UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය රද්දොළුව ලංසියාවාඩියේ දී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය රද්දොළුව ලංසියාවාඩියේ දී

සම්බුද්ධ ශාසනයේ ජීවමාන සාධකය භික්ෂූන් වහන්සේ ම වෙති. සුපේෂල ශික්ෂාකාමී වූත් ධර්ම විනයධර පින්වත් යතිවරයන් වහන්සේලා සැරියුත් මුගලන් ආදී මහ සඟ පෙළපතින් පැවැත එමින් පරපුරෙන් පරපුරට ඒ නිර්මල ශාසනය රැගෙන ආහ. අදත් ලොව පුරා විහිද විසිර වැඩ සිටින බුද්ධ ශ්‍රාවකයන් වහන්සේගෙන් ලොවට වන යහපත ගිණිය නොහැකි ය.

උන්වහන්සේලා ත්‍රිවිධ රත්නය ද බුදු සසුනට අයත් විවිධ සම්ප්‍රදායන් හා ස්ථානයන් ද ආරක්ෂාකර ගනිමින් සම්මා සම්බුද්ධ ශාසනය චිරස්ථායී කරනු පිණිස ගනු ලබන උත්සාහය බෙහෙවින් අගය කළ යුත්තකි. අනාගතයට ද එවන් කෞෂල්‍යන්ගෙන් පරිපූර්ණ වූ ව්‍යක්ත,විිශාරද, බහුශ‍්‍රැත, ධර්මානුධර්ම පටිපන්න, විනයානුලෝමී භික්ෂූ පිරිසක් අත්‍යවශ්‍ය ය.

එබඳු භික්ෂුවගේ සම්පූර්ණ උපත උපසම්පදාවට පත් වීම ය.ි මෙහිදී සාමණේර භූමියෙන් ඉහළට ගොස් ආදී බ්‍රහ්මචරියක ශික්ෂාවන්ගේ උපරිමයට පත්වන උන්වහන්සේට බුද්ධ ශාසනයේ නිත්‍ය සාමාජිකත්වය ලැබීමේ අවස්ථාව ද උදාවන අතර ශාසනික හා සමාජීය වශයෙන් වටිනා අගයක් මෙන් ම නොබිඳිය හැකි වගකීම් රැසක් පැවරෙනු ඇත.

මෙවන් සම්පත් සසුනට දායාද කරනු වස් අප ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවට අයත් උපසම්පදාපේක්ෂකයන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන උපසම්පදා විනයකර්මය හා එහි චාරිත්‍ර විධි ඇතුළත් උත්සවය මෙවර ද පැවැත්වෙන්නේ රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරයට අයත් ලංසියාවාඩිය විමල විහාරාසන්න අත්තනගලුඔය සීමා මාළකයේ දී ය. මේ උත්තුංග වූ සාසනික කාර්යය දැන් වසර කිහිපයක සිටම සිදුවන්නේ ඉහත සඳහන් විහාරයන්හි විහාරාධිපති අප සංඝ සභාවේ අනුනායක ධූරන්ධර ප්‍රවීණාචාර්ය රද්දොළුවේ විමලවංස මහා ස්ථවීර පාදයන් වහන්සේගේ පූර්ණ අනුශාසනා හා කැපවීම මත ය. උන්වහන්සේ හා තත් විහාරීය හිමිපාණන් වහන්සේලා මෙන් ම පින්වත් දායක පිරිස ද මේ සඳහා මහත් වෙහෙසී කටයුතු කරන අතර ඒ සියලු දෙනාටම අපගේත් අප සංඝ සභාවේත් ආශිර්වාදය නිතැතින්ම හිමිවන බව ද පුණ්‍යානුමෝදනා පූර්වකව කරුණාවෙන් සිහිපත් කරනු කැමැත්තෙමි.

මෙවර ඒ සඳහා සාමණේරයන් වහන්සේලා පුහුණු කිරීමේ කටයුතු මෙම ජූලි මස 13, 14, 15, 16 යන දිනයන්හි දී මහනුවර අනිවත්තේ පාරමිතා ධර්මායතනයේ දී ද පැවිදි කිරීමේ උත්සවය ජූලි මස 21 වන සෙනසුරාදා දින පෙරවරු 8.00ට රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහාවිහාරස්ථානයේ දී ද පැවැත්වේ. එදින පස්වරු 12.30ට උපසම්පදාපේක්ෂකයන් වහන්සේ සීමා මන්දිරය පිහිටි විමල විහාර භූමිය වෙත වැඩම වීමේ දර්ශනීය පෙරහර එම රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතව ඇත.

බුද්ධ ශාසන,තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන් ද, විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සව සභාව මෙවර මෙම උපසම්පදා මහෝත්සවයේ විශේෂ අවස්ථාවකි. මෙහි දී නව විහාරාරාංගයන් විවෘත කිරීම ද බුද්ධ ශාසන අමාත්‍යතුමන් විසින් උපසම්පදා පේක්ෂකයන් වහන්සේ වෙත සහතික පත් ප්‍රදානය ද සිදු කිරීමට නියමිතව ඇත.

මෙයට වසර දහයකට පමණ පෙර දී මෙම සීමා මාලකය සාදවා පූජා කිරීමේ කටයුතු දිවංගත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන්ගේ පූර්ණ දායකත්වයෙන් සිදුවීම සිහිපත් කිරීම සඳහා තනවන ලද විශේෂ සමරු ඵලකය විවෘත කරමින් එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම ද මෙතෙක් මෙම සාසනික කාර්යයන් වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය වෙත ආශිර්වාද කිරීම ද කෘතවේදී සත්පුරුෂ අවස්ථාවන් බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන රද්දොළුවේ විමලවංස අනුනායක මහාස්ථවිර පාදයන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍යයන් නේවාසික සියලු දෙනා වහන්සේටත්, දායක කාරකාදී පින්වත් හැමදෙනාටත් නිදුුක් නිරෝගී සම්පත් වේවායි ප්‍රාර්ථනා කරන අතර අපවත්වී වදාළ තත් විහාරාධිපතිව වැඩ විසූ රද්දොළුවේ අමරවංස අනුනායක මහා ස්වාමී පාදයන් වහන්සේ ප්‍රධාන සංඝ රත්නයටත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමන් ඇතුළු අපෙන් වෙන්වූ දායක කාරකා දී සියලු දෙනාට නිර්වාණ ශාන්තිය ම වේවා’යි කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරම්හ.


අමරපුර පාර්ශ්වය

1810 දී අමරපුර නිකාය පිහිටුවන ලද අතර කතළුවේ සිරි ගුණරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් එය ව්‍යාප්ත විය. මුල් අවධියේ දී එය ඹහැඳින්වූයේ අමරපුර සමාගම යනුවෙනි. එම අමරපුර නිකායේ මූලස්ථානය අම්බලන්ගොඩ ශ්‍රී සුනන්ද්‍රාරාම මහා විහාරයයි. ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව එම අමරපුර නිකායේ පාලක මහා සංඝ සභාව යි.

අමරපුර නිකායේ ආරම්භය, බු.ව. 2354 (භාවිත වර්ෂ: 1810)

අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා

කතළුවේ ගුණරතන තිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1810-1832), බටපොල කල්‍යාණතිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1832-1841), කොග්ගල සුසම්මත ධම්මසාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1841-1855), මිරිස්සේ ධම්මානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1855-1877), උඩුගල්පිටියේ සිරිසුමනතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1877-1883), කාරක සංඝ සභා පාලනය(1883-1894), දොඩම්දූවේ සිරි පියරතන තිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ - වැලිගම සිරි සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (සම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා(1894-1907), කාරක සංඝ සභා පාලනය ( 1907-1911), වල්පිට ගුණරතන තිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ -අම්බලන්ගොඩ ශ්‍රී සංඝානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (සම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා (1911-1924),කාරක සංඝ සභා පාලනය (1924-1928), අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1928-1936), බේරුවල ශ්‍රී සුමංගල සිරිනිවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1936-1969), කහඳාමෝදර චන්ද්‍රකීර්ති ශ්‍රී පියරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1969-1975), අම්බලන්ගොඩ ධම්මකුසල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

( 1975-1984), වැලිගම සුමනරංසි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1984-1998), අම්බලන්ගොඩ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1998-2017), කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (2017සිට)

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]