නැණවත් මුව නායකයා
බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ පිරිස් බලයෙන්
පිරිහෙමින් සිටි දෙවිදත් තෙරුන් මුල්කොට ගෙන මේ ජාතක කතාව වදාළ සේක.
යටගිය දවස මගධ රට එක් රජ කෙනෙක් රාජ්‍යය කරන සමයේ මහා බෝසතාණන් වහන්සේ මුව යෝනියෙහි
උපත ලබා දහසක් පමණ මුවන් පිරිවරා වනයෙහි වාසය කළහ. කාලයාගේ ඇවෑමෙන් බෝසත් මුවාට
ලක්ෂණ හා කාල යනුවෙන් පුතුන් දෙදෙනක් ලැබුණි. බෝසත් මුවා මහලු වයසට පැමිණි පසු තම
පුතුන් දෙදෙනා කැඳවා
”පුත්‍රයෙනි, මම දැන් ඉතා මහලු ය. තොප දෙදෙනා මේ මුව පිරිස පාලනය කරවු” යනුවෙන්
පවසා පන්සියය බැගින් වන සේ මුව පිරිස එක් එක් පුත්‍රයාට බාර කළේ ය. එතැන් සිට
පුත්‍රයන් දෙදෙනා මුව පිරිස පාලනය කළෝ ය.
මේ අතර මගධ රාජ්‍යයෙහි ගොයම් කපා පාගන කාලය පැමිණි අතර ඒ කාලයේ මුවන්ට සිදුවන්නා වූ
අනතුරු ද බොහෝ වූහ. ගොවියෝ භෝග විනාශ කිරීමට පැමිණෙන මුවන් මරා දැමීම පිණිස වළවල්
හාරා උගුල් අටවති. මේ බව දැන සිටි බෝසත් මුව රජු තම පුතුන් දෙදෙනා කැඳවා මෙසේ කීය.
“පුත්‍රයෙනි, මේ ගොයම් කපන කාලය යි. බොහෝ මුවන් විනාශයට පත් වන කාලයත් මෙය යි. මම
දැන් මහලු බැවින් කිසියම් උපායක් යොදා එක් ස්ථානයකට වී කල් ගත කරන්නෙමි. තොප දෙදෙනා
පිරිස ද රැගෙන ඈත කඳුකරයට ගොස් ජීවත්ව ගොවීන්ගේ කටයුතු නිමා වූ පසු නැවත පැමිණෙව්”
කීහ. පියා විසින් කරන ලද අවවාදය ඇසු පුත්‍රයෝ දෙදෙනා පිරිවර සමග ඈත කඳුකරයට යාමට
පිටත් විය. ඔවුන් යන්නා වූ මාර්ගයෙහි සිටින ගම්වැසියෝ
”මේ කාලයේ මුවන් කඳුකරයට නගින්නා හ. මේ කාලයේ මුවන් කඳුකරයෙන් බසින්නාහ” ආදී වශයෙන්
දැන තැන් තැන්හි සැඟ වී සිට මුවන් මරා ගත්හ.
කාල නම් මුව පුත්‍රයා අනුවණ බැවින් යා යුතු වේලාව, අවේලාව නො දැන තම පිරිස ද රැගෙන
ගම මැදින් ගමන් කොට විශාල පිරිසක් විනාශයට පත්කර ගනිමින් කඳුකරයට පැමිණියේ ය. ලක්ෂණ
නම් මුව පුත්‍රයා වනාහි පණ්ඩිත ය. උපායෙහි දක්ෂ ය. ගම මැදින් යා යුතු, නො යායුතු
වේලාව පිළිබඳ ව හොඳින් දන්නේ ය. ඒ අනුව උපායශීලි ඔහු මධ්‍යම රාත්‍රීයේ ගම මැදින්
ගොස් තම පිරිසේ කිසිවකුටත් හානියක් නො වන ලෙස කඳුකරයට නැග මාස හතරක් පමණ එහි වාසය
කොට ගොවියන් විසින් ගොයම් කපා පාගා ගත් පසු පර්වතයෙන් බැස පැමිණියේ ය.
කාල නම් මුව පුත්‍රයා උකටලි ය. අදක්ෂය. පිරිස පාලනයෙහි උපාය නො දත්තේ ය. පෙර
පරිද්දෙන් ම පර්වතයෙන් බැස එන විට මිනිසුන්ගේ උගුල්වලට හසුවීම නිසා තම පිරිස බොහෝ
විනාශ කරගත් නිසාවෙන් ඒ මුවා හුදකලාව පැමිණියේ ය. එහෙත් ලක්ෂණ නම් මුව රජු තම
පිරිසේ එක් මුවකු හෝ විනාශයට පත් නො කර ගෙන පන්සියයක් මුවන් පිරිවරා දෙමාපියන්
සමීපයට පැමිණියේ ය. බෝසත් මුවා ඉදිරියට එන තම පුත්‍රයන් දෙදෙනා සහ මුව පිරිස දැක
.තම මුව ධේනුව අමතා,
”සොඳුර, ආචාරශීලයෙන් සමන්විතව ධර්මය කියාදීමෙන් සත්කාර කිරීම සහ සිවුපසයෙන් සත්කාර
කිරීම යන කරුණු දෙක තම පැවැත්ම කොට ඇත්තවුන්ට දියුණුවක් ම සිදු වන්නේ ය. ඥාති
සමූහයා පිරිවරා එන්නා වූ ලක්ෂණ නම් මාගේ මුව පුත්‍රයා දෙස බලනු. එමෙන් ම පිරිස නො
මැතිව පැමිණෙන, ඉහත කරුණු දෙකෙන් සමන්විත නොවූ කාල නම් මුව පුත්‍රයා දෙසද බලනු“
යැයි කීය.
ඥාති සමූහයාගෙන් පිරිහීමට පත් නොවී පැමිණියා වූ ලක්ෂණ නම් පුත්‍රයා කෙරෙහි පැහැදීමට
පත්ව සතුටු වූ බෝසත් මුවා පසු කලෙක ආයුෂ අවසන් කර මිය පරලොව ගියේය.
එකල කාල මුව පුත්‍රයා නම් මේ දෙව්දත් තෙරුන් ය. ඔහුගේ පිරිස නම් දෙව්දත් තෙරුන්ගේ
අසළ සිටින මේ පිරිසම ය. ලක්ෂණ මුව පුත්‍රයා නම් සැරියුත් තෙරුන් ය. ඔහුගේ පිරිස නම්
බුුදුන් සරණ ගිය ශ්‍රාවක පිරිස ය. එකල මාතෘ මුව ධේනුව නම් රාහුල මාතාව වූ යශෝදරා
දේවීය යි. පීතෘ මුව රජුව උපන්නේ තමන් වහන්සේ යැයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක
කතාවෙන් වදාළ බව පැරැණි බණකතා ග්‍රන්ථයේ සඳහන්ව ඇත.
- නයනා නිල්මිණී |