මැදින් අමාවක 2018.03.17
විධිමත් විවිධත්වයක්...
තමන් කළ, කී දේ ගැන පසුවට පසුතැවිලි වන්නට වනවා නම්, හඬා දොඩා වැළපෙන්නට සිදුවෙනවා
නම්, එවැනි දේ කිරීමෙන් වළකින ලෙස බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළහ. ඕනෑම දෙයක්
කරන්නට, කියන්නට පෙර දෙතුන් වතාවක් හොඳින් සිතා බැලිය යුතු වන්නේ එහෙයිනි.
සත්ත්වයන් අතර මනසින් උසස් මනුෂ්‍ය වර්ගයාට එය අපහසු නොවන්නේම ය. එහෙත් බොහෝ දෙනෙක්
හුරු පුරුදුව සිටින්නේ කළ කී දේ ගැන පසුතැවෙමින්, වැරැදි නිවැරැදි කරගන්නට යාමට ය.
අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නොවන්නේ ය. ඇතැම්විට අප කරන කියන දේ නැවත
නිවැරැදි කර ගන්නට බැරි තරමට වැරැදී අවසන් ය.
එක්කෝ එයින් ඉතිරි වූ අඳුරු පැල්ලම් තමන්ට පමණක් නොව හතර වරිගයට ද, එයින් ඔබ්බට
මුළු රටට ද අහිතකර බලපෑම් ඇති කරන්නේ ය. ජීවිතයට ශික්ෂණයක් ඇවැසි මෙවැනි දෙයින්
වළකින්නට ය. පමණට ජලය දමා හොඳින් පදම් කළ මැටි ගුලිය කැමැති ලෙස හසුරුවා
ප්‍රයෝජනයක් ඇති වටිනා නිමැවුමක් බවට පත් කරන්නට පුළුවන. එහෙත් මැටි පිඬ වියළුණු
පසුව නම් ඒ උත්සාහය ඵල රහිත ය. මිනිස් දරුවා ද ශික්ෂණය කළ යුතු වැඩිහිටියෙකු වීමට
පෙර ය. බාහිර පරිසරයෙන් ඇස ගැටෙන අප්‍රමාණ විප්‍රකාරවලින් සිත පුරවා ගන්නට,
ව්‍යාකූල කර ගන්නට පෙර ය.
තම තමන් ම යහපත් දේ කරකියා ගත යුතු ය. යහපත් මාර්ගයෙහි ගමන් කළ යුතු ය. තථාගතයන්
වහන්සේ ඒ සඳහා අවශ්‍ය මාර්ගය අපට පහදා දී ඇත. කළ යුතු වන්නේ ඒ මඟ පිළිපැදීම ය.
මිනිසුන් විවිධාකාර ය. ගතිගුණ, අදහස් උදහස්, හැසිරීම් රටාවන්, අවශ්‍යතාවන්
එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් ය. ඔවුනොවුන් සමඟ ජීවත් වීමේ දී ප්‍රශ්න, ගැටලු,
උද්වේගකර අවස්ථා පැමිණීම සාමාන්‍ය ලෝක ස්වභාවය යි. විසල් සමාජයේ පමණක් නොව එහි කුඩා
ම ඒකකය වන පවුලතුළ පවා ගැටුම් ඇතිවීම සාමාන්‍ය ය. දැනුම් තේරුම්බව, විනය, ශික්ෂණය
ඇවැසි ඒ සියලු දේට මැදි නොවී සාමකාමීව ජීවත් වීමට ය.
අන්‍යෝන්‍ය සුහදබවින්, එකිනෙකා තේරුම් ගනිමින්, ඔවුනොවුන්ට උපකාරවත් වන අයුරින්,
කරදරකාරී නොවන ලෙසින්, ගෞරවයෙන් ජීවත්වීම ආරම්භ කළ යුතු වන්නේ පවුලතුළිනි. අම්මා
තාත්තා දරුවන් ඉදිරියේ රණ්ඩු දබර කර ගන්නවා නම්, කතා බහෙන්, සුහදව ගැටලුවක් විසඳා
ගන්නට ඉවසීමක් නොවේ නම්, පොදු සමාජය තුළ ද ඔවුන්ගේ හැසිරීමෙහි වෙනසක් නොවන්නේ ය.
අවස්ථාව එළඹි සැණින් අසංවරකම් ඉදිරියට එන්නේ ය.
ගෙදරක සහෝදර සහෝදරියන් බෙදා හදාගෙන ජීවත් වන්නට, ඔවුනොවුන්ගේ දුක සතුට බෙදා හදා
ගන්නට ඉදිරිපත් නොවන තැන පිටස්තර අය සමඟ එවැනි ගනුදෙනුවක් කෙලෙස නම් සිදුවේද? මේ
සමාජයේ අපට තනි පුද්ගලයන් ලෙස ජීවත් විය නොහැකි ය. දම්වැල් පුරුක් සේ අප ඔවුනොවුන්
හා බැඳී සිටිමු.
විවිධත්වයෙන් යුතු වූ තරමට ඒ දම්වැල ශක්තිමත් ය. අලංකාර ය. නේක පැහැ වර්ණයන්ගෙන්
ගෙතූ මල්දමක් සේ ය. සුවඳවත් ය. මන බඳින්නේ ය. ඒ විවිධත්වය තුළ සාධාරණත්වය, ගෞරවය
ආරක්ෂා විය යුතුම ය. එය ශික්ෂණය තුළින් ඔප් නැංවෙන්නකි.
අපේ බුදුරජාණන් වහන්සේ උතුම්ම තපස ලෙස දේශනා කොට වදාළ ඉවසීම, කරුණාව, දයාව,
මෛත්‍රිය ශික්ෂණය වීමේ මූලිකාංගයන් ය. මෙත්තා කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ ඇති
පින්වත් මවුපියන්ට තමන්ගේ දරුවන් ඒ ගුණ දහම්වලින් ශික්ෂණය කිරීම අපහසු නොවන්නේ ය.
ඒ සඳහා ඇවැසි වන්නේ යථාවබෝධය හා ඕනෑකම ය. රටේ අනාගතයේ විධිමත් බව ද සාර්ථකත්වය ද,
රැඳෙන්නේ ඒ උත්සාහය මත ය.
|