UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උප පාරමිතා: මල්වතු මහා විහාරීය කාරක සංඝ සභික

උප පාරමිතා:

අතහැරීමේ සහනය ...

පාරමිතා දහයකි. ඒවා දස පාරමිතා යනුවෙන් හැඳින්වේ. දස පාරමිතා දහය නැවත කොටස් තුනකට බෙදේ. පාරමිතා, උප පාරමිතා සහ පරමත්ත පාරමිතා යනුවෙනි. මෙහි උප පාරමිතා යනුවෙන් හඳුන්වන්නේ තම ශරීරාංග කැප කරමින් පූරණය කරනු ලබන පාරමිතාවයි. දාන පාරමිතාවේ උප පාරමිතා යනුවෙන් හඳුන්වන්නේ බුදුබව ප්‍රර්ථනා කරමින් ම තම ශරීර අවයව දන් දීමයි. බෝසතුන් දාන උප පාරමිතා වැඩූ ආකාරය දක්නට ලැබේ.

අප බෝසතුන් සිරි රට අරිට්ඨපුර නුවර දුගී මගී යාචකයන්ට නිරන්තරයෙන් දන් දෙන්නේ “කෙනෙක් පැමිණ මාගේ ඉස් ,මස් ,ඇස් ,ලේ ආදී කිසියම් අවයවයක් ඉල්ලන්නේ නම්, මම ඔහුට ඉල්ලන හැම දෙයක්ම දන් දෙන්නෙමි”යනුවෙන් සිරි රජතුමාට අදහසක් පහළ විය.

ශක්‍රයා එම අදහස පරීක්ෂා කරනු කැමැතිව අන්ධ බමුණකුගේ වේශයක් මවාගෙන රජතුමා ඉදිරියේ පෙනී සිටිමින් “තමන්ට එක් ඇසක් දන් දුන මැනවැයි”කියමින් ඉල්ලා සිටියේ ය. මෙයින් සිරි රජතුමා තම අදහස සපල වන්නේ යැයි සිතා ඉතා සතුටින් වෛද්‍යවරයෙකු ගෙන්වා ඇස් දෙකම ගලවා මහලුව අන්ධ වේෂයෙන් සිටි ශක්‍රයාට දන් දුන්නේය. මෙසේ පරිත්‍යාගශීලීව කටයුතු කිරීමෙන් උප පාරමිතා පිරීමට පහසු වේ.

එවැනි පරිත්‍යගශීලි බව ලෞකික වශයෙන් ද යහපත් සමාජයක් ගොඩනැඟීමට ඉතා මහෝපකාරී වන්නකි. එපමණක් නොව ගැටලුවලින් තොර සමාජයකට මෙය ඉතා වැදගත් වේ.

තම ශරීර අවයව විනාශ වුවද, ශීලය කඩ නොකිරීම ශීල උප පාරමිතාවය. සිල්වත් පුද්ගලයා පවින් වැළකී ක්‍රියා කරයි. හෙතෙම සමාජ අපරාධ ක්‍රියාවලින් ඈත් වී සිටී. දස පාරමිතා අතර සඳහන් වන නෙක්ඛම්ම උප පාරමිතාව නම්, තම ශරීර අවයව නැති වුවත්, කාමයන්ගෙන් වෙන් වී සිටීම ය.

පුද්ගලයා නිරන්තරයෙන්ම පස් ඉඳුරන් පිනවීමට දක්වන්නේ මහත් අභිරුචියකි. එයින් තමන් මෙලොව පරලොව වශයෙන් මහත් ව්‍යසනයන්ට පත් වේ. එයින් ඉවත්වීම තුළින් ඇතිවන සහනය ඉතා වැදගත් ය. තමන් පිළිබඳ පමණක් නොව ලෝකය ගැන අවබෝධ කරගැනීමට ප්‍රඥාව ඉතා වැදගත් වේ. මෙහි දී තම ශරීරාංග ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා උප පාරමිතා නම්න් හඳුන්වයි. යහපත් සමාජයක් ගොඩනැඟීමෙහි ලා නිවැරැදි දැක්ම ඉතා වැදගත් වේ.

ප්‍රඥා උප පාරමිතා වඩන පුද්ගලයා තුළින් එය සිදුවන්නකි. ප්‍රඥා උප පාරමිතාව වඩන පුද්ගලයාට තම ඉලක්කය කරා යාමේ වීර්යය අනිවාර්යෙන්ම තිබිය යුතු ය. මෙහි දී ශරීරාංගවලට ආශාවෙන් අත්නොහරින වීර්යය වීර්යය උප පාරමිතාව යනුවෙන් හැඳින් වේ. තම අරමුණ කරා යාමේ දී පුද්ගලයාට වීර්යය ඉතා වැදගත් වන්නකි. වීර්යයෙන් තොර වූ පුද්ගලයා පිරිහීමට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි.

තම ඉලක්කය කරා යාමේ දී ඔහුට වීර්යය පමණක් නොව ඉවසීම ද ඉතා වැදගත් වන්නකි. ඛන්ති හෙවත් ශාන්ති පාරමිතාව යනුවෙන් හඳුන්වන්නේ ඉවසීමේ පාරමිතාව ය. තම ශරීර අවයවවලට වන හානි පිළිබඳ නොසලකා ඉවසීම ඛන්ති උප පාරමිතාව ලෙස හැඳින් වේ. අප බෝසතුන් යම් යම් හිංසා පීඩා ආදියට ලක්වූ අවස්ථාවල දී තම ඉවසීම ප්‍රගුණ කළ අයුරු පැහැදිලි ය.

බෝසතුන්ගේ ශාන්තිය බැලීමට රජතුමා වදකයන් ගෙන්වා තලා පෙලා අත්පා ,කන් නාසා අදිය කැපීමේ දී තම ඉවසීම අතනොහැර සිටීමෙන් ඛන්ති උප පාරමිතාව වැඩූ අයුරු දක්නට ලැබේ.

දියුණු වන පුද්ගලයා තුළ සත්‍යගරුක බව ද අනිවාර්යයෙන්ම තිබිය යුත්තකි. තම ශරීර අවයව විනාශ වී ගියත් සත්‍යගරුකවීම සත්‍ය උප පාරමී යනුවෙන් හැඳින් වේ. තම ශරීර අවයව විනාශවී ගියත් ,අත්නොහරින අධිෂ්ඨානය අධිෂ්ඨාන උප පාරමිතාව යනුවෙන් හැඳින් වේ.

මෙත්තා යනු මෛත්‍රිය යන්න ය. තම ශරීර අවයවවලට හානි සිදු වුවද, අත්නොහරින මෛත්‍රිය වැඩීම මෛත්‍රි උප පාරමිතාව ලෙස හැඳින්වේ. උපේක්ෂාව යනු මැදහත්භාවයයි. තමන්ට හිතවත් හා කැමැති දේ වෙත පුද්ගලයා නැඹුරුවීම නිරායාසයෙන් ම සිදුවන්නකි.

එසේම තමන්ට අහිතවත් පුද්ගලයාට හා වස්තුවට නොසතුටු වීම ද, පුද්ගලයා තුළ දක්නට ලැබේ. එහෙත් මැදහත්භාවය නම්, තම ශරීර අවයව විනාශ වී ගිය ද, මැදහත්ව කටයුතු කිරීම උපේක්ඛා පාරමිතාව ලෙස හඳුන්වයි. ඉහත සඳහන් පරමිතා එකිනෙකට සම්බන්ධ වේ. ඒවා වැඩීම නිසා පුද්ගලයා තුළ කායික, මානසික සංවර්ධනයක් ඇති වේ.

ඔහුගෙන් තමාට මෙන්ම සමාජයට සිදුවන්නේ මහත් ශාන්තියකි. එවන් පුද්ගලයන් ආශ්‍රය කරන සමාජය සාමකාමී ගැටුම්වලින් තොර සමාජයක් වීම නොවැළැක්විය හැකි ය. පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවාගේ පටන් වැඩිහිටි සමාජය දක්වා එකසේ ප්‍රයෝජනවත් වන මෙම කරුණු මෙහි අන්තර්ගත ය. තමා යහපත් අරමුණු කරා ගමන් කිරීෙමි දී දස පරමිතා මෙන්ම දස උප පාරමිතා එකසේ ප්‍රයෝජනවත් ය. එම පාරමිතා ප්‍රගුණ කිරීමේ අවසන් ඵලය වන්නේ පුද්ගලයා නිර්වාණය කරා ගමන් කිරීමයි.

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]