පරමත්ථ පාරමිතා:
සම්මා සම්බුද්ධත්වය පිණිස...
ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ,
පාලි අධ්‍යයන අංශාධිපති
ආචාර්ය
මොරගොල්ලාගම උපරතන හිමි
තණ්හා, මාන, දිට්ඨි දුරු කිරීම පිණිස කරුණාව සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව පුරනු ලබන
දානාදී ගුණ ධර්මයෝ පාරමිතා නම් වේ.
සම්මා සම්බුදුවරයෙක් වීම සඳහා පිරිය යුතු ගුණ ධර්ම බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමිතා
නමින් හැඳින්වේ. ඒ පාරමිතා දහයක් ඇත. ඒවා නම් දාන පාරමිතාව, ශීල පාරමිතාව,
නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍ය
පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාවය. එයින් එක් එක්
පාරමිතාව පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා යන භේදයෙන් තුන් වැදෑරුම් වීමෙන්
පාරමිතා තිහක් බවට පත් වේ.
සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා ඉහත සඳහන් පාරමිතා තිහම සම්පූර්ණ කළ යුතු ය.
දාන පරමත්ථ පාරමිතාව
තමාගේ ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමත්ථ පාරමිතාව නමින් හැඳින්වේ. උසස් දාන
පාරමිතාව යනු එහි තේරුමයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගෙන් විමසනවා තමන්ට වටිනාම දේ කුමක්ද? කියා.
කෙනෙකුට වටිනාම දේ තමන්ගේ ජීවිතයයි. ඒ වටිනාම දේ පරෝපකාරය උදෙසා පරිත්‍යාග කිරීම
දාන පරමත්ථ පාරමිතාවයි.
ශීල පරමත්ථ පාරමිතාව
යමෙකුට ජීවිතය නැසුනත් ශීලය නොකැඩෙන තරමේ අධිෂ්ඨාන ශක්තියක් ඇත්තේ නම් ඔහුගේ ශීලය
ශීල පරමත්ථ පාරමිතාව නම් වේ. ඇතැම් පින්වතුන්, ධම්මකතිස්ස රජතුමාගේ අණට කීකරු නොවී
කුකුළා මැරීම නො කළ උපාසකතුමා මෙන් ද, පිඹුරා ශරීරය වෙළන කල්හි අත තිබූ කැත්ත ඈතට
වීසි කර ශීලයම ජීවිතයට වඩා උසස් කොට රැකි ගොවියා මෙන් ද, සිල් රකියි. ජීවිත
පරිත්‍යාගයෙන් රකින්නා වූ ඒ ශීලය ශීල පරමත්ථ පාරමිතාවයි.
නෙක්ඛම්ම පරමත්ථ පාරමිතාව
කාම වස්තූන්ගෙන් බැහැරව සිට ජීවිතය රැක ගන්නට නොහැකි තත්ත්වයක් පැමිණියත් ජීවිතය
නැති වන්නට හැර කාම වස්තූන්ගෙන් බැහැරව සිටීමට ඇතිකරගන්නා වූ බලවත් අධිෂ්ඨානය
නෙක්ඛම්ම පරමත්ථ පාරමිතාවයි.
චූලසුතසෝම ජාතකයේ චුලසුතසෝම රජු තමන්ට ලැබුණු මහා රාජ්‍ය අළුයම ලූ කෙළ පිඬක් සේ
සලකා අත් හැරියේ ය.
ප්‍රඥා පරමත්ත පාරමිතාව
තමාගේ වස්තුව හා අඹු දරුවන් හැර නෑ මිතුරන් හැර ශරීරාවයන් ගැනත්, ජීවිතය ගැනත්
නොතකා ප්‍රඥා සම්පාදනය සඳහා ආරණ්‍යයට වැදී භාවනා කරන යෝයාවචරයාගේ ඒ ක්‍රියාව ප්‍රඥා
පරමත්ථ පාරමිතාව නමින් හැඳින්වේ.
වීර්ය පරමත්ථ පාරමිතාව
ජීවිතය නිසා ද නො නවත්වන ඉතා බලවත් වීර්යය, වීර්ය පරමත්ථ පාරමිතාව ය. පීතිමල්ල
තෙරුන් වහන්සේ දඹදිවින් මෙහි අවුත් ආරණ්‍ය සේනාසනයක සක්මන් කරමින් භාවනා කළහ.
සක්මන් කිරීමෙන් පතුල් ගෙවී ගොස් එසේ කළ නොහැකි වූ විට වීර්යය මදකුදු ලිහිල් නොකොට
දණින් සක්මන් කරමින් භාවනා කළහ. එසේ භාවනා කළ උන්වහන්සේට මුව වැද්දෙක් රාත්‍රියේ
අන්ධකාරයේ මුවෙකැයි සිතා පහර දුන්නේ ය. උන්වහන්සේ එයින් ද වීර්යය අත් නොහළහ. ශරීරය
ගැන අපේක්ෂාව අත්හැර මහත් වූ වීර්යයෙන් භාවනාවෙහි යෙදී රහත් බව ලැබූහ.
ක්ෂාන්ති පරමත්ථ පාරමිතාව
ජීවිත පරිත්‍යාගයෙන් කරන ඉවසීම ක්ෂාන්ති පරමත්ථ පාරමිතාවයි.
මහ බෝසතාණන් වහන්සේ ක්ෂාන්තිවාදී තාපස කාලයේ දී කලාබු රජු විසින් බෝසතාණන් වහන්සේට
පහර දෙදහසක් කසයෙන්, තළවා, අත්, පා, නාසය ද සිඳවන ලදී. එකල්හි බෝසතාණන් වහන්සේ යම්
රජෙක් මාගේ අත්, පා, කන්, නාසා සිඳ වී ද, ඒ රජ බොහෝ කල් ජීවත් වේවා. මා වැන්නෝ
නොකිපෙතයි වදාළහ.
සත්‍ය පරමත්ථ පාරමිතාව
සත්‍ය පැවසුවහොත් ජීවිතය හානි විය හැකි අවස්ථාවලදී ජීවිතය රැක ගැනීමට හෝ බොරු
නොකියා සත්‍යම කීමත්, පොරොන්දු ඉටු කළහොත් ජීවිතය හානි විය හැකි අවස්ථාවලදී ද
ජීවිතය රැක ගැනීමට පොරොන්දු කඩ නොකොට සත්‍යයෙහි පිහිටීම සත්‍ය පරමත්ථ පාරමිතාව
නමින් හැඳින්වේ.
අධිෂ්ඨාන පරමත්ථ පාරමිතාව
ජීවිතය රැක ගැනීම උදෙසා හෝ නො කඩන්නා වූ අධිෂ්ඨානය අධිෂ්ඨාන පරමත්ථ පාරමිතාවයි.
තේමිය කුමරාට මහණ වීමට කැමැත්තක් ඇතිවිය. රජ ගෙදරින් ඒ සඳහා අවසරය නොලැබෙන බව
වැටහුනි. බෝසතාණෝ, රජ ගෙදරින් බැහැර කරනතුරු ගොළුවකු බිහිරකු කොරකු සේ විසීමට
දැඩිව් අධිෂ්ඨාන කර ගත්තේ ය. මේ ගොළුවත දුරුකිරීම සඳහා ගින්නෙන් රත් කිරීම් ආදි
නොයෙකුත් දුක් දුන්හ. මව්පියෝ නොයෙක් ආකාරයෙන් ඇවිටිලි කළහ. එහෙත් අධිෂ්ඨානය වෙනස්
නොවීය. අවසානයේ උන්වහන්සේ කතා කළේත්, ඇවිද්දේත් රජ ගෙදරින් බැහැර කළ පසු ය.
මෛත්‍රී පරමත්ථ පාරමිතාව
තමාගේ දිවි තොර කරන්නාවුන් කෙරෙහිත් නො කිපී පවත්වන මෛත්‍රිය මෛත්‍රී පරමත්ථ
පාරමිතාවයි.
උපේක්ෂා පරමත්ථ පාරමිතාව
තමන්ගේ ජීවිතයට හානි කරන්නාවූ ද, දිවි රැක ගැනීමට උපකාර කරන්නාවූද සෑම දෙනා කෙරෙහි
ඒකත්වය උපේක්ෂා පරමත්ථ පාරමිතාවයි.
ලෝමහංස ජාතකයේ දී මහ බෝසතාණන් වහන්සේගේ උපේක්ෂා පරමාර්ථ පාරමිතාව වැඩි දුරටත්
තේරුම් ගත හැකියි.
සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම ඒ තුළින් දෙව්, මිනිස්, බඹුන්, මරුන් සහිත
සියලු සත්ත්වයා වෙත සෙත සැලසීම සඳහා තමාගේ දිවි පරදුවට තබා ක්‍රියා කිරීම පරමාර්ථ
පාරමිතා ලෙස සඳහන් කළ හැකි ය.
- අයන්ති විතාන |