UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රථම ධර්ම දේශනාවෙන් ලොවට හෙළි කළ චතුරාර්ය සත්‍යය

ප්‍රථම ධර්ම දේශනාවෙන් ලොවට හෙළි කළ චතුරාර්ය සත්‍යය

බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් කොණ්ඩඤ්ඤ , වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේ අරභයා ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව සිදුකිරීම ඇසළ පුර පසළොස්වක පොහෝ දා සෑම ඓතිහාසික සිදුවීමක් අතරම වඩාත් ප්‍රමුඛත්වය ගනියි. එම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග භික්ෂූන් වහන්සේ අරභයා මෙසේ දේශනා කළහ.

මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නා වූ වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් වේද? එසේම දුක් උපදවන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුකරන්නා වූ යම් අත්තකිලමථානු යෝගයක් වේද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස් ඇති කෙරෙයි. එය කෙලෙසුන් සංසිදීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේය.

සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. බුදුදහමේ මූලික ඉගැන්වීම චතුරාර්ය සත්‍යය යි. මෙම සූත්‍රයේ දී චතුරාර්ය සත්‍යය කෙටියෙන් හඳුන්වා ඇතත් නොයෙක් විග්‍රහයන්ට අනුව මෙය විස්තර කරන වෙනත් දේශනා රාශියක් ආදිම බෞද්ධ ග්‍රන්ථයන්හි දක්නට ලැබේ.

1. දුක්ඛ ආර්ය සත්‍ය

( දුක පිළිබඳ ආර්ය සත්‍යය)

2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

(දුක ඇතිවීම පිළිබඳ ආර්ය සත්‍යය)

3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

(දුක නැති කිරීම පිළිබඳ ආර්ය සත්‍යය)

4. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය

(දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍යය)

යනුවෙන් චතුරාර්ය සත්‍යය නම් කොට තිබේ. මෙය බුදු, පසේබුදු, මහරහත් යන ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත් නිසාත්, කිසි කලෙකත් බොරු නොවන, කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි උතුම් සත්‍ය වන නිසාත්, මෙම සත්‍ය අවබෝධ කිරීමෙන් සෝවාන් ආදී තත්ත්වයට පැමිණෙන නිසාත්, යන කරුණු පදනම් කරගෙන මෙය චතුරාර්ය සත්‍යය නමින් හැඳින්වෙයි.

දුක්ඛ ආර්ය සත්‍යය

දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි එන පාඨය මෙසේ ය.

ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තෙන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා.

මෙමගින් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම. ජරාව හෙවත් සත්ත්වයාගේ වයස්ගතවීම, රෝගය, මරණය අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන් ගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම සහ කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහම දුක් සහගත බවයි. එම උපාදාන ස්කන්ධ පහ නම් සත්ත්ව ශරීරය (රූප) සුඛ , දුක්ඛ, උපේක්ඛා යන වේදනාත්‍රය (වේදනා) කායික හෝ මානසික අරමුණු හඳුනාගැනීම (සඤ්ඤා) මානසිකව කරන සකස් කරගැනීම් (සංඛාර) ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස , යන ඉන්ද්‍රිය මාර්ගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම අරමුණු කරගෙන හටගන්නා අවබෝධ යයි.(විඤ්ඤාණ)

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

මෙම දුක හටගැනීම හෙවත් දුක්ඛ සමුදයාර්ථ සත්‍යය පිළිබඳව ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි මෙසේ විවරණය වෙයි.

ඉදංඛා පන භික්ඛවෙ දුක්ඛ සමුදයං අරිය සච්චං යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර, තත්‍රාභිනන්දිනී සෙය්‍යථීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා

දුක් ඇතිවීමට මුල්වන්නේ නැවත ඉපදීමට හේතුවන නන්දිරාගයෙන් යුක්තවන ඒ ඒ තැන්හි ඇලෙනසුළු තෘෂ්ණාව යි. මෙම තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් තුන් ආකාර වේ.

පස්කම් සැපතෙහි ඇල්ම හෙවත් ඉඳුරන් පිනවීමේ ආශාව කාම තණ්හාව යි. බුදුදහමට අනුව ඉන්ද්‍රිය සයකි. පුහුදුන් මිනිස්සු එම ඉන්ද්‍රිය සය පිනවීමට රුචි කරති. එය සිදු කරනුයේ ඇසින් පි‍්‍රයජනක රූප බැලීමත්, කනින් මිහිරි ශබ්ද ඇසීමත්, නාසයෙන් මිහිරි සුවඳ විඳීමත්, දිවෙන් මිහිරි රස විඳීමත්, ශරීරයෙන් සිත් සතුටු කරන ස්පර්ශ ලැබීමත්, සිතින් අතීත අරමුණු මෙනෙහි කිරීමත් තුළින් ය. මෙය “පංචකාම සේවනය” ලෙස හැඳින්වෙයි. පසිඳුරන් ඇති සෑම පුහුදුන් සත්ත්වයෙකුම එකී සුව විඳීමේ ආශාවෙන් යුක්ත ය. එයින් තරගකාරිත්වයක් උපදියි. එක් අයෙකුට වඩා තවකෙනකු ඉඳුරන් පිනවීමේ කාර්යයෙහි නිරතවීමට පෙළඹෙයි. ඇතැම්හු ඉඳුරන් පිනවීමෙහි අන්තයටම යති. ඉඳුරන් පිනවීම නැවත නැවත පැවැත්ම වර්ධනය කරයි. එය කාම තණ්හාවයි.

භව තණ්හාව යනු පැවැත්මට ඇති ආශාවයි. ස්ථිර වූ පැවැත්මක් ඇතැයි ද, ආත්මය ස්ථිරව නොවෙනස්ව ගමන් කරන්නේ යැයිද පිළිගැනීමෙන් භව තණ්හාව ඇති වෙයි. මෙසේ ශාස්වත දෘෂ්ටිය මුල්කොට ගෙන හෙවත් නිත්‍ය ආත්මය පිළිබඳ විශ්වාසය නිසා භව තණ්හාව ඇති වන්නේ ය. නිත්‍ය වූ භවයෙහි නැවත නැවතත් ඉපදෙමින් පස්කම් සුව විඳීමට ඇති ආශාව භව තණ්හාව ය. සදාකාලිකවම පස්කම් සුව විඳීමට මිනිසා තුළ ඇති කැමැත්ත මෙයින් අදහස් වෙයි.

සත්ත්වයාගේ නැවත ඉපදීමක් නැතැයි ද මරණයෙන් ජීවිතය කෙළවර වේ යැයි ද සමහරු සිතති. ඒ අනුව ඔවුහු මෙලොව පැවැත්ම පමණක් පිළිගනිති. මෙලොව හැකිතාක් පස්කම් සුව විඳීමට කැමැති වෙති. එය විභව තණ්හාව යි. ඔවුන්ගේ එකම අපේක්ෂාව මෙලොව හැකිතාක් කම් සුව විඳිමින් ගත කිරීම ය. මෙකි විභව තණ්හාව සත්ත්වයාට භවයෙන් භවයට ගමන් කරන සදාකාලික ආත්මයක් නැත. එබැවින් මතු උපතක් ද නැත, යන උච්ඡේද දෘෂ්ටිය තුළින් ඇතිවේ. මෙම කාම, භව හා විභව යන ත්‍රිවිධ තණ්හාවම දුකට මුල්වෙයි.

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

දුක නැති කිරීම පිළිබඳ වු ආර්ය සත්‍යය ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි හඳුන්වා දෙන්නේ මෙසේය.

මහණෙනි, දුක නැති කිරීමේ ආර්ය සත්‍යය මෙයයි.

දුකට මුල්වන්නා වූ තෘෂ්ණාව මුළුමනින්ම නැසීමක් වේද, අත්හැරීමක් වේද, දුරලීමක් වේද මිදීමක් වේද එහි නොඇලීමක් වේද එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි.

මේ අනුව තෘෂ්ණාව මුළුමනින්ම දුරු කළ බුද්ධාදී ආර්ය උතුමන් වහන්සේලා ගේ අත්දැකීම නිවනයි. එම අත්දැකීම සසර වසන තෘෂ්ණාව ඇති, කෙලෙස් සහිත අපට විඳගත නොහැකි ය. තේරුම්ගත නොහැකි ය. එනිසාම අප ලියන, කතා කරන භාෂාව පවා දුක්ඛ නිරෝධයේ හෙවත් නිවනෙහි ස්වභාවය පැවසීමට සපුරා ප්‍රමාණවත් නොවේ. භාෂාවෙහි ඇත්තේ අප දන්නා දේ අපේ අදහස් හා අත්දැකීම් පැවසීමට යොදන වචනයි. නිවන අපගේ අත්දැකීමක් නොවන බැවින් ඒ ගැන විස්තර කිරීමට භාෂාව ප්‍රමාණවත් නොවේ. එහෙත් භාෂාව නොමැතිව සසර හෝ නිවන විස්තර කිරීමට අපි අසමත් වෙමු. මේ අනුව බුදුරජාණන් වහන්සේ ද පරමාර්ථ සත්‍යය වූ නිවන තේරුම් කරදීමට සම්මුතියක් වන භාෂාව භාවිත කළහ.

ඒ අනුව සත්ත්ව සන්තානයෙහි මුල්බැස ඇති තෘෂ්ණාව සපුරා නැති කිරීම නිවනයි. තෘෂ්ණාව ඇතිතාක් සසර දුක පවතියි. එනම් ඉපදීම , ලෙඩවිම, මහලුවීම හා මරණය යනාදී කටුක අත්දැකීම් වලට මුහුණදීමට අපට සිදුවේ. තෘෂ්ණාව සපුරා නැති කළ විට සසර දුක ද සපුරා නැති වී යයි. මෙසේ තෘෂ්ණාව ද, ඉන් උපදවා සියලු දුක් දොම්නස් ද නැවත නූපනා පරිදි නැතිවීම සැපතකි. එය බුදු දහමෙහි ඉගැන්වෙන පරම නිෂ්ටාව වන නිවන යි. සසර දුකට හා දුක් සහිත පැවැත්මට එකම හේතුව තණ්හාව නොවේ. එය මූලික හේතුවයි. රාග, ද්වේශ මෝහාදී තණ්හාව පෙරටු කොටගත් සියලු කෙලෙස් සසර දුක් උපදවයි. ඒ අනුව මිනිස් සන්තානයෙහි කා වැදී ඇති රාගාදිය මුළුමනින්ම ක්ෂයවීම නිවන යැයිද බුදුරජාණන් වහන්සේ වදාළහ.

දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය

දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාවන් දියුණුකර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. එයින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවටත්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීල ශික්ෂාවටත් , සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි සමාධි ශික්ෂාවටත් අයත් වෙයි. පන්සාළිස් වසක් පුරාම බුදුරදුන් දෙසූ මුලු ධර්මයම මෙම මාර්ගය මුල්කොට පවතියි. සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ දී බුදුරදුන් දේශනාකර ඇත්තේ අංග අටකින් යුත් මෙම මාර්ගය පෙර විසූ බුදුවරුන් විසින්ද අනුගමනය කරන ලද මාර්ගයක් බවත්, තමන් වහන්සේ ද නැවතත් එම මාර්ගය සොයාගෙන එය ලෝකයාට අවබෝධ කරවා දෙන බවත් ය. එය එම සූත්‍රයේ වඩාත් සරලව මෙසේ පැහැදිලි කර ඇත.

“මහ වනයෙහි හැසිරෙන මිනිසෙක් පෙර විසූ මිනිසුන් ගමන්ගත් පැරැණි මාර්ගයක් දකියි. ඒ අනුව ඉදිරියට යන ඔහුට මල්වතු, වනඋයන්, පොකුණු හා පවුරු සහිත රමණීය පුරාණ නගරයක් හමු වෙයි. එසේ දුටු ඔහු තම රජුට හෝ මහ ඇමැතියාට හෝ තමන් දුටු මාර්ගයත්, පැරැණි නුවර හා ජනපදය ගැනත් විස්තර කර දෙයි. එබස් අසා රජු හෝ මහ ඇමැති එය නගරයක් බවට පත්කරයි. එම නගරය පසුව සියලු සැප සම්පත්වලින් පිරුණු බොහෝ දෙනාට ඉතා ප්‍රයෝජනවත් වූ ජනාකීර්ණ දියුණු තත්ත්වයකට පත් වෙයි. ඒ ආකාරයට මමද පැරැණි බුදුරවරයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද පුරාණ මාර්ගයක් දුටුවෙමි. එය අනුගමනය කොට මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළෙමි.

බුදු සසුනෙහි හැර වෙනත් කිසිදු සසුනක මෙබඳු මඟක් නොමැති බව මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතු ය. බුදුරදුන් වෙත පැමිණී ඒ ඒ පුද්ගලයන්ගේ දියුණුවේ ප්‍රමාණයත්, ධර්මය තේරුම්ගෙන එය පිළිපැදීමට ඔවුන් තුළ පැවැති හැකියාවන් අනුව නොයෙක් ආකාරයෙන් ද නොයෙක් වචනවලින් ද උන්වහන්සේ මෙම මාර්ගය විස්තර කර දුන්හ. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය. යන අදහසම ගත් කාමසුඛල්ලිඛානුයෝගයත්, විමුක්තිය, ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය. යන අදහස් ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.

ථෙරවාද මහායාන භේදයකින් තොරව සෑම බෞද්ධ රටකම විශේෂ අවස්ථාවන්හි දී පවත්වන විසිතුරු උත්සව, පෙරහර , වත් පිළිවෙත්, පුජා චාරිත්‍ර. යනාදී නොයෙක් ක්‍රියාකාරකම් පවතියි. එහෙත් ඒවා මෙම මාර්ග සත්‍යයට සම්බන්ධ නැත. ඒවායෙහි පරමාර්ථය වනුයේ මානසික දියුණුවෙන් අඩු පුද්ගලයන් අතර බුදුසමය නිරන්තරයෙන් රඳවා තැබීමෙන් අනුක්‍රමයෙන් ඔවුන්ට ද මෙම ආර්ය මාර්ගය පෙන්වාදීමත් ය.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk