UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වම්මික සූත්‍රය: රැයෙහි දුම් දමා දවාලට ගිනි

වම්මික සූත්‍රය:

රැයෙහි දුම් දමා දවාලට ගිනි

භාග්‍යවතුන් වහන්සේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට සඳහන් කළ කතාවෙහි තවත් කොටසක් මෙලෙස පැහැදිලි කරමින් දේශනා කළ සේක.

යම් භික්ෂුවක් රාත්‍රී කාලයේ හිත හිතා කල්පනා කරමින් සිට දවල් කාලයේ දී සිතින්, කයෙන්, වචනයෙන් කටයුතු කරනවා. එයට කියන්නෙ දවල් කාලයේ ගිනි ගන්නවා යැයි කියා ය. රාත්‍රියේ දී හෙට දවසේ මොනවාද කරන්නේ’යි හිතමින්, කල්පනා කරමින් සිට ඊළඟ දවසේ සිතින්, කයින්, වචනයෙන් කටයුතු කරනවා. එයට කියන්නේ ගිනි ගන්නවා යැයි කියා ය. හැබෑවට ම රාත්‍රි කාලයේ බොහෝ දේ හඬමින්, වැළපෙමින් සමහර විටක සිනාසෙමින් සිතෙහි සිහින පවත්වාගෙන දුම්දමමින් සිට හිමිදිරියේ ම දවස ආරම්භ වන විට ම කොහොමද හිතන්නෙ. කොහොම ද කියන්නෙ. කොහොම ද හැසිරෙන්නෙ. මගේ සිතේ තියෙන දේ අද දවසේ කොහොම හරි ඉටු කර ගත යුතු යැයි සමහර අය පවසනවා. හොඳින් බැරිනම් නරකින් හරි මේ දේ කරගන්න අවශ්‍ය යැයි සිතනවා.. තවත් කෙනෙක් කියන්න පුළුවන් ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ මේ දේ ඉෂ්ඨකර ගන්න ඕනෙ කියා. සමහර අයගේ හැසිරීම නුවණැත්තෙකුට මේ ආකාරයෙන් දැනෙන්න පුළුවනි. ඒ අය හැසිරෙන්නෙ අන් අයට මොනවා වුණත් කමක් නැහැ. තමන්ගේ කටයුතු කෙරෙනවා නම් හොඳයි කියා ය. සද් පුරුෂයකුගේ හැසිරීමක් නම් නොවෙයි.

එසේ නම් රාත්‍රී කාලයේ හිතමින්, කල්පනා කරමින්, දුම්දමමින් සිට දවල් කාලයේ ගිනි ගන්නවා වාගේ බොහෝ කෙනෙක් ලෝභයෙන්, රාගයෙන් ගිනි ගනිමින් කටයුතු කරනවා. එහි දී සිතන දේ, තමන් ඇළුනු දේ පස්පව් හෝ කරමින් ලබාගන්නට පුළුවනි.. සමහර අයෙක් තමන් කැමැති අරමුණු ධර්මානුකූලවත් ලබා ගන්නවා. පස්පව් සිදු කරන්නෙ නැහැ. ඒ වුණත් ඒවාට ඇලී සිටිනවා. සමහර තැනක ගුණබර අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් නපුරුකම් කරන්නෙ නැහැ. පස්පව්, දස අකුසල් කරන්නේ නැහැ. නමුත් දරුවෝ වෙනුවෙන් සිතා කටයුතු කරනවා. පරමාර්ථ ධර්මය ගැන අවබෝධය නැති නිසා, තදින් සිතින් ඇලිලයි සිටින්නෙ. පවසන වචනයත් තදින් ම ඇළුණු බව පෙනෙනවා. කටයුතු කරන්නෙත් මගේමයි කියන අදහසින් ම සිතින් දැඩිව අල්ලාගෙනයි. එයත් ගිනි ගන්නවා යන අදහසට ම එකතු කර ගන්න පුළුවනි..

ඊට හේතුව ධර්මානුකූලව නමුත් ඒ කටයුත්ත කළේ පරමාර්ථ ධර්මය ගැන. මේ මව්පියන්ට දරුවෝ ගැන අවබෝධයක් නැතිනම්, ස්වාමි භාර්යාවන්ට ඔවුනොවුන් ගැන අවබෝධයක් නැති නම්, මට දකින්නෙ නැතිව සිටින්න බැහැ. ඒ අයට මොන ආකාරයේ කරදරයක් වෙයි ද දන්නෙ නැහැ. මට නිතරම බයකුයි පවතින්නේ. මට මේ දේ නුඹලාගෙන් කරගන්න අවශ්‍යයි. මේ ආකාරයෙන් හිතල දැවෙන සිතකින්, දැවෙන හදවතකින්, ශරීරයකින් කටයුතු පවත්වන්නට පුළුවනි..

මේ දහම් කතාව කියවන ඔබ බොහෝ කෙනෙකුටත් මේ දවල් කාලයේ ගිනිගන්න කතාව ගළපා බලන්න පුළුවනි.. ඒ වගේ ම සිතින් ගිනි අරගෙන එය නිවා ගන්න බැරිව වචනයෙන් පිටකරන්න උත්සාහ කළොත් මොනතරම් විපතක් වෙන්න පුළුවන් ද? රාගයෙන් ලෝභයෙන් පිට කරන වචන තුළ කෙලෙස් බොහෝ ම පවතී. ඒවා වැගිරෙන විට මුළු පරිසරය ම අප්‍රසන්න විය හැකියි. ගිනි ගත්ත අය ඒ ගින්නෙන් තමන් පමණක් නොවෙයි නැසෙන්නෙ. තමන් ගිනි අරගෙන අන් අයත්, පරිසරයත් ගිනි තියන්න උත්සාහ කරන බව පෙනෙනවා. ඉන් අදහස් කළේ සිතේ ඇති වූ කෙලෙස් සිතින්, කයින්, වචනයෙන් ක්‍රියා කරන විට අන් අයත් ඒකට හසු කරන්න. අන් අයටත් විපත් කරන්න උත්සාහ කරනවා. වචනයෙන් ගිනි තියනවා වාගේ ම ගිනි නිවන්නත් පුළුවනි.. බොරුවෙන්, කේළමෙන්, පරුෂවචනයෙන් , හිස්වචනයෙන් තමනුත් ගිනි අරගෙන අන් අයටත් ගිනි තියනවා. එසේ ම කාරුණික මෛත්‍රී සත්‍ය වචනවලින් හදවතට ම දැනෙන්න කතා කරමින් සත්‍ය දෙයක්, යහපත් දෙයක් ම පවසා , අසන කන් දෙකටත් සුවයක් දැනෙන ආකාරයට කටයුතු පැවැත්වූවොත් තමන්ගෙ ගින්නත්, අන් අයගේ ගිනිගන්නා හදවතත් නිවන්නට තරම් ශක්තියක් ඇතිකර ගන්න පුළුවනි.. එහෙත් බොහොමයක් දෙනා රාත්‍රී කාලය පුරාම සිත සිතා දුම් දමන, දවල් කාලයේ ගිනි ගන්නා .තත්ත්වයට පත්වෙන්නෙ අනවබෝධයෙන් ලෝභය, ද්වේෂය, මෝහය නිසා ය.

වර්තමානයේ ගිනිගන්නා අය ගැන ධර්මයට ගළපා පැවසුවොත් මෙසේයි. ඒ අය පවසන්නේ ආතතිය, දොම්නස, විසාදිය ආදී වශයෙනුයි. මහා අඳුර තනිකම පාළුව එපාවීම මේ සියල්ල ම මෙයට අයත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිකරන මේ දහම් පෙළ ගිනි ගන්නා බොහෝමයක් අශ්‍රැතවත් පෘතග්ජන සිත්වලට නුවණින් සලකා බලා ගිනි නිවාගන්න උත්සාහ කරගත යුතු ස්ථානයක් ලෙසට සඳහන් කරන්න පුළුවන්..

නැවතත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරමින් දේශනා කරනවා. භික්ෂුව ඒ කතාවේ බ්‍රාහ්මණයා කියා කියන්නේ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවසන නාමයකුයි. බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල බ්‍රාහ්මණ යන වචනය ක්ෂීණාශ්‍රව උතුමන්ට උපමාකොට දේශනා කළ වචනයකි. තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු කෙලෙස් එනම් ආශ්‍රව මුළුමණින් ම බැහැර කළ උතුමන්ට උපමාකොට දෙසූ වචනයක් ලෙස බ්‍රාහ්මණ වචනය සඳහන් කළ හැකියි.

මෙම කතාවේ බ්‍රාහ්මණයා අර තුඹස පෙන්නා හාරාගෙන යන විට නාගයා හමු වූ වෙලාවේ ගරු කරන්න යැයි සඳහන් කළේ. සත්‍ය දුටු , හරි වැරැද්ද හෙවත් කුසල් අකුසල් තේරුම්ගත්, ස්වයං ඤාණයෙන්, එනම් තමාගේ ම නුවණින් අවබෝධ කරගත් උතුමන් ය. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ ‘පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානය, යන මේ ත්‍රිවිධ්‍යා ඥානයන්ගෙන් සමන්නාගතයි. තමන් වහන්සේගේ, සියලු සත්ත්වයන්ගේ සසර පිළිබඳව , සසරේ ස්වභාවය පිළිබඳව නුවණින් දුටුවා. අනන්ත සංසාරේ දුක්විඳින සත්ත්වයන් හා දුක්වින්ද සත්ත්වයන් ද ඒ දුක්විඳින්ට හේතු වූ කරුණ ද? නුවණින් දැක දුකින් මිඳීමේ මාර්ගය දේශනා කළ සේක. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මෙහි දී උපමාකොට පෙන්නුවේ බ්‍රාහ්මණයා කියන නමිනුයි.

තථාගත බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කළේ, මෙම කතාවේ ඥානවන්තයා යැයි කියන්නේ නිවන් මඟ පුහුණුවන භික්ෂුවටය. බ්‍රාහ්මණ පුද්ගලයා තුඹස ළඟට වී කළ යුතු දේ පෙන්වා දුන්නා. ඉතාම හොඳ අවබෝධයෙනුයි. ඒ ඥානවන්ත පුද්ගලයා උදැල්ල ගෙන ආයුධය ගෙන ඒ තුඹස හාරගෙන ගියා. නිවන් මඟ පුහුණුවන භිකෂුවත් ඒ වාගේ විය යුතුයි.

මෙහි භික්ෂුවක් ලෙසට සඳහන් කළත් භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව් පිරිසට ම අවබෝධයෙන් යුක්තව තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගිය විට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ශ්‍රද්ධා ගුණය මතු කරගෙන සතර සතිපට්ඨානයෙන් පුරුදු කරන ලද සිහියෙන් යුක්තව, වීර්යයෙන් යුක්තව ම කටයුතු කළයුතු වෙනවා. බ්‍රාහ්මණයා කියූ දේ ඒ ආකාරයට ම ඥානවන්ත පුද්ගලයා කළේ ඒ නිසා ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ගිහි පැවිදි කවුරුත් භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් සරණ ගියානම්, ඒ ආකාරයට ම සීලයේ පිහිටා සමාධිය දියුණු කරගෙන ප්‍රඥා අවබෝධය ලැබෙනා තෙක් ම කටයුතු කළයුතුමයි. කෙලෙස්වලට හසු වුණොත් කොතනින් හෝ මහ වැරැද්දක් විය හැකියි. මඟ වැරැදී යන්න පුළුවනි.. එපමණක් නොව මේ මාර්ගයේ දී අලස, කම්මැලි, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා හා රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා නම් වූ තෘෂ්ණාවන්ගෙන් ව්‍යාකූල වූ සිත් ඇති අයෙක් බවට පත්වූවොත් ඔහු ශාස්තෘන් වහන්සේට කීකරු වූයේ නැති වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා කීවාට හැබෑවට ම අවබෝධයෙන් සරණ ගිය කෙනෙක් බවට පත්වන්නේ නැහැ. අවබෝධයෙන් සරණ ගියා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය සීලයේ පිහිටා සමාධිය දියුණු කරගෙන ප්‍රඥා අවබෝධය පිණිසම නිරන්තරයෙන් ම සිහිය පිහිටුවාගෙන කටයුතු කළ යුතු වෙනවා. අර බ්‍රාහ්මණයා කියූ දේ අර ඥානවන්ත පුද්ගලයා අනුගමනය කළේ ඒ ආකාරයටමයි. එකක්වත් ම ඟ හැරියේ නැහැ. කියූ එක දෙයක්වත් අත්හැරියෙත් නැහැ. ඒවාගේ ම තුඹස හාරගෙන යන විට හමුවෙන හැම දෙයක් ම හොඳින් හඳුනාගත්තා. ඒ ගැන සිහි නුවණින් යුක්තව කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ කවුරුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නිවන් මඟ වන මජ්ක්‍ධිමා පටිපදා නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඒ ආකාරයෙන් ම අනුගමනය කළ යුතුමයි.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk