ඇසළ අමාවක 2018.08.11
උදාර මනුෂ්‍යත්වය...
කෙනෙකුට දැකබලා හැදෙන්නට, අනුගමනය කරන්නට ආදර්ශවත් චරිතයක් වේ නම් හේ ගොහොරු මඩ
බිමෙක පිපි පියුමක් සේ පරිසරයම සුවඳවත් කරන්නේ ය. විචිත්‍රවත් කරන්නේ ය. ගොහොරු මඩ
බිමෙක යැයි කීවේ අනේක විධ දුර්ගුණ නිසා වන අයහපත්කම්, අශිෂ්ටකම් නිසා සමාජයක්
දුර්ගන්ධවත් කරනා අය අපමණ සිටිනා බැවිනි. එවැන්නෝ කවර කලෙකට පොදු වුවද, දුරාතීතයේ
නම් මිනිස්කමට ගරු කළ, මනු දම් හැඳිනු, පරිසරයට, ඉපදුණු රටට ආදරය කළ මිනිසුන් බොහෝ
විය. පොත පතින් කියවා හෝ එවැනි චරිතාදර්ශ ජීවිතයට එක්කර ගන්නට කාලය පැමිණ තිබෙන්නේ
යැයි හැඟෙන්නේ රටක් සමාජයක් දුර්ගන්ධ කරන්නට එක් මිනිසෙකුගේ වුව අවැඩක් හේතු වන
අවස්ථා අපමණවත් වන නිසා ය.
ආදර්ශයට ගෙන හැදෙන්නට, සතුටු වන්නට, කතා බහට ලක් කරන්නට, අගයන්නට වටිනාකම් ඇති චරිත
අද ද වෙති. ඒ චරිත ඉස්මතු නොවන්නේ හොඳට වඩා වේගයෙන් නරක පැතිර යන නිසා ය. එහෙත් හොඳ
දුටු තැන එය ඇගයීම යුතුකමෙකි. සමාජයීය යහපත වෙනුවෙන් ගන්නා උත්සාහයකි.
මිනිස්කම දන්නා එවන් අපූර්ව මිනිසෙක් ගැන පසුගිය දා අසන්නට ලැබිණි. ඔහු කුලියාපිටිය
මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. උණ රෝගය සහ හිසරදය වැළඳී ප්‍රතිකාර
ලැබුවද සුවයක් නොලබා දැඩි ලෙස රෝගාතුර වූ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින
දැරියකට ප්‍රතිකාර ලබා දීම පිණිස වෙදැදුරු කුලියාපිටියට පැමිණෙන්නේ ගම්පහ ප්‍රදේශයේ
සිට බොහෝ දුර ගෙවාගෙන ය. එදින සවස්වරුවේ ඇයට නියමිතව තිබුණේ ජීව විද්‍යා විෂයයට
පෙනී සිටීමට ය. තමන්ගේ වැඩ පසෙකලා කුලියාපිටියට පැමිණ අසරණ දැරියට කඩිනමින්
ප්‍රතිකාර ලබා දී සුවපත් කොට තමන්ගේ ම වාහනයෙන් දැරිය විභාග මධ්‍යස්ථානයට ගෙනගොස්
අදාළ විභාග පරීක්ෂකවරුන්ට ඇයගේ තත්ත්වය පහදා ආපසු පැමිණීමට තරම් මේ වෙදැදුරු කාලය
ද, ශ්‍රමය ද වැය කොට ඇත්තේ අපමණ කරුණාවකින් ය.
ඔහු දැරියට ප්‍රතිකාර කරන්නට එන්නේ ලැබුණු හදිසි දුරකථන ඇමතුමකට අනුව ය. එය දන්නා
හඳුනන කෙනෙකුගෙන් නොවී ය. කවුරු හෝ නන්නාඳුනන පියෙකුගේ ය. අනාගතය තීරණය කරන කඩඉම්
විභාගයකට මුහුණ දෙන්නට සිය දියණියට ඉඩක් ලැබේද, නොලැබේද යන අවිනිශ්චිත බවින්
කම්පනයට පත් වූ ඒ පියාගේ හදවතෙහි වූ වේදනාව හඳුනා ගන්නට තරම් ඒ වෙදැදුරු හදවත
සංවේදී වන්නට ඇත. අනෙක් පැත්තෙන් අවුරුදු ගණනක් ලද පාසල් අධ්‍යාපනයේ අවසන් ඵලය
ලබන්නට නොහැකිවේදැයි සැකයෙන් බියෙන් සිටි රෝගී දියණිය තමන්ගේ ම දරුවෙක් හා සමකොට
සිතන්නට ඇත.
අන් දුකෙහි ද තෙන් වන හදවතක් ඇති මෙවැනි උදාර මිනිසෙක් හැදූ වැඩූ මව්පියන් අගය කළ
යුතුමය. ඔවුන් තම දරුවාට මනුස්සකම ගැන උපරිමයෙන් උගන්වා ඇති බව පෙනේ. එමෙන් ම
ආදර්ශවත් චරිත බව ද පෙනේ. මන්ද, දරුවන් ගමන් කරන්නේ ද අම්මා, තාත්තාගේ ම අඩිපාරේ වන
බැවිනි. මේ අර්ථවත් චර්යාවන් වඩාත් ඇගයිය යුතු වන්නේ මුදල් පසුපස ම හඹා යන මිනිසුන්
සිටින සමාජයක අසන්නට දකින්නට ලැබෙන බොහෝ දේ යහපත් නොවන නිසා ය. මේ වෙදැදුරාණන්ගෙන්
උගත යුතු පාඩම් බොහෝ ය. මිනිසුන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ මේ මිනිසා රටට වාසනාවකි.
අප ජීවිතයට හුරු පුරුදු කරගත යුතු වන්නේ ද එවැනි ආදර්ශවත්කම් ය. ජීවිතයේ අනේක විධ
අවස්ථා ඒ සඳහා උදාවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බුද්ධිය පමණක් නොව හදවතද,
පෝෂණය කළයුතු බව ය. අවිදු අඳුර දුරු කළ මුළු තුන් ලෝකයටම වෙදැදුරාණන් වූ තථාගත බුදු
පියාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරන අපට ඒ සඳහා සම්බුද්ධ චරිතය ම ආදර්ශයට
ගන්නවා නම් අප ජීවත්වන සමාජය සුගන්ධවත් කිරීම අපහසු නොවන්නේ ය.
|