UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අයං වසසාන කාලො: මහත්ඵල මහානිශංස  දානය

අයං වසසාන කාලො:

මහත්ඵල මහානිශංස  දානය

සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන පිටකත්‍රයේ ම දානය පිළිබඳ පැහැදිලි කොට ඇත. සූත්‍ර පිටකයට අනුව දස දානයක්ද, විනය පිටකයට අනුව දාන වස්තු හතරක් ද, අභිධර්ම පිටකයට අනුව දාන වස්තු සයක්ද වශයෙන් විසි ආකාර දානයන් ගැන සඳහන් වේ.

එහිලා පළමු කොට දානය යන්න කුමන අරුත් ගෙන දේදැයි පැහැදිලි කරගත යුතු ය. ඒ අනුව යම් ශක්තියක් කරණකොට දෙනු ලැබේද, දීමට සාධක වූ ඒ ශක්තිය දාන නමින් හඳුන්වයි. එයින් අපේක්ෂිත වන්නේ දාන චේතනාවයි. එනම් මුල්වන්නේ දාන චේතනාවමයි. එමෙන්ම අගක් මුලක් නොපෙනෙන සසර ගමන් ඇත්තෝ තමන්ට අයත් ආහාර පානාදිය අනුග්‍රහ පිණිස හෝ, පූජා පිණිස හෝ අනුනට පූජා කිරීමේ දී හෝ දීමේ දී ඇතිවන සිතිවිල්ල දානය ලෙස හඳුන්වයි. එමෙන්ම යම් සිතිවිල්ලක බලයෙන් , ආහාර පානාදී වූ දිය යුතු දෙයක් එක්තැන් කොට අනුකම්පාවෙන් හෝ පූජා වශයෙන් යුතුව අනුනට දෙනු ලැබේ ද , එය ද දානය ලෙස නම් කරයි. එමෙන්ම දෙන ලද්ද විපාක ඇත. පූජා කරන ලද්ද විපාක ඇත. යනාදී ලෙසින් ඇතිවෙන සම්‍යයක් දෘෂ්ටිය පෙරටු කොට ගෙන ආහාර පානාදිය පරිත්‍යාග කිරීමේ චේතනාව ම දානය නම් වේ. බුදුරජාණන් වහන්සේලා ආහාරපාන වස්තූන් පිළිබඳ බුද්ධි පුර්වක පරිත්‍යාගයද දානය ලෙස දේශනාකොට ඇත.

එපමණක් නොව අලෝභ චේතනාවම දානය ලෙස නම් කොට ඇත. චේතනාව ම දානය ලෙස ගනියි. මේ චේතනා වූ කලි පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා වශයෙන් තෙවැදෑරුම් වේ. මේ ත්‍රිවිධ චේතනාවෝ දාන නම ලබත්. එහිලා කර්ම පථයට නැගී මුඤ්චන චේතනාවට ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක වශයෙන් අර්ථ සාධක වෙයි.

මෙහිලා පූර්ව චේතනා යනු දන්දීමට පෙරාතුව ඇතිවෙන සිතිවිලියි. මුඤ්චන චේතනා යනු දන් දෙන අවස්ථාවේ ඇතිවෙන සිතිවිලියි. අපර චේතනා යනු දන් දී අවසානයෙහි ඇතිවෙන සිතිවිලියි. මෙහිලා මුල, මැද සිතිවිලි යහපත් වුවත් අවසානයේ සිත සතුටු කර ගැනීමට නොහැකි නම්, දාන චේතනාව පලුදු විය හැකි ය. සරු ප්‍රතිඵල ලබා ගත නොහැකි විය හැකි ය.

දානය සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතු ය. දන් දෙන්නට සතිවිල්ලක් පහළ වුවද දන් දීමට යමක් තිබිය යුතු ය. එය දැහැමින් සෙමින් උපයා ගත යුත්තක් විය යුතු ය. දන් දෙන්නට සිතිවිල්ලක් පහළ වුවද, දීමට යමක් තිබුණ ද එය පිරිනැමීමට ප්‍රතිග්‍රාහකයන් සිටිය යුතු ය. මේ අවස්ථා තුනම එක් තැන් වූ විට දානයක් සම්පූර්ණ වේ. මේ අවස්ථාවන් තුනේදී ම පහළවන ජවන් සිත් සතකින් යුත් චිත්තවිථින්ගේ ගණන නොකිව හැකි ය. මේ හැම විටකම පමණ නොදැන හැකි, පමණ නො කිවහැකි හැකි චිත්තවීථිහු පහළ වීම සිදුවීම එයට හේතුවයි. ඒ හැම චිත්තවීථියකම ජවන් සිත් සත බැගින් වන අතර ඒ හැම ජවන් සිතක්ම චේතනාවක් බවට පත් වේ. එනම් දානය ප්‍රතිග්‍රාහකයන් අතට පත් කිරීමේ දී කාය විඥප්තිය ඇතිවීමට හේතුවූ අර්ථසාධක ජවන් වීථියක් පහළ වන අතර, ඒ ජවන් සිත් සතෙහි යෙදුණු චේතනා චෛතසිකය ප්‍රධාන කොට දානමය කුසල කර්මය ඇතිවේ. එමෙන්ම දන් දී අවසානයෙහි මා විසින් දන් දෙන ලදැයි සිහිකරන විට ඒ අවස්ථාවන්හි ඇති වෙන චිත්ත විථින්ගේ ප්‍රමාණය කිව නොහැකි ය. ඒ සෑම චිත්ත විථියක් ම චේතනා සහිතවම වේ. මුලින් සඳහන් කළ පූර්ව චේතනා, මුඤ්චන චේතනා අපර චේතනා වශයෙන් පහළවන, අපමණව පහළවන කාමාවචර කුසල චිත්ත වීථිහු මෙලොවදීම සැප විපාක දීමට සමත් වේ. උදාහරණ ලෙස ධනංජය, මෙණ්ඩක සිටුවරුන් මෙහිලා නිදසුන් ලෙස පෙන්වා දිය හැකි ය.

දාන චේතනාවක් පහළ වන්නේ මසුරු මළින් තොර තැනැත්තාට පමණකි. කිසිදු සැපතක් අන්‍යයාට හිමි නොවේවා. හැම සැපතක්ම මටම ලැබේවා යන්න මසුරාගේ ලක්ෂණයයි. මොහු කිසිවෙකුට කිසිවක් නොදෙන බැවින්, නොකන බැවින්, සඟවන බැවින්, අනුන්ගේ විපතෙහි සතුටු වන බැවින්, එයින්ම ධනය උපයන බැවින් නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත යෝනිය යන පහත් තැනකම උපත ලබන්නෙකි. පහත් තැනකටම යන්නෙකි. තද මසුරු කමින් යුත් තැනත්තා තම ගෙට පිඬු පිණිස පැමිණෙන මහණ බමුණන් දුටුවත්, හුන් තැනින් නොනැගටියි. ගල් කණුවක් සේ නොසැලී සිටීම ලක්ෂණයයි. දීම කෙසේ වෙතත් වචනයෙන් වත් සංග්‍රහ නොකරයි.

මසුරු තෙමේ තමන් කිසිවක් නොදෙනවා මෙන්ම දෙන තැනැත්තා ද වළක්වයි. මසුරුකම දුරු කළ හැක්කේ දානය තුළිනි. හෙවත් අලෝභ චේතනාව තුළිනි. ඒ අනුව සූත්‍ර පිටකයේ දිය හැකි දාන දහයක් ගැන සඳහන් වේ. ඒවා මෙසේ කෙටියෙන් සඳහන් කළ හැකිය. ‘අන්න’ නම් බත් මාළු, කැවුම්, අග්ගලා, තලප, අල, බතල ආදී කඩා, විකා කන සියලු දේ මෙයට අයත් වේ. එනම් ආහාරය පිණිස ගන්නා දේ මෙයින් අදහස් කරයි. පාන නම් පානය කරන දේයි. අඹ, දඹ කෙහෙල්, ඇටි කෙහෙල්, මී මද, මිදි පල, ඕලු, උගුරැස්ස, ඩෙබර, මහ ඩෙබරපල ආදිය මැඩ පෙරා ගත් යුෂ ද, ගිතෙල්, කිරි කැඳ ආදිය පූජා කිරීමයි. ‘වත්ථ’ නම් කොටුපිළි, කපුපිළි දුහුල් පිළි, තිහිරි පිළි, පත්තුණ්ණ පිළි, රෝමයෙන් උපදනා පිළි හණ පිළි ආදියෙන් කරවාගත් වස්ත්‍රාදිය පූජා කිරීමයි.

‘යාන’ නම්, කරත්ත, අත් කරත්ත, දෝලා, පල්ලැක්කි, පාවහන්, වාහන ආදිය පූජා කිරීමයි. මාලා නම් ගෙතු නොගෙතු මල් දම් පිදීමය. ගන්ධ නම් ඇඹරූ නො ඇඹරු සුවඳ ගන්වන උපකරණ පිදීිමය. ‘විලේපන’ නම් රත් සඳුන්, සුදු හඳුන්, කස්තුරි, කර්පුර්, සබන් බාම් ආදිය පිදීමයි. ‘සෙය්‍යා’ නම් සයනයයි. සයන ලෙස ඇද, පුටු, සෝපා, කවිච්චි ආදිය හා ඇතිරිය යුතු කොට්ට, මෙට්ට, බුදරි, බිසි කුසුම් ආදිය පිදීම.ආවස්ථ නම් අවාසය. කුඩා වූද මහත් වූ ද , ගෙවල් ද අතු පැල, පිදුරු පැල, තණ පැල, ගෘහ ආදිය ද පිදීම ය. ‘පදී පෙයිය’ නම් පහන් පහන්වැටි, පහන් තෙල්, ඉටිපන්දම්, විලක්කු, නූතනයේ විදුලි ආලෝකය සඳහා ගන්නා විදුලි පන්දම්, විදුලි බුබුළු ආදිය පූජා කිරීමයි. මේ සූත්‍ර පිටකයේ සඳහන් දාන වස්තු දහයයි. මේවා පූජා කිරීම තුළින් පරලොව ජීවිතය සුවසේ ගත කිරීමට අවශ්‍ය දෑ ලැබෙනවා නොඅනුමාන ය.

අභිධර්ම පිටකයේ දාන හයක් ගැන සඳහන් වේ. ඒ දාන හය නම් රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, ස්පර්ශ දාන, ධර්ම දාන වශයෙනි. නීල, පිත, ලෝහිත, ඕදාතාදී පැහපත් පුෂ්ප වස්ත්‍රාදීම වස්තුවක් ලැබ ඒ වස්තුව ඇති පරිදි නීල පිතාදී වර්ණ විශේෂ වශයෙන් සලකා තුනුරුවනට පිදීම රූප දානයයි. මිහිඟු බෙර ආදියෙහි වූ සිත් ඇලවිය යුතු ශබ්දය, ශබ්දය වශයෙන් සලකා තුනුරුවනට පිදීම ශබ්ද දානයයි. අගිල් තුවරලා ආදි වූ සිත ඇලවිය යුතු සුවඳ දාමයක් හෝ ඉන් පෙරා ගත් දෙයක් හෝ තුනුරුවනට පූජා කිරීම ගන්ධ දානයයි. ප්‍රණීත රස විශේෂයක් රස වශයෙන් සලකා තුනුරුවනට පිදීම රස දානයයි. ඇඳ, පුටු, මේස ආදිය වූ සිත් ඇදගන්නාවූ පහසක් පහස වශයෙන් සලකා තුනුරුවනට පූජා කිරීම ස්පර්ශ දානයයි. ඕජස්ත වස්තු ඕජස්ත වශයෙන් සලකා තුනුරුවනට පිදීම ධම්ම දානය ලෙස අභිධර්මයෙහි හැඳින්වේ.

විනය පිටකයේ දාන හතරක් ගැන සඳහන් වේ. ඒ දාන හතර නම් චීවරදානය, පිණ්ඩපාත දානය, සේනාසන දානය, හා ගිලානප්‍රත්‍ය දානය වශයෙනි. එනම් භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීම හෙවත් පූජා කිරීම ගිහියාට කළ හැකි උතුම්ම දානයයි. මෙහිලා සූත්‍ර පිටකයේ සඳහන් දස දාන පූජාවට වඩා විනය පිටකයේ දැක්වූ දාන පූජාව මහත්ඵල මහානිසංස බවත් විනය පිටකයේ සඳහන් දාන පූජාවට වඩා අභි ධර්ම පිටකයේ සඳහන් දාන පූජාව මහත්ඵල මහානිශංසය බවද සඳහන් වේ. එය එසේ වුවද කුමන දානයක් දුන්නත් මහත්ඵල වනුයේ තුන් සිත පහදවා දෙන දානමය. ඉහතින් දැක්වූ දාන සුවිස්සම ආමිස දානයට අයත් වේ.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk