UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවීම

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවීම

හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහර ආරම්භ වන්නේ නාථ, විෂ්ණු , කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ නැකතට කප් සිටුවීමෙනි. පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීම අනාදිමත් කාලයක පටන් පැවැත එන ඉතා වැදගත් වූ චාරිත්‍රයකි. පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම සුබ නැකතට අනුව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සිදුකිරීම තුළින් පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ හැකි බවට අතීතයේ පටන් පැවත එන විශ්වාසයක් පවතී. මේ නිසාම කප් සිටුවීමේ මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට අනුව අකුරටම ඉටු කිරීමට පෙරහර සංවිධානය කරන්නෝ වගබලා ගනිති.

පැරැණි රජදවස පටන් පැවත එන චාරිත්‍රයන්ට අනුව මහනුවර සතර මහ දේවාල මූලික කරගනිමින් සිදු කෙරෙන කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍ය කප වැඩම කරනු ලබන්නේ අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිටය. අලි ඇතුන් සහිත පෙරහරකින් අලුත්නුවර සිට කිලෝමීටර 26 ක දුරක් ගෙවමින් දින දෙකක් තිස්සේ වැඩම කරනු ලබන කප මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී සිව් කඩකට වෙන්කර සෙසු දේවාල අතර බෙදා දීම රජ දවස පටන් සිදු කෙරෙයි. පෙරහර මංගල්‍යය සඳහා දින වකවානු තීරණය කිරීමත් සමඟ කප වශයෙන් තෝරා ගන්නා පණස වෘක්ෂයක් (කොස් ගසක්) ඒ සඳහා වෙන්කර ගනී. උදලු මිටක් තරම් මහත කඳකින් සමන්විත කොස් ගසක් මේ සඳහා තෝරා ගන්නා අතර ගස වටා ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු ගස සුවඳ පැණින් නහවා මල් පහන් පූජා කර වතාවත් ඉටු කරනු ලබයි. දින හතක් තිස්සේ ගසට පූජා පවත්වමින් පේ කර කපු මහත්වරුන් විසින් සුබ නැකැතට අනුව එය කපා ගැනීම සිදු කරයි. එසේ කපා ගන්නා පණස වෘක්ෂ කඳ කොටස පෙරහරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට වැඩම කර එහි දී කොටස් හතරකට වෙන් කරගනු ලබයි. එම කොටස්වලින් එකක් විෂ්ණු දේවාලයේ තබාගෙන අනෙක් ඒවා නාථ, කතරගම හා පත්තිනි දේවාලවලටත් බෙදා දෙයි. කප දේවාල කරා වැඩම කරනු ලබන්නේ ද පංචතූර්ය වාදන සහිත පෙරහරකිනි. දළදා මාලිගාවේ නැකැත් කෝරාළ විසින් ලබාදෙන සුබ නැකතට අනුව මෙම කප සතර මහ දේවාලයන්හි දී එකම වේලාවක දී සිටුවනු ලබන්නේ රජ දවස පටන් පැවත එන චාරිත්‍ර ගරු කරමිනි. දේවාල භූමියේ ඇහැළ ගේ නම් විශේෂ ස්ථානයක් සකස් කර ඒ වටා සුදු තිර ඇද ගොක් කොළ එල්ලා මල් පලතුරුවලින් පූජා පවත්වා කප් සිටුවීමේ චාරිත්‍රය ඉටු කෙරෙන අතර එය මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය ලෙස සැලකෙයි. එදින පටන් සතර මහ දේවාලයන්හි දින පහක් අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි. කපු මහත්වරුන් විසින් දේව ආභරණ දේවාලයෙන් පිටතට වැඩමවා පංචතූර්ය නාද මධ්‍යයේ දේවාල භූමිය වටා පැදකුණු කොට උඩු වියන්, ධජ, මුතුකුඩ, සේසත් සහිතව කප වටා පෙරහර පැවැත්වීම දේවාල අභ්‍යන්තර පෙරහර ලෙස හඳුන්වයි.

දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසු මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය ආරම්භ වන්නේ කුඹල් පෙරහරෙනි. දින පහක් කුඹල් පෙරහර ද, අනතුරුව තවත් දින පහක් රන්දෝලි පෙරහර ද වීදි සංචාරය කිරීමෙන් පසු දවල් පෙරහර වීදි සංචාරය කර පෙරහර මංගල්‍යය නිමාවට පත් වෙයි. නිකිණි පුන් පොහෝ දින රාත්‍රී අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව විහාරස්ථානය වෙත වැඩම කර එහි පෙරහර කරඩුව තැන්පත් කරනු ලබයි. පසුව සිව් මහ දේවාල පෙරහර ගැටඹේ දියකපනා තොට වෙත රාත්‍රීයේම ගමන් කරයි. දිය කැපීමේ මංගල්‍යය සිදු කරන අවස්ථාවේ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් සතර මහ දේවාලයන්හි සිටුවනු ලැබූ කප ගං දියේ පාකර හරී. මෙසේ පාකර හරින කප සෞභාග්‍යයේ සංකේතයක් ලෙස අතීතයේ පටන් සැලකීම නිසා අති විශාල පිරිසක් එය ලබා ගැනීම පිණිස ගඟ පහළ රැස් කකා සිටිනු දක්නට ලැබේ. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම අගෝස්තු මස 12 දා යෙදෙන සුබ නැකතට අනුව සතර මහ දේවාලයන්හිදී සිදු කිරීමට නියමිත ය.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk