සමාජ යහපත අගයන සැමට ඊට උර දෙන්නට පුළුවන. එසේ නොමැතිව සමාජය පිරිහෙනවා, දැන් හැදෙන දරුවො ගුණ ධර්ම හඳුනන්නේ නෑ, අම්මට තාත්තට සලකන්නේ නෑ, සංවේදී නෑ ආදි ලෙස දොස් කීවාට ඒ වැරැදි නිවැරැදි වන්නේ නැත. විශේෂයෙන් ගමේ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ, පිළිගත් වැඩිහිටියන්, පාසල් දහම් පාසල් ගුරුවරුන් ඇතුළු විවිධ රාජ්‍ය ආයතන ද සම්බන්ධ කර ගනිමින් ඒ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ හැඟීම ය. එහි දී උනන්දුව, කැපවීම හා ඕනෑකම ඇති සමාජ සංවේදී පිරිස්වල දායකත්වය වැඩදායක වේ යැයි ද සිතමු.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]