සදාචාරයේ ආදර්ශය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා වැදි ප්‍රේතයෙකු අරභයා
මෙම කථාව දේශනා කළහ.
බරණැස් නුවර ගංගානම් ගඟින් එතෙර “චුන්දත්ථික” නම් පිටිසර ගමක එක් මුව වැද්දෙකු වාසය
කළේය. දිනපතා මුවන් දඩයම් කොට මස්වලින් එක් කොටසක් ගින්නෙන් පුළුස්සා කැලේදී ම
අනුභව කොට සෙසු කොටස කොළ ගොටුවල ඔතාගෙන ගමට රැගෙන එයි. ගම් වැසි දරුවෝ ඔහු වටා රැස්
වී මස් ඉල්ලන කල්හි එයින් ස්වල්පය බැගින් ඔවුන් අතර බෙදා දෙයි. එක් දිනක මුවෙකු
දඩයම්කරගත නොහැකි විය. ගමට යන කල්හි වනයෙන් කොබොලීල මල් කඩාගෙන එයින් කොටසක් හිසේ
පැළඳගෙන අනෙක් කොටස අතින් රැගෙන ගියේ ය. ගම් දරුවන් වට වී මස් ඉල්ලන කල්හී කොබෝලීල
මල්වලින් එක් පොකුරක් බැගින් ඔවුන් අතර බෙදා දුන්නේ ය. මුව වැද්දා පසු කලෙක මරණයට
පත්ව ප්‍රේත ලෝකයෙහි උපන්නේ ය.
මුවන් මැරීමේ ආදීනව වශයෙන් නිරුවත් වූයේ බියකරු පෙනුමකින් යුක්ත විය. සිහිනෙන් වත්
ඔහුට ආහාර පාන කිසිවක් නොලැබුණි. දුර්වරණ කෘශ ශරීරයකින් යුක්ත වූ අතර කොබොලීල මල්
කළඹක් හිසෙහි පැළඳ සිටියේ ය. එක් දිනක ස්වකීය නෑයින්ගෙන් ආහාරයට යමක් ලබා ගනු
රිසියෙන් ගංගානම් ගඟෙහි දියමත උඩුගං බලා යමින් සිටියේ ය. එ සමයෙහි බිම්බිසාර රජුගේ
කෝලිය නම් මහ ඇමැතිවරයා පිටිසර ගමක වූ කැරැල්ලක් මැඩ පවත්වා ස්වකීය බල සෙනඟින්
කොටසක් ගොඩ බිමින් පිටත්කර යවා සෙසු පිරිස සමඟ රාත්‍රියෙහි නැවක නැගී යටි ගං බලා
යාත්‍රා කරන අතරමඟ දී උඩු ගං බලා යන එම වැදි ප්‍රේතයා දුටුවේ ය.
හිසෙහි මල් පැළඳ නග්නව දියමත උඩුගං බලා යන ප්‍රේතයා දුටු මහ ඇමැතිවරයා තමා කවරෙක්දැ
යි ඔහුගෙන් විමසී ය. ප්‍රේතයා තමන් පිළිබඳ අතීත පුවත මහ ඇමතිවරයා ට පැහැදිලි කළේ ය.
ඔහු කෙරෙහි සානුකම්පිත වූ කෝලිය ඇමතිවරයා නැව නතර කළ කල්හී එම ප්‍රේතයා නමින්
එක්තරා උපාසකයෙකුට වස්ත්‍ර යුගලක් හා අත්සුණු (අග්ගලා) කීපයක් පූජා කොට එම
දක්‍ෂිණාව ඔහු ට අනුමෝදන් කළේ ය. දක්‍ෂිණාව අනුමෝදන් වූ ප්‍රේතයා එකිනෙහි ම
දිව්‍යමය වස්ත්‍ර ඇඳ නග්න භාවයෙන් මිදුණේ ය. හිරු උදාවීමත් සමඟ ම කෝලිය ඇමැතිවරයා
ඇතුළු පිරිස බරණැසට පැමිණය හ. මේ අතර ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ
ද අහසින් අවුත් ගංතෙර වැඩ සිටිසේක. බුදුරජාණන්වහන්සේ දුටු කෝලිය ඇමැතිවරයා මහත්
ප්‍රීතියට පත්ව දහවල් දානයට උන්වහන්සේ ට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ
ආරාධනාව තුෂ්ණීම්භූත භාවයෙන් ඉවසා වදාළහ.
කඩිනමින් දන් පිළියෙල කළ මහ ඇමැතිවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පූජා කොට
අනතුරුව තමන්දුටු ප්‍රේතයා පිළිබඳ පුවත බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ ය. දානමය
පුණ්‍ය කර්මයට රැස් වූ බරණැස් ජනයාට ප්‍රේත ලෝකයේ ස්වභාවය පැහැදිලි කිරීමේ අරමුණින්
බුදුරජාණන් වහන්සේ ඔවුන් ට බොහෝ ප්‍රේතයන් පෙනීම ට සැලැස් වූහ. පැමිණ සිටි
ප්‍රේතයන්ගෙන් ඇතැමෙක් ඉරීගිය රෙදි වැරලි ඇඳ සිටියහ. ඇතැමෙක් තම කෙස්වැටියෙන් ම
විලි වසාගත්තහ. බොහෝ දෙනෙක් නිරුවත්ව සිටියහ. ඇතැමෙකු කුසගින්නෙන් හා පිපාසාවෙන්
පෙළෙමින් ක්ලාන්ත ව සිටිය හ. සමහරු ඇටසැකිල්ලක් මෙන් අතිශය කෘශ වූ දුර්වර්ණ
ශරීරයකින් යුක්ත වූහ.
බොහෝ දෙනෙක් ආහාරපාන ඉල්ලමින් ඔබමොබ දුවගොස් ක්ලාන්ත ව බිම ඇද වැටුණා හ. ඉක්බිති
බුදුරජාණන් වහන්සේ එක් එක් ප්‍රේතයා ලවා ඔවුන් පෙර ආත්මයේ කළ නොයෙකුත් පාප කර්ම ද
ප්‍රකාශ කරවී ය. ප්‍රේතයන් අතර ඇතැම් අය පෙර ආත්මවල මහ ධනපතියන් ව සිටියත්
කිසිවෙකුටත් යමක් පරිත්‍යාග නොකළ හ. ඇතැම් ප්‍රේතියෝ පෙර ආත්මවල අවම වශයෙන් බත්
පිඬක් වත් නොදී තනිව හිඳ අනුභව කළා පමණක් නොව කිසිවෙකුටත් නොදී විශාල වශයෙන් ආහාර
පාන විනාශ කළ අය වූහ.
තවත් අයෙක් පෙර ආත්මයේ ප්‍රතිග්‍රාහකයන්ට නින්දා අපහාස කළ අය වෙති. පෙර යහපත් දැ
කිරීමට සිතක් පහළ නොවූ ඇතැමෙකු ට කොතෙක් අවස්ථාව තිබුණත් යහපතක් නොකළ හ. මසුරුකමින්
ධනය උපයා නොයෙක් සැහැසිකම් කළ අයද ඔවුන් අතර වූහ. මේ ආදී වශයෙන් ප්‍රේත ප්‍රේතියෝ
එකිනෙකා තමන් කළ විවිධ පාප කර්ම පිළිබඳ පාපොච්චාරණය කළහ. මෙසේ පව් කිරීමෙන් ලැබෙන
විවිධ ආදීනව පමණක් නොව පින් කිරීමෙන් ලැබෙන උසස් ආනිසංස පිළිබඳ ව මෙම ප්‍රේත
ප්‍රේතියෝ කරුණු ගෙනහැර දැක් වූහ. පින් කළ තැනැත්තා දෙලොව ම සතුටු වන බවත් සසර උසස්
සැප සම්පත් සහිත ජීවිත ලබන බවත් ප්‍රකාශ කළ හ.
තමන් පෙර භවයන්හි කොතෙක් ධනවත් ව සිටියත් කිසිදු යහපතක් නොකළ හෙයින් වර්තමානයේ
දුක්ඛිත ජීවිත ගත කරන බවත් ප්‍රකාශ කළහ. අනතුරුව තථාගතයන් වහන්සේ ප්‍රේතයන්ගේ කථාව
ඇසීමෙන් සංවේගයට පත් කෝලිය ඇමැතිවරයා හා බරණැස් වැසි ජනයාට මෙම සිදුවීම් පදනම්
කරගෙන පින් පව් දෙකෙහි පවතින අනුරූපී විපාකවල ස්වභාවය පැහැදිලි කරමින් ධර්ම
දේශනාවක් කළහ. ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාතයේ ආදීනව පැහැදිලි කරන මෙම ප්‍රේත කථාවෙන්
නැවත නැවතත් ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. මුවන්
දඩයම් කළ වැදි පුරුෂයා තමන් කළ පාපයේ අනුරූපී විපාක වශයෙන් පේත ලෝකයේ ඉපිද බොහෝ
කලක් දුක් වින්දේ ය. එය කොතරම් දරුණු ද යත් සිහිනෙන් වුව ද ඔහුට ආහාරපාන කිසිවක් නො
ලැබුණි.
පව්කොට පේත ලෝකයේ උපන් තැනැත්තාට ඤාතීන්ගෙන් හැර වෙනත් පිහිටක් නොමැති බව පැහැදිලි
ය. ප්‍රාණඝාතය බරපතල අකුශල කර්මයකි. එය නොකළ යුත්තකි. එහි විපාක දරුණු ය. ක්‍රියාව
පමණක් නොව ඒ සඳහා මුල්වන වධක චේතනාව ද අකුශලයකි. ධර්මය දේශනා කිරීමේ දී බුදුරජාණන්
වහන්සේ විවිධ උපක්‍රම භාවිත කළහ. උන්වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රමවේද විවිධ ය. මෙම
කථාවෙහි උන්වහන්සේ අනුගමනය කළ එක් උපක්‍රමයක් දක්නට ලැබේ. පින් පිව් දෙකෙහි අනුරූපි
විපාක මෙන් ම ප්‍රේත ලෝකයේ පවතින දුක්ඛදායක බව කෝලිය මහ ඇමැති හා බරණැස් වාසී ජනයාට
පැහැදිලි කිරීම සඳහා ආදර්ශකයක් ලෙස බොහෝ ප්‍රේතයන් ඔවුන්ට දර්ශනය වීමට සලස්වා ඔවුන්
ලවා ම කරුණු පැහැදිලි කර වූ හ. ඒ අනුව ප්‍රේතයන් හා ඔවුන්ගේ ස්වභාවය සියැසින් දුටු
ජනතාවට කර්මය හා එයට අනුරූපී විපාක පිළිබඳ මනා වැටහීමක් ඇතිවිය.
මෙය සාර්ථක ඉගැන්වීමේ ක්‍රමයකි. බුදුරදුන් අනුගමනය කළ මෙම ඉගැන්වීමේ ක්‍රමය පසු
කලෙක බෞද්ධ කලා කරුවා ද ආදර්ශයට ගත් බව විහාර චිත්‍ර අතර පේත ලෝකය සිතුවම ට
නැඟීමෙන් පැහැදිලි වේ. බෞද්ධ චිත්‍ර ශිල්පියාගේ අරමුණ වූයේ ද එමගින් සදාචාරය ඇති
කිරීම යි. අතීතයේ සිද්ධස්ථාන වන්දනාවෙන් පොදු ජනයා තුළ දැහැමි විනෝදය පමණක් නොව
පින් පව් පිළිබඳ මනා අවබෝධයක් ද ලැබුණි. මහනුවර යුගයේ විහාර චිත්‍ර නිරික්ෂණය
කිරීමෙන් මෙහි සත්‍යතාව වටහා ගත හැකි ය. එබැවින් පේත කථා පුද්ගලයා තුළ සදාචාරය
ප්‍රවර්ධනය කෙරෙන ආදර්ශක ලෙස සැලකිය හැකි ය.
පුද්ගල මනසේ ඇතිවෙන ලෝභ දෝස මෝහ මූලික කරගත් අකුසල සහගත මනෝභාවයන් ප්‍රකාශය ට
පත්වන්නේ කායික හා වාචසික ක්‍රියා මගින් ය. එම ක්‍රියා පුද්ගලයා ට මෙන් ම සමාජයටත්
හානිකර ය. උක්ත අකුසල සහගත මනෝභාවයන් බාහිර අරමුණු මගින් නිතර උත්තේජනය කරනු
ලැබීමෙන් පුද්ගලයා තවදුරටත් පාපයට හා අකුශලයට නැඹුරු වෙයි. අකුශල සහගත මනෝභාවයන්
පුද්ගල මනස ට පමණක් සීමා වුණහොත් එයින් ඔහුගේ සිත කිලිටි වීම හැර අන්‍යයන්ට එහි ඇති
බලපෑම අඩු ය. එහෙත් ඒවා යම් අවස්ථාවක ප්‍රකාශය ට පත්වන්නේ නම් එය දෙපක්ෂයට ම හානිකර
ය. අකුසල සහගත මනෝ භාවයන් නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුනහොත් එයින් පුද්ගලයා
පමණක් නොව ලෝකය ද විනාශය ට පත්විය හැකි ය. මෙ නිසා පළමු පියවරේ දී ඒවා ප්‍රකාශයට
පත්වීම වැළැක්විය යුතු වේ.
බුදුදහමෙහි එන ශීලයේ මූලික අරමුණ එයයි. එබැවින් ශීලය සෑම අයෙකුට අවශ්‍ය වේ. විනය හා
නීතිය මගින් සිදුවන්නේ ද එය යි. දෙවනුව බුදුසමය යෝජනා කරන්නේ සිතේ තිබෙන අකුසල
මනෝභාවයන් හා ඒවායේ මූලයන් සොයා මුලිනුපුටා දැමීම යි. චිත්ත සමාධිය හා ප්‍රඥාව
වර්ධනය කිරීමේ අරමුණ එය යි. ඒ අනුව බෞද්ධ පේතකථා පුද්ගල මනසේ පවතින අකූශල සහගත
මනෝභාවයන් ප්‍රකාශයට පත්වීම වළක්වන ඒ සඳහා පුද්ගලයා මෙහෙයවන ආදර්ශක ලෙස සැලකිය හැකි
ය. |