පංච ශීලයෙහි පෙළගැස්ම
මාකඳුර සරණංකරාරාමයේ,
හීනටිපනේ සීලරතන හිමි
බෞද්ධයාගේ නිත්‍යශීලය වන පංචශීලය සුභඵල අපේක්ෂා කරන ඕනෑම කටයුත්තක දී පෙරටු කරගැනීම
චාරිත්‍රයක් බවට පත්ව තිබේ. පස්පව් වශයෙන් සැලකෙන සතුන් මැරීම. සොරකම් කිරීම,
කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම හා මත්ද්‍රව්‍ය පානය පුද්ගල චරිතය කිලුටට පත් කරයි.
කිලුට ට පත්ව අපිරිසුදු වූ පුද්ගලයා පිරිසුදුවීමකින් තොරව කරන කටයුත්ත ද අපිරිසුදු
විය හැකි ය. එනිසා යම් පින්කමක් හෝ මංගල අවමංගල කාර්යයක් හෝ සමාජ කටයුත්තක් සිදුකරන
අවස්ථාවක ඒ වේලාවේ ම සමාදන් වූ සීලයෙන් සමන්නාගත කිරීම බෞද්ධ සම්ප්‍රදාය වී තිබේ.
අපි ආහාර පාන ගන්නට පෙර අත් සෝදා ගනිමු. අතේ තැවරී ඇති අපවිත්‍ර දෙයක් ආහාර හා මුසු
වී කුස තුළට පිවිසීම වළක්වා ගනු පිණිස එසේ කරමු. එසේ නොවුනහොත් අතේ තැවරුණු විෂබීජ
ආහාර මාර්ගයට ඇතුල් වීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි ය. රැයේ නිද්‍රෝපගතව සිටි
කෙනෙකු උදෑසන සමාජය ඉදිරියට යන්නේ දත්මැද මුහුණ අතපය සෝදා ප්‍රසන්න පෙනුමක් ලබාගෙන
ය. දත් නොමැද, අවුල් වූ කෙස් කළඹින් හා පොඩි වී ගිය ඇඳුමින් සමාජයට පිවිසෙන
තැනැත්තා දැකීම පවා සමාජය පි‍්‍රය නොකරයි.
මින් අදහස් කෙරෙන්නේ පුද්ගල ජීවිතයට හෝ සමාජයට වැදගත් වන යම් අවස්ථාවකට එළැඹිය
යුත්තේ කායික හා වාචසික සදාචාර භාවයකින් අනතුරුව බවයි. ඒ සඳහා පස්පවින් වැළැකී
සිටීමේ ප්‍රඥප්තියෙහි පිහිටා සිටීම ඉතා වැදගත් ය.
මේ බව තහවුරු කෙරෙන තවත් වැදගත් සිදුවීමක් නම් සිඟාල ගෘහපති පුත්‍රයා බුදුරදුන් මුණ
ගැසීමයි, ගංගාවක් අසබඩ දී බුදු රදුන්ට සිඟාල හමුවන විට ඔහු සිටියේ තම පියාගේ
උවදෙසකට අනුව සදිසාවන්ට නමස්කාර කරමිනි. සඟාල සදිසා නමස්කාරයෙහි යෙදෙන්නේ ශුද්ධ
ගංගා ජලයෙන් දිය නා පව් සෝදා හැරීමේ බමුණු විශ්වාසයට අනුව කටයුතු කළ ස්ථානයෙන්
අනතුරුවය. සදිසාවන්හි වෙසෙන දෙවියන්ගෙන් පිහිට යැදීමට ප්‍රථම තමන්ගේ පව්සෝදා හළ
යුතු බව බමුණෝ විශ්වාස කළහ. මෙහි දී සිඟාලගේ පියා දුන් අන්තිම අවවාදය අනුව එසේ කළ
බව අසා දැනගන්නා බුදුහු ආර්ය විනයෙහි ඇති සදිසා නමස්කාරය ගැන සිඟාලට පවසති. සිඟාල
එය තමන්ට දේශනා කරන ලෙස ඉල්ලා සිටී.
බුදුරජාණන් වහන්සේ එක් වරට සිඟාලට සදිසාවන් හඳුන්වාදීමට නොගොස් පුද්ගලයකුගේ චරිත
පාරිශුද්ධියට අදාළ කරුණු දහහතරක් දේශනා කරති. ඒවා නම් සතර කර්ම ක්ලේශ, සතර අගති හා
භෝග විනාශ මුඛ හයයි. මේවායින් වෙන් වී චරිත පාරිශුද්ධියක් ඇතිකරගත් තැනැත්තාගේ සමාජ
ජීවිතය සාර්ථක වන බව බුදුරදුන් අදහස් කළ බව පෙනේ. මෙහි සතර කර්ම ක්ලේශයන් හා භෝග
විනාශ මුඛයන්හි ඇති මත්පැනට ඇබ්බැහිවීම පංචශීලයට අදාළ පස් පව්ම ය.
පංචශීල ශික්ෂාවන්හි ව්‍යුහය හෙවත් පෙළ ගැස්ම ද හුදු ලැයිස්තුගත කිරීමක් නොවන,
අර්ථවත් අනුක්‍රමික සංවිධානයක් බව සිතීමට කරුණු තිබේ. පස් පව් වශයෙන් ගත් කල එය
මෙසේ ය. 1. පරපණ නැසීම, 2. සොරකම් කිරීම, 3. කාමයෙහි වරදවා හැසිරීම 4. බොරු කීම, 5.
මත්පැන් පානය යනුවෙනි.
බැලූ බැල්මට මේ පාපධර්මයන් පෙළගස්වා ඇත්තේ ඒවායේ බරපතලකම අනුව යැයි කෙනෙකු නිගමනය
කළ හැකි ය. එහෙත් එසේ තීරණය කිරීමෙන් වන්නේ පසුවට යෙදෙන පාපක්‍රියා අව ප්‍රමාණ
කිරීමකි. එනිසා ඉහත කී නිගමනය සාවද්‍ය ය. පංචශීලය පෙළගස්වා තිබෙන්නේ ඒ හා බැඳුණු
පාපක්‍රියාවන්ගේ සාවද්‍යභාවයෙහි කුඩා මහත්භාවය අනුව නොවේ. ගැඹුරින් සලකා බලන විට
දෙවන පාපකර්මය වන ‘සොරකම් කිරීම’ පළමුවැන්න වු ‘සතුන් මැරීමට වඩා බරපතල විය හැකි ය.
තෙවැනි ශික්ෂාපදයේ එන, කාමයෙහි වරදවා හැසිරීම, සෙසු පාපකර්ම හතරටම වඩා බිහිසුණු
කාරණයක් වන අවස්ථා තිබිය හැකි ය. එනිසා මේ පෙළගැස්වීම සාවද්‍ය භාවයේ තරම පදනම් කොට
කරන ලද්දක් සේ ගත නොහැකි ය. මෙ බව ධම්මපදයේ එන
“යො පාණමතිපාතෙති –
මුසාවාදක්කුට භාසති
ලොකෙ අදින්නං - ආදියති –
පරදාරඤ්ච ගච්ඡති
සුරාමෙරය පානකුට -
යොනරො අනුයුඤ්ජති
ඉධෙව පොසො ලොකස්මිං -
මූලං ඛන්ති අත්තනා
යන ගාථාවෙන් පෙනී යයි. මෙහි පෙළගැස්ම ඇත්තේ ප්‍රාණඝාතය, මුසාවාදය, අදින්නාදානය,
කාමමිථ්‍යාචාරය, සුරාපානය වශයෙනි.
එසේ වුව ද පංචශීල ව්‍යුහයේ සංවිධිත භාවයක් තිබෙන බව සියුම්ව පිරික්සා බලන විට පෙනේ.
සම්මත ව්‍යුහගත කිරීමේ යම් සමාජ විද්‍යාත්මක හා ආචාරවිද්‍යාත්මක පදනමක් දැකගත හැකි
ය. මෙය මුල සිට අග දක්වා උඩසිට පහළට පෙනෙන ගොඩනැගිල්ලක් සේ ගතහොත් එහි පදනම වන්නේ
මත්වීමටත්, පාපකාරී ක්‍රියා සඳහා නැඹුරු කරලීම නම් වූ ප්‍රමාදයටත් පාපකාරී ක්‍රියා
සඳහා නැඹුරු කරලීම නම් වූ ප්‍රමාදයටත් හේතුවන රහමෙර පානයයි. මද්‍යපානයෙන්
පුද්ගලයාගේ සිත උමතු වෙයි. නුවණ හෙවත් හොඳ නරක තෝරා බේරා ගැනීමට අසමත් වෙයි. එවැනි
මානසික ස්වභාවයකින් සිටින්නකු ඊට ඉහළින් ඇති සාපරාධී ක්‍රියාවල යෙදීමේ ප්‍රවණතාව
වැඩි ය. මත්ද්‍රව්‍ය භාවිතය හා අපරාධ අතර ඇති සම්බන්ධතාව ගැන තොරතුරු නිතර ජනමාධ්‍ය
මඟින් අසන්නට ලැබෙන්නේ එබැවිනි. පුද්ගලයකුගේ සුචරිතවත් පදනම දැඩි කම්පනයකට භාජනය
කෙරෙන සුළු මද්‍යපානය පාපී බවට නැඹුරු කරයි.
සිව්වැනි ශික්ෂාපදය බොරු කීමෙන් වැළකීමයි. සියලු වාග් දුශ්චරිතයන් මුසාවාදයෙන්
ගම්‍ය වන බවක් ඉන් හඟවා ඇති සේ පෙනේ. වචනය දුශ්චරිතයෙහි යෙදවීම සුරාපානය
නොකරන්නවුන් කෙරෙහි ද දක්නා ලැබෙන නමුත් සුරාමතින් උමතු වූ පුද්ගලයා වෙතින් එය
විශේෂයෙන් දක්නා ලැබේ. රහමෙරපානයෙහි සෘජු ආදීනවයක් සේ ලජ්ජාවෙන් තොරවීම (කෝපීනං
නිදංසතී) යන්න සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇත. ලජ්ජාව නැති තැනැත්තා වචන
අවභාවිතයෙන් බොරුව, කේළම, පරුෂ වචනය හා හිස් වචන දෙඩීමෙන් පව්රැස් කරයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කාමාපරාධවලට යොමුවන බව නිතර මාධ්‍ය මඟින් අසන්නට
ලැබේ. මත නිසා විකෘති මානසිකත්වයට ගොදුරුවන පුද්ගලයා තම සරාගී අවශ්‍යතාවයන් ඉටුකර
ගැනීමේ අභිලාෂයේ දී සදාචාරාත්මක හා සමාජ සම්මුතීන් තකන්නේ නැත. බොහෝ විට
බලහත්කාරකම්, ස්ත්‍රී දූෂණ ළමා අපචාර වැනි දේවල පසුබිමේ මත්ද්‍රව්‍ය අනිවාර්ය
සාධකයක් වී තිබේ.
අද බොහෝ දුරට විවිධ අන්දමින් සොරකම්වලට වරදකරුවන් වන්නේ ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි
වූවන් ය. සොරකම් කිරීම, අල්ලස් හා කප්පම් ගැනීම ආදී විවිධ පාපක්‍රියාවල යෙදෙන්නන්ගේ
අවශ්‍යතාවය හුදෙක් ජීවන අවශ්‍යතාවයන් පිරිමසාගැනීම නොවේ. එමඟින් සොයාගත් මුදලින්
මත්ද්‍රව්‍ය පානය හා අනාචාරයෙහි යෙදීම ය. ඒ අනුව සලකන කල මත්ද්‍රව්‍ය හා සොරකම් අතර
ද ප්‍රබල සම්බන්ධතාවක් ඇති බව පෙනේ. මත්කුඩු වලට ඇබ්බැහි වූවන් තම මවුපියන්ගේ,
බිරියගේ හෝ දරුවන්ගේ සමීප ඤාතිවරුන්ගේ පවා භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමට පෙළඹී ඇති
බව ප්‍රකට කාරණයකි. සත්ත්ව ඝාතනය හා සත්වහිංසාව පළමුවැනි පාපකර්මයයි. නුවණ මෙහෙයවා
හොඳ නරක තේරුම්ගෙන ක්‍රියා කරන්නකුට නිර්දය ලෙස අනෙකෙකුගේ ජීවිතයක් උදුරාගත නොහැක.
මත නිසා සිහිය විකල් වන්නා සේ ම ප්‍රඥාව ද දුර්වල වෙයි. සිහිය විකෘති වූ තැනැත්තා
හොඳ නරක නොහඳුනයි. දයා කරුණා දී ගුණධර්ම ඔහු වෙතින් ගිලිහී යයි. එවිට සත්ත්ව
හිංසනයට හා සත්ත්ව ඝාතනයට පෙළඹීම ස්වාභාවික ය. සුරාපාන ජාතකයෙන් පෙන්වා දෙන්නේ ගුණ
ධර්ම පමණක් නොව මිනිස් ප්‍රජාව ද විනාශ වී නගර හතක් පාළුවට ගිය කතාන්දරයකි. එබැවින්
ඉන් වැළකී සිටීමට අදිටන් කර ගැනීමට හැමටම යහපතකි. |