UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

කෑල්ලේ ශ්‍රී සාරානන්ද නා හිමි

මඩුවන්වෙල නායක හාමුදුරුවෝ ආදර්ශවත් අභිමානවත්, භික්ෂු චරිතයකි.

මඩුවන්වෙල නා හිමි, සබරගමුවේ කොළොන්නා කෝරළයේ කෑල්ල නම් ග්‍රාමයෙහි ප්‍රභූ ගම්මුලාදෑනි පවුලක 1892 මාර්තු 09 දින ජන්ම ලාභය ලැබ, කෑල්ලේ සුදර්ශන මහා විහාරාධිපතිව වැඩවිසූ, කෑල්ලේ සරණපාල සුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, කෑල්ලේ සාරානන්ද නමින් උතුම් පැවිදි බව ලැබූහ. 1914 දී මල්වතු මහා විහාරයෙන් උපසම්පදාව ලැබු සාරානන්ද හිමියෝ, මඩුවන්වෙල දිශාවගේ ආරාධනයෙන් 1917 දී මඩුවන්වෙල මුදලින්දාරාමාධිපති ධූරයට පත් වූහ. එතැන් පටන් කෑල්ලේ සාරානන්ද මහා ස්වාමීන්ද්‍රයෝ මඩුවන්වෙල නායක හාමුදුරුවෝ යන නමින් ප්‍රසිද්ධ වූහ.

එකල සබරගමු පළාතේ වැඩවිසූ අති කාර්යශූර, විචිත්‍ර ධර්ම දේශක මහා යතිවරයාණන් වූයේ ද මඩුවන්වෙල නාහිමියෝම වෙති. උන්වහන්සේ දම් දෙසන ස්ථානයට මං මාවත් ඔස්සේ හුළු එළියෙන් ගමන් ගන්නා පිරිස මහත් සැදැහැයෙන් යුතුව පැමිණ තැන්පත්ව තුන්යම් රාත්‍රියේම බණට සවන් දෙති. බණ අසන පිරිස දහස් ගණනක් වුවත්, සියල්ලන්ටම එකසේ ඇසෙන ලෙස ධර්ම දේශනා කිරීමට හැකි පැතිරී යන මහත් හඩක්, අප නාහිමියන්ට පෙර පිනට පිහිටා තිබිණි. අටුවා, ටීකා, ටිප්පණී සහිත සූත්‍ර පිටකයේ දේශනා සිය ගණනක් උන්වහන්සේට කටපාඩමින් දෙසිය හැකි විය.

මඩුවන්වෙල නාහිමියෝ ධර්ම කෝෂ්ඨාගාරයක් බඳු යැයි, බණ දත් වියත්හු කියති. බොහෝ ඇසූ පිරු තැන් ඇති, දිනපතා, මාස ගණන් වුවත්, ධර්ම දේශනා කිරීමට ධාරණ ස්මරණ ශක්තියෙන් හෙබි, පැහැදිලි, මිහිරි හඬ පෞරුෂයක් හිමි වූ නාහිමියෝ යුගාසන ධර්මදේශනා, පිරිත් දේශනා වේද, ප්‍රකටව විසූහ. වස් හාර මාසයේ දින 120 ට, ධර්ම මාතෘකා එකසිය විස්සකට අධිකව දේශනා කිරීම නාහිමියන්ගේ සිරිත ය. අද කී බණ හෙට නොකියති. දිනපතා සූත්‍ර ධර්මයක්ම දෙසති.

හික්කඩුවේ නාහිමියන් ආචාර්යත්වයෙන් සැලකූ මඩුවන්වෙල නාහිමියෝ උපාලි වංශික සංඝ පරම්පරාව විසින් ආරක්ෂාකරගෙන එන්නාවූ සුපේශල ශික්ෂාකාමීත්වය හා සුසංවර බව ගරු කළහ. නාහිමියෝ ඇතුල්ගමට වඩිනා කල්හි පරිමණ්ඩලාකාරව සිවුරු හැඳ පෙරව, ගැටවටු ගන්වා වැඩමවීම නොපිරිහෙලා ආරක්ෂා කළහ. කඳු හෙල් හා කැලෑ සහිත අති දුෂ්කර මගක වැඩියත්, ගම් වදින්නට පෙර නැවති, උභයංශ පාරුපනයෙන් වැඩම කිරීම සුළු දෙයක් ලෙස උන්වහන්සේ නොසැලකූහ.

ඉර අවරට යාමට පෙරම දවල් දන් වළඳා අවසන් කිරීමට හා දන් වළඳන අවස්ථාවෙහි පිළිපැදිය යුතු ‘හත්තග්ගයෙහි වූ වත් පිළිවෙත් නොයිද සුරැකීමට නාහිමිපාණෝ වත් සපන් වූහ. වස්සාන කාලය තුළ වස්වාසික පිළිවෙත් සුරකිමින්, බලවත් සැදැහයෙන් දායක දායිකා පින්වතුන්ට තුනුරුවන් විෂයයෙහි වැඳුම් පිදුම් සත්කාර කරවීමටත්, උන්වහන්සේ කිසිවිටකත් මැළි නොවූහ. දින ගණනක් එක දිගට නිදිවර්ජිතව සිටියත් දායක භවතුන්ගේ සිත් බිෙඳ්දැයි අනුකම්පා උපදවා ආරාධනා පිළිගෙන බණ පිරිත් දේශනා කිරීම ගැන උන්වහන්සේ මහත් ප්‍රසිද්ධියක් ඉසුලූහ. බහුශ්‍රැත බුද්ධ පුත්‍රයෙකු වශයෙන් හා ග්‍රාමවාසී මහ ථෙරනමක් ලෙස දායක පක්ෂයට ඉටුවිය යුතු මෙහෙය ගැන උන්වහන්සේට මනා අවබෝධයක් තිබිණ.

දුටුවන් නෙත් බදනා ආරෝහ පරිණාහ සම්පන්න වූ නාහිමියන් වෙත ආකර්ශනීය වූ වාග් ශක්තියක්ද ගැබ්ව පැවතියේය, කිසිවිටෙකත් කිසිවකු සමග අමනාපයක් ඇතිකර නොගත් නාහිමියෝ කාරුණික බැල්මක් හැම දෙනා වෙත හෙලූහ. මුණ ගැසෙන කාහටත් භවතු සබ්බ මංගලම් කියා ආසිරි පැතූහ.

ප්‍රදේශයේ විහාරස්ථාන රැසකම අධිපති ධූරය ඉසිලූ නාහිමියෝ එවකට අන්ධකාරයේ පැවති කොළොන්නා කෝරළ ආලෝකමත් කිරීමට උපන්නාවූ යුගයට අවශ්‍ය පුරුෂෝත්තමයෙක් වූහ.

දේශාන්තර පතළ කීර්තියක් දැරූ මඩුවන්වෙල දිශාව සහ ලංකාවේ පළමු කථානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා, නාහිමියන්ගේ අනුශාසනා ලත් ප්‍රධාන දායකවරු වූහ. නාහිමියන්ට අවශ්‍ය සිව්පසය මඩුවන්වෙල වලව්වෙන් සම්පාදනය වූ අතර උන්වහන්සේ මූලිකත්වය දුන්නේ බණ කියන්නටත්, සිසුන් තැනීමටත් ය. එහි ප්‍රතිඵල දැක නාහිමි බෙහෙවින් ප්‍රමුදිත වූයේ ය.

භික්ෂූන් වහන්සේ වනාහි සෑම බෞද්ධයෙකුටම පින් කෙතක් වන බවත්, ඊට සුදුසු භික්ෂු ආකල්ප හා සංඝශෝභන ඇවතුම්, පැවතුම් සමුදාය සිහි නුවණින් යුක්තව නාහිමියෝ ආරක්ෂා කළහ.

හැම විටම අර්ථවත් වූ බණ පදයක්, ගාථාවක් හෝ අටුවා පාඨයක් කියා අනුශාසනා කිරීමෙන් ගිහි පැවිදි පින්වතුන් පිනවීම යාව ජීව පුරුද්දක් කරගෙන සිටි නාහිමියෝ හැමගේ ආදර ගෞරවයට පාත්‍ර වූහ. ලද පමණින් සෑහීමට පත්වන ‘සන්තුට්ඨිතා, අප්පිජ්ච්ඡතා යන ගුණ කැපී පෙනෙන ලෙස භික්ෂු ආකල්ප සම්පන්න වූ නාහිමියෝ කරණිය මෙත්ත සූත්‍රයේ දක්වා ඇති සුභරතා, අප්පකිච්චතා ආදි ගුණ තම දින චරියාවෙන් බැහැර නොකළහ. අට ලෝ දහමට අනුව දුක සැප සමසේ ඉවසා වදාළ නාහිමිපාණෝ අදර්ශවත් ශික්ෂාකාමී මහ තෙර නමක් ලෙස ශත වර්ෂයකට ආසන්න කාලයක් මහණ දම් පිරූහ.

නාහිමිපාණෝ විසින් රට දැය සමයට ඉමහත් මෙහෙයක් සිදුකළ හැකි ප්‍රබල ධර්මධර විචක්ෂණ පැවිදි ගිහි විශාල ශිෂ්‍ය පිරිසක් ද ඇතිකළහ. ලක්දිව නා නා පළාත්වල එම ශිෂ්‍යයෝ සමාජීය, හා සාමයික පොදු සේවාවල ව්‍යාවෘතව සිටිති. ඒ අතර රාජකීය පණ්ඩිත ග්‍රන්ථ විශාරද කෑලිගම විජිතනන්ද නාහිමියෝ ප්‍රධාන වෙති. මෙලෙස අතිශයින්ම කාර්ය බහුල ජීවිතයක් ගතකළ මඩුවන්වෙල නාහිමියන් තුළ පැවැති, ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, මෛත්‍රී, කරුණාදී විශිෂ්ට ගුණයන් කෙරෙහි ප්‍රසාදයට පත් වූ මල්වතු මහා විහාරය විසින් පිරිනැමුණු කීර්ති ශ්‍රී ධම්මදින්න සරණපාල යන ගරු නාම සහිත සබරගමු පළාතේ ද්විතීය සංඝ නායක පදවිය, නාහිමියන් හොබවන ලද අතර, ශ්‍රී පාදස්ථානයේ අනුනායක ධූරය ද හොබවන ලද්දේ ය.

1987 මාර්තු 10 දින අපවත් වී වදාළ මඩුවන්වෙල නාහිමියන්ගේ 31 වැනි ගුණ සමරු පින්කම මෙම අගෝස්තු 15 දින රත්නපුර මහවල ශ්‍රී ධර්මායතන මහ පිරිවෙනේ දී පැවැත්වීමට, තත් විහාරාධිපති, කෑලිගම විජිතන්ද නාහිමියන් ප්‍රධාන, ශිෂ්‍ය දායකාදීන් විසින් සංවිධානය කර ඇත.


කෑලිගම විජිතනන්ද නා හිමි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක රත්නපුර මහවල ශ්‍රී ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ග්‍රන්ථ විශාරද විනය කීර්ති ශ්‍රී ධම්මදින්න සරණපාල කෑලිගම විජිතනන්ද නා හිමිපාණන් වහන්සේ උතුම් වූ පැවිදි උපසම්පදාවෙන් පනස් වසරටත් ජීවන චාරිකාවේ අසූ වසරටත් සම්ප්‍රාප්තව සිටිති.

ඒ නිමිත්තෙන් විශේෂ පින්කම් මාලාවක් උන්වහන්සේ වැඩවෙසෙන රත්නපුර මහවෙල ශ්‍රී ධර්මායතන පිරිවෙන් විහාරය කේන්ද්‍ර කොට ගනිමින් සිදුකිරීමට උන්වහන්සේගේ සහෝදර භික්ෂූන් වහන්සේලාත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් එක්ව දායක පින්වතුන්ගේ සහයෝගයෙන් කටයුතු සංවිධානය කරති.

උන්වහන්සේට දීර්ඝායු පැතීමද මෙන්ම නාහිමිපාණන් පැවිදි බිමට පත් මඩුවන්වෙල සඟ පරපුරේ ආදි කර්තෘන් මෙන්ම ගුරු දෙගුරුන් ද සිහිපත් කොට පින් අනුමෝදන් කරවීමද අරමුණු කරගත් එම පින්කමෙහි සමාප්තිය මෙන්ම විචිත්‍රවත්වූ අවස්ථාව වන්නේ අගෝස්තු 15 වන ඉරිදා දවල් මහවල ධර්මායතන පිරිවෙන් විහාරයේ පැවැත්වෙන සපිරිකර සංඝගත දක්ෂිණාමය පිංකමය.

සබරගමු පළාතේ කොලොන්න කෝරලයේ කෑලිගම ග්‍රාමයේ දී 1938 දී උපත ලැබූ උන්වහන්සේ පැවිදි බිමට පිවිසෙන්නේ 1953 දී ය. සබරගමුව දීප්තිමත් කළ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න සඟ පරපුරට අයත්ව සබරගමුව පළාතේ ද්විතීය සංඝනායක පදවිය හෙබවූ මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමාධිපතිව වැඩ විසූ කෑල්ලේ ශ්‍රී සාරානන්ද නාහිමිපාණෝ උන්වහන්සේගේ ආචාර්යවරයාණන් වූහ.

මඩුවන්වෙල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ අනතුරුව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනින් උසස් අධ්‍යාපනය මෙන්ම බණ දහමෙහි ද නිපුණව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද ලබාගෙන 1964 දී පිරිවෙන් ගුරු සේවයට එක්වූයේ හොරණ කුඩා උඩුව නාලන්දා විදුහලේ ආචාර්යවරයෙකු ලෙසය.

ඒ අතරතුර ශාස්ත්‍රපති අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධිය ලබා ගන්නා උන්වහන්සේ 1980 දී පිරිවෙන් පරීක්ෂකවරයෙකු ලෙස පත්වන්නේ රත්නපුර සද්ධර්මාලංකාර පරිවෙනාධිපති ලෙස කටයුතු කරමින් සිටිය දී ය.

පිරිවෙන් පරීක්ෂකවරයෙකු ලෙස රට පුරා විවිධ ප්‍රදේශවල සේවය කළ උන්වහන්සේ බණ දහම් උගැන්වූවා මෙන්ම තම සහෝදර භික්ෂූන් වහන්සේලා තමන් යන මාවතට යොමුකර ගත්තේ ගුරු හිමිපාණන් වෙනුවෙන් කළයුතු වගකීම් සම්භාරයද ඉටුකරමිනි. එසේම එවැනිම සිසු පරපුරක් ද උන්වහන්සේ ඇති කළහ.

මහවල ධර්මායතන පිරිවෙන්පති ශාස්ත්‍රපති ඕමල්පේ මෙත්තානන්ද හිමියෝ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයා ලෙසින් මේ වන විට උන්වහන්සේගේ කාර්ය භාරය ඉදිරියට ගෙන යන්නේ ගුරු හිමියන් වෙත බැඳි සෙනෙහසිනි.

නාහිමිපාණන් වහන්සේ හැත්තෑව දසකයේ දී නව ජනාවාසයක් ලෙස බිහිවුන මහවෙල ග්‍රාමයේ ධර්මායතනය නමින් ආවාසයක් ඉදිකොට ගෙන එගම්වැසි ජනතාව බණ දහමෙහි පිහිටුවාලමින් ම ඔවුන්ගේ සමාජ තත්ත්වයන් නංවාලීමටද ඉමහත් පරිශ්‍රයක් දැරූහ.

මේ සියලු කාර්යයන් හා සමාජ සද්කාර්යයන් ඉටුකරන අතරතුරදීම උන්වහන්සේ සිදු කළ ශාස්ත්‍රීය සේවාව ද සුවිසල්ය. විවිධ පැතිකඩ හරහා ගවේෂණාත්මකව රචනා කළ ග්‍රන්ථ රාශියක් එළිදක්වා ඇති උන්වහන්සේ ගත් කතුවරයෙකු ලෙස නම් දරා ඇත්තේ උන්වහන්සේ අතින් ලියැවුණ බොහෝ ග්‍රන්ථ පිරිවෙන් අධ්‍යාපනයේ දී වැඩි වැඩියෙන් පරිශීලනය වන හෙයිනි. පිරිවෙන් අධ්‍යාපනය හෙවත් සම්භාව්‍ය දේශීය අධ්‍යාපනය නම් වූ කෘතිය ඒ අතරින් සුවිශේෂ වන්නේ එහි ඇති සදාතනික වටිනාකම නිසා ය.

මේ වන විට පැවිදි උපසම්පදාවෙන් පනස් වියද ඉක්මවා තම සිසු පරපුරට මෙන්ම පළාතේ මහා සංඝයා වහන්සේ වෙතද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් විවේකී සුවයෙන් වැඩ සිටින්නේ ආදර්ශමත් සිසු චරිතයක ප්‍රතිමූර්තියක් බඳුවය.

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක කෑලිගම විජිතනන්ද නාහිමිපාණන් වහන්සේ මහඟු ආදර්ශයක් වන්නේ ය. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි පතමු.

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk