ශ්‍රී පාද ගමන් මඟ
ශ්‍රී පාද පද්මය වන්දනා කිරීමට යෑම සඳහා ප්‍රධාන මාර්ග තුනක් තිබේ. ඉන් එක්
මාර්ගයක් වන්නේ රත්නපුරය ගිලීමලේ හරහාය. අනෙක් මාර්ගය වන්නේ හැටන් නල්ලතන්නිය
හරහාය. තුන්වන මාර්ගය වන්නේ කුරුවිට හරහා ය.
ශ්‍රී පාද පද්මයට පිවිසීම සඳහා පැරණිතම මාර්ගය සැකසී ඇත්තේ කුරුවිට එරත්න හරහා ය.
එලෙසම තතු දත් අය දකුණු පළාතට පිවිසෙන දුර්ග මාර්ගයක් ඇති බව ද පවසති. වර්තමානය වන
විට ඒ මඟ වල් බිහි වී ඇති බව ද පැවසේ.
ශ්‍රී පාද පද්මය වන්දනා කරන්නන්ට වඩා පහසු හා වැඩි ජනතාවක් ගමන් කරන මාර්ගය වන්නේ
හැටන් නල්ලතන්නි මාර්ගයයි. වන්දනා ගමන ආරම්භ කරන මුල් ස්ථානයෙහි නාගදීප විශ්‍රාම
ශාලාව පිහිටා ඇත්තේ ය. එතැන් සිට ගඟෙන් ස්නානය කර, පන්සිල් සමාදන්ව එහි පිහිටා ඇති
සමන් දේවාලයේ සමන් දෙවිඳුට බාර වී බැතිමත්හු වන්දනා ගමන ආරම්භ කරති.
මෙම ගමන් මාර්ගයේ දී පළමුවෙන් ම හමුවන්නේ මකර තොරණ ය. දෙවනුව හමුවන්නේ දශක දෙකකට
පමණ පෙර සාදන ලද සාම චෛත්‍යයයි. ඉන් පසුව සීත ගඟුල ය. බුදුරජාණන් වහන්සේ මෙහි නැවතී
ගිමන් හැර අත් පා මුව දෝවනය කරගත් ස්ථානය මෙය ලෙස ද විශ්වාසයක් පවතී. මේ නිසා
සිරිපා කරුණා කරන බැතිමතුන් මෙහි දී සිසිල් දිය නා සුදු පිරුවට හැඳ පේ වී වන්දනා
ගමනට සූදානම් වේ. කිරිකෝඩු වන්දනා කරුවන් විශේෂයෙන් ම සීත ගඟුලෙන් නා පේ විය යුතු
යැයි ද විශ්වාසයක් පවතී.
ඉන් පසුව හමුවන්නේ ගෙත්තම්පාන ය. පැරැණි සිරිත්වලට අනුව කෝඩු වන්දනා කරුවන්
ඉදිකටුවකුත්, නූල් බෝලයකුත් අනිවාර්යයෙන් ම ගෙනයා යුත්තේ මෙහි දී පූජා කිරීමට ය.
අතීතයේ සිරිපා වන්දනා ගමන දුෂ්කර වූ අවධියේ වන්දනාකරුවන්ගේ ඇඳුම්, පැළඳුම් ගස්වල
අතු පතර දැවටී ඉරී ගිය බැවින් ඒවා මසාගෙන ඇත්තේ ඉඳිකටුපානේ දී ය. නැතිනම්
ගෙත්තම්පානේ දී ය.
ඉන් පසු වැදගත් ස්ථානය වනුයේ හැරමිටිපාන ය. තථාගත බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ දී
ලීයක ආධාරයෙන් සමනොළ කන්ද තරණය කළ බව විශ්වාසයක් පවතී. එම නිසා හැරමිටිපාන යන නම
ලැබී ඇති බව ද විශ්වාස කරති. අද ද වන්දනා කරුවන් විසින් හැරමිටි ගෙනගොස් මෙහි තබති. |