ඇසළ පුර අටවක 2018.07.19
ගුණ ධර්ම අගයමු
අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනයත් සමඟ අපට දායාද වූයේ තථාගතයන් වහන්සේ
පන්සාළිස් වසක් පුරා ලෝක සත්ත්වයාගේ හිත පිණිස, සුව පිණිස දේශනාකොට වදාළ ශ්‍රී
සද්ධර්මය පමණක් නොවේ. සම්බුදු දහමින් සුපෝෂිත වූ අපූර්ව සංස්කෘතියක් ද නිර්මාණය වූ
අතර බොහෝ දෙනා එය හෙළ සංස්කෘතිය ලෙස ව්‍යවහාර කළහ. ඒ සංස්කෘතිය තුළ ප්‍රධාන අංගයක්
ලෙස, බුදුරජාණන් වහන්සේ සදිසා නමස්කාරයේ දී දේශනා කොට වදාළ මවුපිය - දූදරු, ස්වාමි
- භාර්යා, ගුරු - සිසු, ස්වාමි - සේවක, ගිහි -පැවිදි යන සමාජ කණ්ඩායම් අතර ගොඩ
නැගුණ ශක්තිමත් පදනම සමස්ත සමාජයක සුරක්ෂිත බව ද, පැවැත්ම ද, දියුණුව ද ඇති කළේ ය.
මෑත ඉතිහාසය වන තුරුම දම්වැලක පුරුක් සේ එකිනෙකාට බැඳී සිටි එම සමාජ සාමාජිකයන් සිය
යුතුකම්, වගකීම් පැහැර හැරියේ නැත. එක් පැත්තකින් අහස උසට බැඳී වෙහෙර විහාර, සාගරය
පරයන මහා වැව්, සහලින් පිරුණු අටු කොටු ආදී මේ සියල්ල ඒ සවි ශක්තිමත් බවේ ම වක්‍ර
දායාදයන් බව අවිවාදිත ය.
දම්වැලක එක් පුරුකක් හෝ ගිලිහී ගියේ නම්, ඉදිරියට යාමක් නැත. ගමන නවතින්නේ ය. පවුල්
සංස්ථාවේ සිට මුළු සමාජය දක්වා දම්වැලක් සේ බැඳි විවිධ චරිතයන් නියෝජනය කරන කවරෙක්
වුවද තමන්ගේ යුතුකම. වගකීම පැහැර හැරිය තැන ඒ සමාජය තුළ ප්‍රශ්න, ගැටලු අඩු නැත.
විවිධ සමාජ සාමාජිකයන් අතර, සමාජ කණ්ඩායම් අතර වර්තමානයේ අප අත් දකින බොහෝ අනර්ථ
සාකච්ඡාවට බඳුන්විය යුතු ව්‍යසන තරමට ප්‍රබල ය. එදා අනුබුදු මිහිඳු මා හිමියන්ගේ
ආගමනයත් සමඟ අපට උරුම වූ හෙළ සංස්කෘතිය ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින බවට බොහෝ දෙනා
චෝදනා කරනු පෙනේ. එහෙත් චෝදනාවෙන්, මැසිවිලි නැගීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුමක්
නොලැබේ. අතීත සමාජය සුරක්ෂිත කළ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය කළ ගමත් - පන්සලත්, වැවත්,
දාගැබත් යන උදාර සංකල්පය නැවත ගම තුළ ක්‍රියාවට නැඟිය යුතුව තිබේ. පන්සලේ වැඩ සිටින
ස්වාමීන් වහන්සේලාත්, ගමේ වැඩිහිටි, තරුණ, බාල සැමදෙනාම අතර ද ඇති කරන ගෞරවනීය
බැඳීම තුළින් සාර ධර්ම හඳුනන, අගය කරන සමාජයක් ගොඩනැඟීමට සැලසුම් මතුවට නොව අද අදම
සකස් කළ යුතුව තිබේ. මෙහිදී භික්ෂූන් වහන්සේ ප්‍රමුඛත්වයේ ලා ගැනෙන්නේ ධර්මානුකූල
ජීවිතය තුළින් ලබා දෙන ධර්මෝපදේශ හා අනුශාසනාවන්ට පමණක් නොව, භික්ෂූන් වහන්සේ නමක්
ලෙස ගැමි සමාජයේ ගෞරවයටද පිළිගැනීමට ද ලක්වන නිසා ය. උන්වහන්සේගේ කල්‍යාණ මිත්‍ර
ඇසුර තුළ වැරැදි මග යන්නා තුළ ඊට පැකිළීමක් ඇති වේ. ලජ්ජාවක් බියක් ඇතිවේ. සමාජයේ
යහ පැවැත්මට ඒ තුළින් ලැබෙන පිටිවහල වෙසෙස් ය. මේ සම්බන්ධව බෞද්ධ ගිහි සමාජය තුළ
මෙන් ම භික්ෂූන් වහන්සේ තුළ ද යම් කතිකාවතක් නිර්මාණය වීම කාලීන යැයි හැඟේ.
බෞද්ධ ගිහි සමාජයට ද මෙහිදී විශාල වගකීමක් පැවරේ. භෞතිකව කොතෙක් දියුණුව ලැබූව ද ඒ
භෞතික සම්පත් ළඟා කර ගන්නට යන ගමන තුළ මිනිස්කමට නොගැළපෙන දේ සිදුවේ නම්, ඒ
පිරිහීමේ ලකුණු මිස දියුණුවක් යැයි අර්ථ ගැන්විය නොහැකි ය. වයෝ වෘද්ධ මව්පියන්
මහපාරේ තනිකර යනවා නම් , කාන්තාවකට, දැරියකට, තරුණියකට මඟ තොට අනාරක්ෂිත නම්, ගෙදර
එකතුවන කුණු කසළ ටික මහ පාරට ගෙනැවිත් දමනවා නම්, වංචාවෙන් අනුන්ගේ දේ කඩා වඩා
ගන්නවා නම්, අනෙකාගේ දුකේ දී සංවේදී බවක් නොවන්නේ නම්, තමන්ගේ යුතුකම් වගකීම් මඟ
හරිනවා නම් එවැනි සමාජයක් දියුණු වන්නේ කෙසේද?
තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලයට වඩා අනුන්ගේ ඇහේ තිබෙන පොල් කෙන්ද පෙනෙනවා යනු ජන
වහරේ උපන් කියමනකි. දහසක් වැරැදි තමන්වෙත තිබුණ ද අනුන්ගේ වැරැදි සෙවීම ඇතැමුන්ගේ
පුරුද්ද ය. දැන් ඒ පුරුදු අත්හළ යුතුව තිබේ. පළමුව තමන් තමන්ට අවංකව නිවැරැදි විය
යුතු වේ. එවිට සමාජය ද නිතැතින් ම නිවැරැදි වේ.
නිවැරැදි මඟ යන්නට අවශ්‍ය ධර්මෝපදේශ වර්තමානයේ දුලබ නැත. නිරන්තරයෙන් බණ දහම්
ශ්‍රවණයට, කියවා දැන ගන්නට අවස්ථාව තිබේ. වරද දහම් පණිවුඩය සිතට ගෙන ධර්මයෙහි
නොපිහිටීම ය. මේ වයස් භේදයකින් තොරව ඒ ගැන අවධානය යොමු කරන්නට කාලයයි.
|