UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. උසස් පෙළ විභාගය 2018 (අගෝස්තු) : බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර - අභ්‍යාසය (4)

අ.පො.ස. උසස් පෙළ විභාගය 2018 (අගෝස්තු) :

බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර - අභ්‍යාසය (4)

අ) බුරුම රටට බුදු දහම ලැබුණු අයුරු දක්වන්න

වර්තමානයේ මියන්මාර් යනුවෙන් ද, බුදු දහම ලැබුණු අවධියේ ස්වර්ණ භූමිය යනුවෙන් ද බුරුම රට හඳුන්වා ඇත. බුරුම රටට බුදු දහම ලැබීම පිළිබඳව විවිධ මත පවතී. ඒ මත අතර,

1. තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක රජු දවස සෝණ සහ උත්තර යන දෙනම ස්වර්ණ භූමියට වැඩම කොට බුදු දහම ලබා දුන් බව

2. බුරුමයෙන් එන පාරම්පරික ජනප්‍රවාදයන්ට අනුව එරටට බුදු දහම ලැබුණේ බුදුරදුන් ජීවත්ව සිටියදී ම ය. බුදුරදුන්ට ප්‍රථම දානය පූජා කළ තපස්සු, භල්ලුක වෙළෙඳුන් බුදුරදුන්ගෙන් කේශ ධාතු ලැබූහ. කේශ ධාතු රැගෙන යමින් සිංගුත්තර කඳු මුදුනෙහි දාගැබක තැන්පත් කළ බව මෙම ජනප්‍රවාදයෙහි එයි. දැනට ‘ස්වේදගෝන්’ ස්ථූපය නමින් මෙය දක්නට ඇත.

3. දකුණු ඉන්දියාවේ නාගාර්ජුන කොණ්ඩයේ ඇති ශිලා ලේඛනයක ‘තම්බපණ්ණි’ ප්‍රදේශයේ භික්ෂු පිරිසක් කාශ්මීර, ගන්ධාර, විලාන යන රටවල ධර්මය ප්‍රචාරය කළ බවත් එහි සඳහන් ‘විලාක’ යන්න බුරුමය බවත් හඳුනාගෙන ඇත .

ආ) බුරුමයේ ශාසන ඉතිහාසය හා බැඳී පවතින කාලපරිච්ඡේද තුන නම් කරන්න.

බුරුමයේ ශාසන ඉතිහාසය ඉගෙනීමේ පහසුව සලකා කාලපරිච්ඡේද තුනකට බෙදා දක්වා ඇත. එනම්,

1. ආරම්භයේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා වූ පුරාතන යුගය

2. 11වන සියවසේ සිට 15 වන සියවස දක්වා වූ ම ධ්‍යතන යුගය

3. 16 වන සියවස සිට මේ දක්වා වූ නූතන යුගය නමිනි.

ඉ) අනවරත රජු, ධම්මචේතිය රජු, මෙත්ඩුන් රජු යන බුරුම රජවරුන්ගෙන් එරට බුදු දහමේ ව්‍යාප්තියට සිදු වූ සේවාවන් ගෙන හැර දක්වන්න.

ඉතිහාසගත කරුණු අනුව බුරුම රටේ බුදු දහම ස්ථීරව පිහිටියේ ක්‍රි.ව 11 වන සියවසේ දී පමණ ය. පගාන් නුවර කේන්ද්‍රස්ථානය කරගෙන අනවරත රජු හෙවත් අනුරුද්ධ රජතුමා පාලනය ගෙන ගියේය. ඔහුගේ කාලයේ බුදු දහම පිරිහීමට පත්ව තිබුණි. මේ වන විට ප්‍රාදේශීය පාලකයෙකු වූ මනෝහරී නම් රජු වෙත සර්වඥ ධාතු හා ත්‍රිපිටක ග්‍රන්ථ රැසක්ම පැවැති අතර එම පොත්පත් ආදිය ඔහුගෙන් ලබා ගන්නා ලෙස ෂින් අරහන්ත භික්ෂුව රජුගෙන් ඉල්ලා සිටියහ. කටපුරා අලංකාර දාගැබ් (පැගෝඩා) ඉදි කළහ. උත්තරජී හා චප්පට යන භික්ෂූන් ලංකාවට එවා ත්‍රිපිටක ධර්මය පුළුල් ලෙසින් අධ්‍යයනය කරනු ලැබී ය. මෙම භික්ෂූන්ගේ මැදිහත්වීමෙන් සීහල සංඝ නමින් භික්ෂු පරපුරක් ද ආරම්භ කළහ.

අනවරත රජු මෙන්ම බුරුමයේ ක්‍රි. ව 15වන සියවසේ මැද භාගයේ දී පමණ රාජ්‍යත්වයට පත් ධම්මචේතිය රජු බුදු සමයේ උන්නතියට ක්‍රියා කළ අයෙකි. බුරුම රටෙහි උපසම්පදා භික්ෂුන් නොවූයෙන් එවකට ලක්දිව පාලකයා කෝට්ටේ හතරවන බුවනෙකබාහු රජුගේ අනුග්‍රහයෙන් බුරුමයෙන් පැමිණි භික්ෂු පිරිසක් උපසම්පදාව ලබා එරටට ගොස් කල්‍යාණී සීමා යනුවෙන් පොහොය ගෙයක් කරවා බුරුම භික්ෂූන් එහි දී උපසම්පදා කරනු ලැබී ය. මෙන්ඩුන් රජුගේ සමය ද වැදගත් කාල පරිච්ඡේදයකි. බුරුම බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස ද මෙම කාලය හඳුන්වනු ලැබේ. හතරවන සංගායනාව ඔහුගේ කාලයේ දී පවත්වන ලදී. සංශෝධිත ත්‍රිිපිටකය කිරිගරුඬ පුවරු 723ක කොටවා ලෝක මාරජී ස්ථූපය වටා තැම්පත් කරවී ය. මෙම රජවරුන්ගෙන් බුරුම බෞද්ධ ඉතිහාසයට මෙවැනි සේවාවන් ඉටු වී ඇත.

ඊ) සඳකඩ පහනේ කැටයම් වලින් නිරූපණය වන සංකේතාර්ථ මොනවාදැ’යි විවරණය කරන්න.

ශ්‍රී ලාංකීය කලාකාරුවාගේ කැටයම් කලාවෙහි සුවිශේෂී නිර්මාණයක් ලෙස සඳකඩ පහන දැක්විය හැකි ය. මෙහි කැටයම් වලින් නිරූපිත සංකේතාර්ථ පිළිබඳව විද්වතුන් විවිධ මත පළ කොට ඇත.

සෙනරත් පරණ විතාරණ මහතා මෙසේ දක්වයි.

ගිනිදැල් වලින් සත්ත්වයා වෙලා සිටින කෙලෙස් ගිනි ද ඇතා, ගවයා, අශ්වයා, සිංහයා යන සතුන් හතරදෙනාගෙන් ජාති, ජරා, ව්‍යාධි , මරණ යන සතර භය ද ලියවැලින් තෘෂ්ණාව ද හංසයාගෙන්, පිවිතුරු බව , නෙළුම් මලින් බ්‍රහ්මාවාසය ද දක්වයි. මේ සියල්ලෙන් කෙලෙස් දුරුකොට නිවන් අවබෝධ කිරීමේ ප්‍රාර්ථනාවෙන් විහාරය ද ඇතුළත් වන බව ඔහු අදහස් කරයි.

වින්සන්ට් ස්මිත් සහ එච්, සී , පී බෙල් යන දෙපළගේ මතය නම් ඇතා , අශ්වයා, ගවයා, සිංහයා යන සතුන් හතර දෙනාගෙන් උතුරු, නැඟෙනහිර, දකුණ, බටහිර යන සතර දිශාව නිරූපණය කරයි. ඒ අනුව මේ ස්ථානය සතර දිගින් එන සියලු දෙනාටම විවෘත වන බව කියැවේ .

මහාචාර්ය විණී විතාරණ මහතාගේ අදහස

සඳකඩපහන සූර්යයා හා චන්ද්‍ර යන දෙදෙනා පිළිබඳ ව විශ්වාසයට ද එහි සංකේත සශ්‍රීකත්වය පිළිබඳව ඇදහීමට ද සම්බන්ධ වේ. පද්මය, සෞඛ්‍ය, වාසනාව, සුන්දරත්වය, සශ්‍රීකත්වය, දේවත්වය, පුනර්ජීවනය හා පවිත්‍රත්වය පිළිබඳ සංකේතයකි. ලියවැල සියලු වෘක්ෂලතාවල ජීවය සංකේතවත් කරයි. හංසයා හිරු ය. බ්‍රහ්මගේ වාහනය ද වේ. පිරිසුදුකමේ සංකේතය යි. ඇතා, ඉඳුරු දිශාවට අධිපති ඉන්ද්‍රගේ වාහනය යි. සිංහයා, සූර්ය දිව්‍ය රාජයා ධරමවජගේ කොඩියේ සංකේතය යි. සිංහයා සූර්යයාගේ සංකේතයක් ද වේ. අශ්වයා හිරුගේ වාහනය යි. චන්ද්‍ර දෙවියාගේ රිය ඇදගෙන යන්නේ සුදු ගොනුන් විසිනි. කෘෂිකර්මය හා පුනර් නිෂ්පාදනය සංකේතවත් කරයි. පිට රවුමේ පලා පෙති මෝස්තරය, ගින්න සංකේතවත් කරයි. සඳකඩ පහනේ මැද විවෘත අර්ධ කවාකාර ය.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]