නුවණින් ජීවිතය දිනූ
පඤ්චායුධ කුමාරයා
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුගේ අගමෙහෙසියගේ කුස තුළ පිළිසිඳ
බෝධිසත්ත්වයන් වහන්සේ මෙලොව එළිය දුටුහ. ඒ කුමාරයාට නම් තබන දිනයේ දී පැමිණි බමුණන්
කුමරුගේ ශරීර ලක්ෂණ බලා,
”මහරජතුමනි, මේ නම් මහ පිනැති රාජ කුමාරයෙකි. මොහු ඔබ වහන්සේගෙන් පසු රජ බවට පත්ව
දස රාජ ධර්මයෙන් රාජ්‍යය කරන්නේ ය. මේ කුමාරයා පඤ්චායුධ ශිල්පයෙහි දක්ෂව දඹදිව
සියලුª දෙනාට ම වඩා උසස් තත්ත්වයට පත් වන්නේ ය.” ආදී වශයෙන් කුමාරයා පිළිබඳව කරන ලද
විස්තරය ඇසු බ්‍රහ්මදත්ත රජු කුමාරයාට පඤ්චායුධ යනුවෙන් නම් තැබූහ.
කුමාරයා වැඩිවියට පැමිණි කල්හි තක්සලා නුවර දිසාපාමොක් ඇදුරු වෙතින් මැනවින් සියලු
ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ ය. නැවත තම නුවරට ඒම සඳහා පිටත් විය. පඤ්චායුධ දරා
සන්නද්ධ වී එන කුමාරයා අතරමග දී මහ වනයකට පිවිසියේ ය. මේ වනය තුළ සිලෙසලෝම නම්
යක්ෂයෙක් වාසය කළේ ය. ඔහු වනයට පිවිසෙන්නන් අල්ලා ආහාරයට ගත්තේ ය. පඤ්චායුධ කුමාරයා
ද වනයට පිවිසෙනු දුටු ගම්වැසියෝ කුමාරයා අමතා
”පින්වත් කුමරුනි, මේ වනයට නො පිවිසෙන්න. මේ වනයෙහි සිලෙසලෝම නම් දරුණු යක්ෂයෙක්
සිටී. ඔහු දුටු දුටුවන් අල්ලා අනුභව කරන්නේ ය. එබැවින් මේ වනය මැදින් නො යන්නැ යි
කීහ.
බෝසත් පඤ්චායුධ කුමාරයා ඔවුන්ගේ වචන නො අසා නිර්භීතව වනයට පිවිසි කල්හි සිලෙසලෝම
යක්ෂයා ද ළපටි කෙසෙල්මුව තරම් දළ ඇති කබර වැටුණු මුහුණ සහ විශාල කුසකින් යුතුව
නිල්පාට අත් පා ඇතිව ඉදිරියට පැමිණියේ ය. ඔහු දුටු කුමාරයා ”එම්බා යක්ෂය, මම මාගේ
දක්ෂකම සිහි කොට මෙ තැනට පැමිණියෙමි. තොප ද ප්‍රමාද නො වී මා අසලට පැමිණෙව. විෂ
පොවන ලද හීයකින් විද මෙතැන ම මරා දමන්නෙමි” යි පවසා යක්ෂයා බිය ගන්වා විෂ පොවන ලද
හීයක් ගෙන විද්දේ ය. එය ගොස් යක්ෂයාගේ රෝමයන්හි ඇලුණි. මේ අයුරින් හී දඩු විද්ද ද,
ඒ සියල්ල ද ගොස් යක්ෂයාගේ රෝමවල ඇලුණ අතර යක්ෂයා ද ශරීරය සොලවා ඒ සියල්ල බිමට දැමී
ය. කුමාරයා කඩුවෙන් පහර දුන්න ද එය ද ඇලී ගියේ ය. අවසානයේ කුමාරයා යක්ෂයා අසලට ගොස්
දකුණතින් පහර දුන්නේ ය. එයද රෝමයන්හි ඇලුණි. වමතින් ද පහර දුන්නේ ය. එයද රෝමයන්හි
ඇලුණි. මේ අයුරින් වම් පාදයෙන් ද, දකුණු පාදයෙන් ද, හිසෙන් ද පහරදුන් අතර, ඒ සියල්ල
ම යක්ෂයාගේ රෝමයන්හි ඇලී කුමාරයා යක්ෂයාගේ ශරීරයෙහි එල්ලෙමින් සිටියේ ය. එවිට
යක්ෂයා කුමාරයාගේ වීරත්වය, ශ්‍රේෂ්ඨත්වය අගය කොට,
එම්බා පුරුෂය, නුඹ මට ගොදුරු වී සිට ද, ආඩම්බර කතා පවසන්නට හේතුව කුමක් ද?
”එම්බල යක්ෂය, නුඹ මා කෑවෙහි නම්, මාගේ කුස තුළ ඇති වජ්‍රායුධ නම් ආයුධය ළයෙහි ඇනී
පිටතින් මතු වන්නේ ය. තොපගේ බඩවැල් කොටස්වලට කැඩී මරණයට පත් වන්නේ ය. එවිට අප
දෙදෙනාගේ ම මරණය සිදු වන්නේ ය. එනිසා මම බියට පත් නො වෙමි.” ආදී වශයෙන් නුවණ
මෙහෙයවා කරන ලද ප්‍රකාශයෙන් බියට පත් වූ යක්ෂයා සත්‍යයක් ප්‍රකාශ කරති යි සිතා
කුමරු නිදහස් කළේ ය.
”මානවකය, තොප උතුම් පුරුෂයෙකි. තොපගේ මස් නො කමි. තොප රාහුගේ මුඛයෙන් මිදුණු
චන්ද්‍රයා සේ මා අතින් මිදී පලා යව“යි කීහ. එවිට කුමාරයා යක්ෂයා අමතා,
”යක්ෂය, තොප වනාහී පෙර කරන ලද අකුසල් හේතුවෙන් රුධිරය තැවරුණ දෑත් ඇතිව අනුන්ගේ මස්
මාංශ කන්නා වූ යක්ෂයෙක් ව උපන්නෙහි ය. යම් හෙයකින් මේ යක්ෂ ආත්ම භාවයේ සිට ද අකුසල්
කරන්නේ නම් අඳුරෙන් අඳුරටම යන්නෙහි ය. මෙතැන් පටන් අකුසල් නො කරව, ප්‍රාණඝාත කිරීම
නිසා අපායෙහි උපදින්නෙහි ය.” ආදී වශයෙන් අවවාද කොට පඤ්ච සීලයෙහි අනුසස් දක්වමින්
ධර්මය දේශනා කොට ඔහු දමනය කළේ ය.
එකල සිලෙසලෝම යක්ෂයා නම් අංගුලිමාල තෙරුන් ය. පඤ්චායුධ කුමාරයා නම් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ බව වදාළහ. උන්වහන්සේ මේ බව වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි
වැඩ වසන කාලයේ දී පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ නමක් මුල් කොට ගෙන ය. නුවණැත්තන්
විසින් වීර්ය කරන්නට සුදුසු තන්හි වීර්යය කළ යුතු බව දැක්වීම සඳහා මෙම ජාතක කතාව
වදාළ සේක.
නයනා නිල්මිණී |