UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතර ඉරියව්වෙහි ම සිහිය පිහිටුවමු

සතර ඉරියව්වෙහි ම සිහිය පිහිටුවමු

"බොහෝ දෙනා අවමඟුල් උළෙලකට සහභාගී වූවිට හැඬීම , වැළපීම බොහොම වැඩියි. එයට හේතුව භාවනාවෙන් සිත දියුණු නො කිරීම යි. සාමාන්‍යයෙන් හැඬීම, වැළපීම පෘතග්ජන ගතියක්. නමුත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නාමය සහ ගුණය පවසමින් හැඬීම වැළපීම එතරම් සුදුසු නැහැ. එය තණ්හාවෙන්, තරහවෙන්, මිසදිටුකමින් කරන ක්‍රියාවක්. නමුත් බුදු දහමේ සඳහන් කරන්නේ හැඬීම, වැළපීම දුරු කර ගැනීමට නුවණ භාවිත කළ යුතු බව යි. "

කුරුරට වාසීන්ට 'කම්මාස්ස ධම්ම' නම් වූ නියම් ගමක් තිබුණා. එහි වැඩම කළ බුදුපියාණන් වහන්සේ, තිස්දාහක් භික්ෂූන් වහන්සේ අමතමින් සතිපට්ඨාන සූත්‍ර දේශනාව පැවැත්වූවා. සති යනු සිහිය යි. පට්ඨාන යනු එළඹීම නොහොත් කටයුතු කිරීම යි. සිහියෙන් කටයුතු කිරීම, එළඹ සිටි සිහියට ‘සතිපට්ඨාන’ නාමය යොදා තිබෙනවා. ඒ සතර අන්තර්ගත බැවින් චතු සතිපට්ඨාන යනුවෙන් හඳුන්වයි. මේ සතිපට්ඨාන දේශනාවෙහි ආනිශංස වාරය මුලත් අගත් පැහැදිලිව ම බුදුන් වහන්සේ වදාළා.

සිහියෙන් භාවනා කරන අයට තමන් ගමන් කරන මඟ නිවන් මාර්ගය යි. විශුද්ධි මාර්ගය යි. ඒ නිවන් මඟ ගමන් කරන තැනැත්තාට සතර සතිපට්ඨානය වැඩෙන සේ භාවනා කිරීමෙන් සිත පිරිසුදු කරගන්නට පුළුවන් වෙයි. ‘සත්ථානං විශුද්ධියා’ යනුවෙන් පළමු ආනිශංසය දේශනා කළා. එනම් සත්ව සන්ථානය පිරිසුදු කිරීම යි.

එක්දහස් පන්සියයක් තරම් වූ කෙලෙසුන් සිතෙන් බැහැරකර සිත අලෝභ, අදෝශ, අමෝහ ආදී සංඛ්‍යාවට ගෙනෙනවා. චතුසන්ථානය පිරිසුදු කරගන්න වෙන ක්‍රමයක් සොයා ගැනීම ලෙහෙසි නැහැ. ඒ නිසා කවුරුත් දිනකට ටික වේලාවක් හෝ මේ සඳහන් කරනු ලබන භාවනා ක්‍රමය කරන්න ම අවශ්‍යය යි. එවිට සිහි කල්පනාවෙන් යුතුව ඇලීමක් ගැටීමක් නැතිව අවසන් ගමන් යන්නට පුළුවනි. එයට හේතුව සිත පිරිසුදු කමයි. අපිරිසුදු සිත කැළි කසළ වගෙයි. තණ්හා, වෛර , ක්‍රෝධ, මාන්න, ආදී පාපී සිතිවිලි නිසා චතු සන්ථානය අපිරිසුදු වෙනවා. භාවනා කිරීමෙන් ඒ පාපී සිතිවිලි දුරස් ව පිරිසුදු සන්ථානයක් ඇති වෙනවා.

එමෙන් ම ඇඬීම , වැළපීම දුරු කර දමනවා. භාවනා කරන යෝගියා මේ විශේෂ ආනිසංසය ලබනවා. හඬන, වැළපෙන අරමුණක් පැමිණි කල්හි ඉවසීමෙන් සිහියෙන් කටයුතු කරනවා. හැඬීම වැළපීම හැකිතාත් දුරට යටකරනවා. එය විශේෂිත අවස්ථාවක්. බොහෝ දෙනා අවමඟුල් උළෙලකට සහභාගී වූවිට හැඬීම , වැළපීම බොහොම වැඩියි. එයට හේතුව භාවනාවෙන් සිත දියුණු නො කිරීම යි. සාමාන්‍යයෙන් හැඬීම, වැළපීම පෘතග්ජන ගතියක්. නමුත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නාමය සහ ගුණය පවසමින් හැඬීම වැළපීම එතරම් සුදුසු නැහැ. එය තණ්හාවෙන්, තරහවෙන්, මිසදිටුකමින් කරන ක්‍රියාවක්. නමුත් බුදු දහමේ සඳහන් කරන්නේ හැඬීම, වැළපීම දුරු කර ගැනීමට නුවණ භාවිත කළ යුතු බව යි.

‘දුක්ඛ දෝමනස්සානං අත්ථංගමා ය’ යනුවෙන් පදයක් තිබෙයි. කායික, මානසික දුක නැති කිරීම යි. එයත් බොහොම වැදගත්. හැඬීම , වැළපීම නිසා කායික මානසික වශයෙන් අප්‍රමාණ දුක් ලැබෙනවා. දවස් ගණන් ආහාර ගන්නේ නැහැ. ක්ලාන්තව රෝහල් ගතව දවස් ගණන් එහි දුක් විඳින්න සිදු වෙනවා.

මනසට ලැබෙන්නා වූ ශෝකය සීමාවක් නැහැ. එය දෝමනස්ස යනුවෙන් හඳුන්වයි. සිත දුසිත වෙලා. සිත තැන්පත් කර ගන්න ම බැහැ. ඒ නිසා බුදු දහමෙන් සැමට ම උගන්වන්නේ සතිපට්ඨාන භාවනාව කරන විට දුක් දොම්නස් සංසිඳුවා ගන්නට පුළුවන් බවයි.

ඊළඟ ආනිසංසය වන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම යි. ‘ඤායස්ස අධිගමාය’ එනම්, නිවන් මඟට බැස ගෙන නිවන සාක්ෂාත් කිරීම යි. නිවන් මඟ යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. කුමන භාවනාවක් වුව ද සිහි කල්පනාවෙන් දියුණු කරන විට නිවන් මඟට කවුරුත් බැස ගනි යි. එවිට නිවන් මඟට බැස ගැනීම ම අපේ ගුණ ධර්ම වලට විශාල ශක්තියක්, බලයක් ගොඩනංවා ගන්නට පුළුවනි. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලින් ලැබෙන්නා වූ උතුම් සුවය නිර්වාණය වෙයි.

නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ භාවනාව විශේෂයෙන් ප්‍රයෝජනවත්. සතිපට්ඨාන සතර භාවිත කිරීමෙන්, නැවත නැවත භාවිත කිරීමෙන් ප්‍රධාන ආනිසංස හත ලැබෙන බව තථාගත ධර්මයේ සඳහන් වෙනවා. සතිපට්ඨාන සතරක් තිබෙයි. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සන සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යි. කායානුපස්සනා සතිපට්ඨානයට භාවනා කර්මස්ථාන දාහතරක් දේශනා කරනවා. වේදනානුපස්සනාවට එකයි. ප්‍රභේද වශයෙන් තුනයි. චිත්තානුපස්සනාවට ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම එක යි. ප්‍රභේද වශයෙන් දාසය යි. ධම්මානුපස්සනාවට ප්‍රධාන කර්මස්ථාන පහ යි. අන්තර්ගත කරුණු බොහොම යි.

තව ද, සතිපට්ඨාන සූත්‍රය අතිශයින් ගැඹුරු, ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ මඟින් භාවනාව ගැනම දේශනා කරනවා. ඒ නිසා එය විශේෂිත යි. පුරාතන මිනිසුන් නිතර ම සජ්ඣායනා කළා. ඒ නිසා ඒ අයට කටපාඩම් සූත්‍ර දේශනාවක්. පෝයට සිල් සමාදන් වුණ විට, රාත්‍රී කාලයේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව සජ්ඣායනා කරනවා. සමහරු අවමඟුලක දී ද සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා.

ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණොත් විශේෂයෙන් සතිපට්ඨාන දේශනාව සජ්ඣායනා කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පැහැදිලි කරන දේශනාවක්. මෘත ශරීරය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වටහා දෙනවා. එය තවත් ප්‍රකට කිරීම සඳහා සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනා කරනවා. මේ සතර සතිපට්ඨානය වැඩෙන කර්මස්ථාන විසි එකක් සූත්‍ර දේශනාවෙන් බුදුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන භාවනා අරමුණු පුළුවන් තරම් දියුණු කර ගන්නට අවශ්‍යය යි. ඉගෙන ගත්තාට පමණක් මදි. භාවිත කළ යුතු ම යි. එසේ දියුණු කර ගැනීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි යි.

ආනාපාන සතිය පළමුවැන්න යි. එය ක්‍රම දාසයකට උගන්වනවා. එතරම් දුර දිග යාම පින්වතුන්ට අපහසුනම්, ආශ්වාස ප්‍රශ්වාස දෙක සිහියෙන් ම හොඳට බලාගෙන සිටීම ම ප්‍රමාණවත්. ඒ පළමු භාවනා ක්‍රමය ලෙස සතිපට්ඨාන සූත්‍රයෙන් අපට ඉදිරිපත් කරන්නේ ආනාපාන සති භාවනාව යි. (පෙර භාවනා ලිපි මඟින් ඒ ගැන සඳහන් කළෙමු)

දැන් ඇත්තේ ඉරියාපථ මනසිකාරය යි. ඉරියව් සතරක් තිබෙනවා. ගමන් කිරීම, සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම සහ නිදා ගැනීම යි. මේ සතර ඉරියව්වෙහි ම සිහිය පිහිටුවන්නැ’යි බුදු පියාණන් වහන්සේ වදාළා. ඇවිදින විට ඇවිදින බව සිතාගෙන ම ගමන් කළ යුතු යි. සිටගෙන සිටියදීම සිටගෙන සිටින බව දැනගෙන වාසය කළ යුතු යි. වාඩිවී සිටියදී මා මේ වාඩිවී සිටින්නේ යැ’යි සිහියෙන් වාඩිවිය යුතු යි. නිදා ගැනීමේ දී ද සයන ගත ආසනයේ සිටියදී එය මෙනෙහි කළ යුතු යි යන කරුණු සතරයි. මේ අරමුණු අවස්ථා සතර කෙරෙහි සිත පිහිටුවා ගැනීම ඉරියාපථ මනසිකාරය වෙයි. එනම් ඉරියව් මෙනෙහි කිරීම යි. තවත් දෙයක් වන්නේ ‘චතු සම්පජඤ්ඤය යි’ හැම ඉරියව්වකදී ම කරන කියන දේ සිහි නුවණින් සිදු කිරීම යි. අත දිග හැරීම, අත හැකිලීම, වටපිට බැලීම, නැවත හැරී බැලීම, ආහාර අනුභව කිරීම, ස්නානය කිරීම, ඇඳුම පැළඳුම ඇඳීම, මේ හැම අවස්ථාවක දී ම සිහි නුවණ භාවිත කළ යුතු යි. සිහි කල්පනාවෙන් ආහාර ගත යුතු යි. සිහි කල්පනාවෙන් යන්න. එන්න. සිහි කල්පනාවෙන් දොර වසන්න. එසේනම්, සිහි කල්පනාවෙන් සියලු කාර්යයන් කළ යුතු යි. එය බුදු දහමේ හඳුන්වන්නේ ‘චතු සම්පජඤ්ඤ’ භාවනාව යනුවෙනි. එය බොහොම වැදගත්.

එක්තරා ස්වාමීන් වහන්සේ නමක්, පිණ්ඩපාතයේ වැඩියේ සිහි කල්පනාවෙන්. භාවනාවකින්. ඒ සිහි නුවණ කෙතරම් දියුණු දැ’යි සඳහන් කළොත් වැඩිකලක් නොගොස් ම රහත් බව ලබාගත් චරිත ද තිබෙනවා. ස්වාමීන් වහන්සේ හෙමිහිට පිණ්ඩපාතයේ වඩින විට ඇතැම් ගොවි මහතුන් ‘ස්වාමීන් වහන්සේට , අසනීපයක් දැ’යි විමසනවා. හෙමිහිට වඩිනවා. නැවතිලා ඉන්නවා. හේතුව කුමක්දැ’යි විමසනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කෙසේ හෝ සිත එකඟ කර ගත්තා. විදසුන් නුවණ ලබා මහ රහතන් වහන්සේ නමක් වූවා. එසේනම්, සිහි කල්පනාව, චතුසම්පජඤ්ඤය එතරම් ම වැදගත්.

ඒ නිසා පින්වතුන් මේ පාඩම කියවීමට පමණක් සීමා නොවී සිහි කල්පනාවෙන් නිවසේ වැඩ කටයුතු පවා කළ යුතු යි. අඩුම තරමේ නිවසේ දොර වැසීම, ඇරීම පවා සිහි කල්පනාවෙන් කරන්නේ නම්, බොහොම වැදගත්. මේ කරුණු හොඳට දැන කියාගෙන සතිපට්ඨාන භාවනාව සැවොම දියුණු කරගත්තොත්, මෙලොව, පරලොව දෙ ලොවට ම යහපත්.

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]