UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මාලගම්මන රජමහා විහාරය

ඓතිහාසික මාලගම්මන රජමහා විහාරය

විහාර මන්දිරය හා චෛත්‍යය

මාලගම්මන පුරාණ රජමහා විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ කුළුගම්මන මාලගම්මන ග්‍රාමයේ සුන්දර පරිසරයක පිහිටා ඇත. මහනුවර කුරුණෑගල මාර්ගයේ නුගවෙල කඩමන්ඩියෙන් වමට හැරී විද්‍යාල මාවතේ මීටර් 500 ක් ගමන් කළ විට මාලගම්මන විහාරය දැකගත හැකි ය.

ගම්පොළ රජසමයේ හතරවන බුවනෙකබා රජතුමා විසින් කරවන ලද බව මෙම විහාරයේ ඉතිහාස කතාව කියාපායි. රජතුමා හාරිස්පත්තුව ගම්නියම්ගම්වල සංචාරය කළ අවස්ථාවේ දී මාලගම්මන පත්තිනි දේවාලයේ කපුමහතා විසින් තම හින්දු ජාතික බිසවගේ දරුණු ආබාධයක් සුවකිරීම ගැන සතුටට පත්ව එතුමිය මණිමේඛලාවක් නිධන්කොට මෙම විහාරය ඉදිකළ හෙයින් මාලගම්මන නාමය ලැබුණු බව ජනප්‍රවාදයේ එයි.

විහාර මන්දිරය ඉදිකොට ඇත්තේ බිම් මට්ටමින් අඩි 5 ක් පමණ උසිනි. දැනට ඇති ගල්කණු කියාපාන්නේ මෙය පැරැණි ටැම්පිට විහාරයක් බවයි. විදේශිකයන් විසින් විනාශ කරන ලද මෙම විහාරය පසුව ප්‍රතිසංස්කරණයට ලක්කොට ඇත. මහනුවර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අලංකාර ලී පේකඩ සහිත ශක්තිමත් දැවයෙන් නිර්මාණය කොට ප්‍රතිසංස්කරණය කළ විහාර මන්දිරයේ ප්‍රධාන උළුවස්ස කළු ගලින් නිමවු අපූරු කලා කෘතියකි.

මෙහි වැඩ සිටින සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සෙසු පිළිම මෙන්ම චිත්‍ර සමූහය ද මහනුවර යුගයේ දේශීය කලා ලක්ෂණ විදහා දක්වයි. වර්ෂ 1818 ඉංගී‍්‍රසි ජාතිකයින් විසින් මෙම විහාරස්ථානයට හානි සිදුකළ බව ඉදිරිපස බිත්තියේ සඳහන්වේ.

විහාර මන්දිරයේ ඉදිරිපස බිත්තිවල නොයෙක් වේශගෙන ආයුධ රැගත් මාර සේනාව දැක්වෙන සිතුවම්, අපාය විදහා දක්වන සිතුවම් හා ආදී සිතුවම් විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවායින් බොහොමයක් විනාශවෙමින් පවතී.


ශාස්ත්‍රවේදී
උල්ලදුපිටියේ විනීත ධම්ම නා හිමි


මාර පරාජය විදහා දැක්වෙන සිතුවම

විහාර මන්දිරයේ පිළිමගෙවල් දෙකකි. ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවන පිළිමගෙයි නුවර යුගයේ ආභාෂය ලැබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ ද ශ්‍රී විෂ්ණු දේව ප්‍රතිමාව ද සහිතව බිත්ති සතරේ උඩු වියනේ ද නිර්මාණගත සිතුවම් රැසක් දක්නට ලැබේ.

මෙම සිතුවම් අතර ගම්පොල යුගයේ පස්වන බුවනෙකබාහු රජතුමා විසින් කරවන ලද සිතුවම් පවතින බවට ද සටහන් වී ඇත. අලංකාර මකර තොරණ බුවනෙකබා රජුගේ රූපයේ ඇති චිත්‍රයේ රජුගේ ඔටුන්නද, දිග කෙස් කළඹද දක්වා ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සේයාරුවද මෙහි චිත්‍රයට නඟා පවතී. විහාර මන්දිරයට පිටුපසින් ඇති විහාරගෙය නුවර යුගයට අයත් දහ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ දක්නට ලැබෙයි. මෙහි චිත්‍ර මූර්ති සියල්ල හිඟුල්වල මූලාචාරීය කුළුගම්මන කජුගහවත්තේ මූලාචාර්ය සහ ඇඹුල්පුරේ කිරිහාමි යන ශිල්පීන් නිර්මාණය කළ බව මෙහි සඳහන් වේ. මෙම ශිල්පීන් තිදෙනාම හාරිස්පත්තුවේ වැසියන් වේ.

ඉපැරැණි බෝධියක් මෙම විහාරය සතු ය. කුඩා චෛත්‍යයක් ද බුවනෙකබා රජ සමයේ නිර්මාණය කොට ඇති බව ජනප්‍රවාදයේ එයි. රජු විසින් හැටපහ අමුණු ඉඩම් මෙම විහාරයට පූජා කර ඇත. ‘සුවය හා වනය’ යන නිලධාරීන් විහාරය ආරක්ෂාවට පත් කරන ලද බව සන්නසක සඳහන් වේ. 1202 සිට 1300 දක්වා රජකම් කළ දෙවැනි ශ්‍රී නිවාස බුවනෙකබාහු රජුගේ සිට 1300 – 1302 දක්වා කුරුණෑගල රජ කළ මෙම රජුගේ සහෝදරයකු සිරිනිවාස නමින් මෙහි පැවිදි වී ඇත.

උන්වහන්සේට ගෞරවයක් ලෙසද වැරැල්ලගම රතනජෝති නාහිමි ශ්‍රී නිවාස විද්‍යාපීඨය නමින් පිරිවෙණක් ආරම්භ කර ඇත. මෙය පසුව උන්වහන්සේට ගෞරව පිණිස ශ්‍රී ධර්මාලෝක පිරිවෙන බවට පත් කර ඇත. වත්මන් විහාරාධිපති පරිවේණාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත උල්ලදුපිටියේ විනීත හා ධම්ම නාහිමියන්ගේ කැපවීම මත මෙම විහාරයේ ස්වර්ණමය යුගය උදාවිය.

මෙම විහාරස්ථානය තුළ වෙද සඟ පරපුරක් පැවැති අතර හෙළ වෙදකමට ප්‍රසිද්ධියක් ද ලැබිණි. මාලගම්මන විහාරය විහාරාධිපති වැරැල්ලගම ධම්මාලෝක හිමිපාණන් භික්ෂු වෙද පරපුරේ අවසාන පුරුක බවට පත් විය.

මෙහි උගත් ශිෂ්‍ය හිමිනමක් වූ පණ්ඩිත ශාස්ත්‍රවේදී බෝවත්තේ රතනජෝති හිමියන් දසක හයක් ජනතාවට නොමිලයේ දේශීය වෛද්‍ය සේවාව සැපයී ය. උල්ලදුපිටියේ විනීතධම්ම හිමිපාණන්ගේ මූලිකත්වයෙන් විහාරයට නවාංග එකතු කැරිණි. අද මෙම විහාරය අතිපූජනීය ස්ථානයකි.

ඡායාරූප - උදේනි රාජපක්ෂ

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk