වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන
නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 39
ඉන්ද්‍රිය පරෝපරියත්තයේ ඥානය
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් මේ සත්වයාගේ කෙලෙස් අඩුයි. මේ සත්වයාගේ කෙලෙස්
වැඩියි කියලා, කොහොමද තෝරාගන්නෙ ශ්‍රද්ධාව තියන පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්.
ශ්‍රද්ධාව නැති පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. ඒ වාගේම අරඹන ලද වීර්යයෙන් යුතු
පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. කම්මැලි හෝ කුසීත පුද්ගලයා කෙලෙස් බහුල කෙනෙක්. එල්බ
ගත් සිහිය ඇති පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. සිහියෙන් බැහැරව ඉන්න පුද්ගලයා කෙලෙස්
බහුල කෙනෙක්. සමාධිය තියන පුද්ගලයා කෙලෙස් අඩුකෙනෙක්. සමාධියක් නැති පුද්ගලයා
කෙලෙස් බහුල කෙනෙක්. නුවණ තියන පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙක්. නුවණ නැති පුද්ගලයා
කෙලෙස් බහුල කෙනෙක්.
සමහර සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩිලා තියනවා. සමහරක් අයගේ වැඩිලා
නැහැ. යහපත් පැවතුම් ඇති බව, යහපත් පැවතුම් නැති බව, යමක් තේරුම්’ ගැනීමේ ශක්තියක්
ඇතිබව,තේරුම් ගැනීමේ ශක්තියක් නැති බව. සමහර අය පරලොව ජීවිතයේ භය දකිනවා. සමහර අය
පරලොව ජීවිතේ භය දකින්නේ නෑ. මෙන්න මේ විදිහට ඒ ඒ සත්වයන්ගේ ඉන්ද්‍රියයන් දැකලා,
වැඩෙන ආකාරය දැකලා බුදුපියාණන් වහන්සේට පුළුවන් ධර්ම දේශනා කරන්න, ඒක නිසා අපි
කියනවා, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයෙන් සමන්වාගත යි කියලා. එය එක් දසබල ඥානයක්.
පරචිත්ත විජානන ඥානය
අන් අයගේ සිත් දැනගන්නාවු නුවණයි. සත්වයන්ගේ රාගාදී සිත් හඳුනා ගැනීමත් දසබල
ඥානවලින් එකකි.
ධ්‍යාන සමාධි සමාපත්ති කියන මේ ධ්‍යානයන් පිරිහෙන්නේ කොහොමද? ධ්‍යානයක් වඩන්නේ
කොහොමද? ධ්‍යානයක් බලපවත්වන්නේ කොහොමද? සමාධි පිරිහෙන්නේ කොහොමද? සමාධිය බලවත්වන්නේ
කොහොමද? සමාධිය බලසම්පන්නව පවත්වාගෙන යන්නේ කොහොමද? ඔය විදියට මේවා ගැන බුදුරජාණන්
වහන්සේට මනා අවබෝධයක් දැනුමක් තියෙන නිසා අපි කියනවා දස බලධාරී කියා. ඊළඟට පුබ්බේ
ත්‍රිවිද්‍යා ගැනත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතිං ඔය කියන දසබල ඥානයන්ගෙන් සමන්වාගත
බුදුපියාණන් වහන්සේ තමයි මේ රජගහ නුවරට වඩින්නේ කියලා අර සක්දේව රජතුමා තරුණ මානවක
වේශයෙන් කියනවා. ඊළගට දසවිධ අසේඛ ඥානයන්ගෙන්. අසේඛ ඥානයන් කියා කියන්නේ අරිහත්
භාවයට පත්වුණු උතුමන් වහන්සේලා බලසම්පන්න වු මාර්ග 08 යි. මේ කියන ගුණයන්ගෙන්
පිරිපුන් වූ බුදුපියාණන් වහන්සේ තමයි මේ රජගහනුවරට වඩින්නේ කියා කියනවා. අවසානයේ
කවුරුත් අහනවා කවුද? කියලා. “ මේ මම තමයි උන්වහන්සේ සමඟ යන පරිචාරකයෙක් කියා
කියනවා. උන්වහන්සේ පිටුපස ඇවිදින සේවකයෙක්’ කියා කියනවා. සක්දෙවිඳු. එතකොට සක්දෙව්
පවා බුදුපියාණන් වහන්සේ පිටුපස එන්න තරම් බුදුපියාණන් වහන්සේ මොන තරම් සුන්දර ගමන්
විලාස ඇති සුගත ගුණයෙන් සමන්වාගත ද? උන්වහන්සේ දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ බැවින් දේවාති
දේව ගුණයෙන්, ඒවාගේ ම සක්‍රයාට වඩා උසස් බැවින් සක්‍රාති සක්‍ර ගුණයෙන්, ඒ වාගේම
බ්‍රහ්ම ලෝකය වාසය කරන බ්‍රහ්මයන්ට වඩා ‘බ්‍රහ්මාති’ බ්‍රහ්ම යන ගුණයෙන්
සමන්වාගතයි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වැඳිය යුතු පුද්ගලයන් අතර වන්දනීය
අභිවන්දනීය උතුමන් වහන්සේ නමක්. පිදිය යුතු උතුමන් අතර ඒ උතුමන් වහන්සේ සුගත යන
ගුණයෙන් සමන්වාගතයි කියා පහන් සිතිවිලි පහළ කරගන්නට ඕනේ.
ලෝකවිදූ ගුණමහිමය
ලෝකය ගැන මනාව දක්නා නුවණ රෝහිතස්ස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා.
මේ බඹයක් පමණ දිග, පළල ශරීරය තුළ මම නුඹලාට ලෝකය කියන එක දේශනා කරනවා. මේ ලෝකයට
හේතුව දේශනා කරනවා. ලෝකය නැති කිරීම දේශනා කරනවා. ලෝකය නැති කිරීමේ මාර්ගය මම දේශනා
කරනවා කියා ලෝකය නැති කිරීම කියන්නෙ මොකක්ද? පංචස්කන්ධය ලෝකයයි. එක පැත්තකින්,
එහෙනම් අපි මේ ජීවත්වෙන ශරීර කූඩුව තුළම තමා පවතින්නෙ මේ හැම දේකටම හේතු. හේතුව
කාරණාව. මේක නැති කරගන්න ඕන ක්‍රමයත් මේක ඇතුලමෙයි පවතින්නේ. ප්‍රතිපදාවත් මේ
තුළමයි පවතින්නේ. මේකම තමයි අපේ භාවනාව. මේකම තමයි අපි නුවණින් දැකලා, නුවණ කියන
නිරෝධය ලබා ගන්නට ඕනේ. එතකොට දැන් මේ ලෝක කතාවේදි ප්‍රධාන වශයෙන් මේ ලෝකය බෙදනවා
සත්ව ලෝක, සංස්කාර, ලෝක, අවකාශ ලෝක යනුවෙන් සත්ව ලෝක කියන්නෙ සත්වයන් වාසය කරන
භූමි.
සංස්කාර ලෝකය මේ තුළ විශාල අර්ථයක් තියෙනවා. සත්ව ලෝකය ගැන පැහැදිලි කරන කොට සත්ව
ලෝකය කොටස් නවයකට බෙදෙනවා. කාම ලෝක. රූප ලෝක, අරූප ලෝක, ඒක වෝකාර ලෝක, චතුවෝකාර
ලෝක, පංචාවෝකාර, ලෝක, සඤ්ඤා ලෝක, අසඤ්ඤා ලෝක, නෙවසඤ්ඤා ,නාසඤ්ඤා ලෝක’ යනුවෙන්.
කාමයන් අරමුණු කරගෙන, ඒ තුළ හැසිරෙන, පවතින, සිත තියෙන යම් තැනක ද එතනට කාමාවචර
කියලා කියනවා. ඒ කියන්නේ සතර අපායයි. මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි. කියන භූමි
එකොළොසට අපි කියන්නේ කාම ලෝකය කියලා. කාම ලෝකයේ තියෙන උතුම්ම සැපය මොකක්ද? කාම
ලෝකයේ උතුම්ම සැපය වන සම්මා සම්බුද්ධත්වය ලබන්න හැකි වෙන්නේ කාම ලෝකයේ මනුස්ස පථයේ.
පසේ බුද්ධත්වය ලැබෙන්නේ මනුස්ස පථයේ. සිව්පිළිසිඹියා සහිත රහත්භාවය අග්‍රශ්‍රාවක
මහා ශ්‍රාවක ආදි උත්තමයන් පහළ වෙන්නේ මේ මනුස්ස පථයේ. ඒක නිසා මේ මනුස්ස ලෝකය තමයි
ශ්‍රේෂ්ඨ. උතුම් සැප තියෙන්නේ මනුස්ස ලෝකයේ. එතකොට දැන් රූප ලෝකය කියන කොට බ්‍රහම
ලෝක දාසයයි. ප්‍රථම ධ්‍යාන බඹලොව, ද්විතියක් ධ්‍යාන බඹලොව, තතියත් ධ්‍යාන බඹලොව,
චතුත්ථත් ධ්‍යාන බඹලොව කියල බඹලොව හතරක් බෙදනවා.
යම්කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යාන උපදවා ගත්තහම ඒකේ විපාක වශයෙන් ප්‍රථම ධ්‍යාන බඹලොව
උපදින්න පුළුවන්. ඉතින් කොටස් තුනක් තියනවා ධ්‍යානයක.ප්‍රථම අවස්ථාව, මධ්‍යම
අවස්ථාව හීන අවස්ථාව කියලා ඒ අනුව තමයි බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබෙන්නෙ. ද්විතිය
ධ්‍යානයෙත් එහෙමයි. තතියත් ධ්‍යානයෙත් එහෙමයි. චතුත්ථ ධ්‍යානයෙන් එහෙම භේදයක් නෑ.
අරූප භාවය කියලා කියන්නේ ආකාසානඤ්ඤායතන ආදි අරූප තල හතරයි.
ආකාසානඤ්ඤායතන
විඤ්ඤානඤ්ඤායතන
ආකිඤ්චඤ්ඤායතන
නේවසඤ්ඤා නාසඤ්ඤායතන
කියන මේ හතර තමයි අරූපී තල හතර කියලා කියන්නේ. ඊට පස්සේ ඒක වෝකාර භව කියලා කියන්නේ,
එක ස්කන්ධයක් පමණක් පවත්නා ලෝකය ඒ කියන්නේ රූප ස්කන්ධයක් විතරක් තියන අසඤ්ඤසත්ත.මේ
අසඤ්ඤසත්තයන්ට යන්නේ කොහොමද? බුද්ධ ශාසනයෙන් බැහැරව ඍෂිවරයන් චතුත්ථයත් ධ්‍යාන
දක්වා වඩලා ඒ ඇත්තො මේ රූපයට විතරක් ආශා කරලා මේ නාම කය එපා කියනවා. සංඥා ව¢රාග
භාවනාව වඩනවා. සිතෙන් සංඥාවෙන් තොරව රූප කය විතරක් ආශා කරන සංඥා විරාග භාවනාව
වඩනවා. ඒ භාවනාව වඩලා එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අසඤ්ඤ තලයේ උප්පත්තිය ලබන්නේ.
තුවෝකාර කියලා කියන්නෙ නාමස්කන්ධ හතර පමණක් පවත්නා බ්‍රහ්ම ලෝක හතර.ආකාසඤ්ඤායතන ආදි
හතර ට අපි කියන්නේ චතුවෝකාර භූමිය කියලා. ඊළඟට පංච වෝකාර කියලා කියන්නේ බ්‍රහ්ම
ලෝකාවල අසඤ්ඤතලය හැර ඉතිරි බ්‍රහ්ම ලෝක පහළවත් මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝකයත් සතර
අපායත් මේවා ඔක්කොටම අපි කියන්නේ පංචවෝකාර බව කියලා.
මේ තමයි කෙටියෙන්ම ගත්තොත් සත්ව ලෝකය කියලා අපි කියන්නෙ. මේ සත්වයන් වාසය කරන
ස්වභාවය. |