යමක වග්ගය 06:
මරණසතියෙන් සාමය ඇති වෙයි - කොසඹෑ නුවර හිමිවරුන්ගේ කතාව
සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක
වේරගොඩ
සාරද නා හිමි
පරෙ ච න විජානන්ති - මයමෙත්ථ යමාමසෙ
යෙ ච තත්ථ විජානන්ති - තතො සම්මන්ති මෙධගා
බැහැරියෝ නො දනිති - යම් දිනෙක අප මැරෙතැයි
දනිත් නම් ඒ බව - කිසිවෙක් කලහ නො කරත්
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසමින් කොසඹෑ නුවර භික්ෂූන්
වහන්සේ අරභයා මේ ගාථාව දේශනා කළ සේක.
කොසම්බි නුවර වාසය කළ භික්ෂූන් වහන්සේ අතර විනය ප්‍රශ්නයක් මුල් කර ගනිමින්
විවාදයක් ඇති වුණි. එය දුර දිග ගොස් ධර්මවාදී හා විනයවාදී යැයි කණ්ඩායම් දෙකකට
බෙදුණි. මේ භේදය දුුරුකර, එම සඟ පිරිස සමගි කරවන්නට බුදුරජාණන් වහන්සේ පවා සමත් නො
වූ හ. දායක දායිකාවෝ ද දෙපක්ෂයකට බෙදුණහ. අන්තිමේ භාග්‍යවතුන් වහන්සේ පාරිල්‍යෙයක
වනයට වැඩම කොට වස් කාලය එහි ම ගත කරන්නට තීරණය කළ හ.
පාරිල්‍යෙයක වනයෙහි රක්ඛිත නම් උයනට තනි ව ම වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි වස්
සමාදන් වූ හ. වනයෙහි විසු පාරිලෙය්‍ය නමින් ම හැඳින්වුණු හස්තියෙක් භාග්‍යවතුන්
වහන්සේට උපස්ථාන කළේය.බුදුරදුන් වනගත වූයේ සඟ පිරිස සමගි කරවන්නට ගත් ප්‍රයත්නය
අසාර්ථක වීමෙනැයි දැනගත් දායක දායිකාවෝ අසමගිව සිටින භික්ෂූන්ට සිවුපසය සැපයීම නතර
කළහ. තම විවාදය කෙතරම් හානිකර වී ඇත්දැයි ඔවුන්ට වැටහුණේ එවිටය. වාද විවාද අතහැර
ඔවුන් සමගි වුව ද, භාග්‍යවතුන් වහන්සේ සමා කරවාගෙන නැවත නගරයට වැඩම කරවන තුරු
දායකයෝ කලහකාරි භික්ෂූන් වෙත නැවත සමීප නො වූහ. එහෙත් එය වස් කාලය වූ හෙයින්
භාග්‍යවතුන් වහන්සේ යළි වැඩම කරවීම ද අපහසු විය. වස් තෙමස භික්ෂූන් ගත කළේ මහත්
අපහසුවෙනි.
වස් කාලය අවසන ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ පෙරටු කරගත් භික්ෂූන් වහන්සේලා වනයට ගොස්
අනාථ පිණ්ඩික සිටුතුමා ඇතුළු දායක පිරිස බුදුරජාණන් වහන්සේගේ සම්ප්‍රාප්තිය
ගෞරවාදරයෙන් අපේක්ෂා කරන බව දන්වමින් යළි නගරයට වැඩම කරන්නට ඇරයුම් කළහ.
භාග්‍යවතුන් වහන්සේ ද සුදුසු කල් දැන ජේතවනාරාමයට ආපසු වැඩම කළහ. එහි දී කලහකාරි
භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියහ.
ඔවුන්ගේ අකීකරු, හිතුවක්කාර ගති පිළිබඳව නිග්‍රහ කළ භාග්‍යවතුන් වහන්සේ තමන් සදාකල්
ජීවත් නොවන අය බව තේරුම් ගන්නා ලෙසත්, එසේ තේරුම් ගන්නේ නම් සියලු කලහ එවිට නතර වන
බවත් දේශනා කොට වදාළහ.
“භාග්‍යවතුන් වහන්සේ උගන්වන ධර්ම මාර්ගයට පරිබාහිර පුද්ගලයෝ තමන් මැරෙන බව නො දැන
කලි කලහ කරති . යමෙක් තමන් මිය යන බව දන්නේ ද? ඔවුහු කලහ නිමකර සංසුන් වෙති.”
මරණය සහ ජීවිතයේ අනිත්‍යබව තේරුම් ගැනීම යථාර්ථාවබෝධය සඳහා අත්‍යවශ්‍ය ය. මිනිසුන්
මෙය තේරුම් නො ගැනීම බොහෝ ගැටලුවලට හේතු වී පවතියි. බොහෝ අය තමන් අමරණීය යැයි
සිතමින් ජීවත් වෙති. ක්‍රියා කරති. චිත්ත වේගයන්ට වසඟ වෙති. එවැන්නෝ ප්‍රමාද වූවෝ
වෙති. සීලා දී ගුණධර්ම වර්ධනය ගැන නො සිතමින් ලෞකික සැප සම්පත් ගැනම සිතති. ඔවුන්ගේ
ලෝභය මෙන් ම ද්වේෂය ද වැඩෙයි. අද කළ යුතු දේ හෙටට කල් දැමීම ද මෙම මිථ්‍යා
දෘෂ්ටියෙහි ප්‍රතිඵලයක් වෙයි. එවැනි අයට තම මුලාවෙහි තරම වැටහෙන්නේ අනපේක්ෂිත ලෙස
මරණය තමා අබිමුවට පැමිණිවිට ය. මරණය ගැන අවබෝධය හා නිරතුරු ඒ පිළිබඳව මෙනෙහි කළ
යුතු ය. එය අපගේ ප්‍රායෝගික ජීවිතය කෙරේ මහත් බලපෑමක් ඇති කරයි. ගත කරන කෙටි ජීවිත
කාලය කලකෝලාහල හා මතභේදවලින් පුරවා ගැනීමෙන් වන්නේ අලාභයක් පමණි. ඒ වෙනුවට සියල්ලෝ
සාමයෙන්, සතුටෙන් වාසය කිරීමෙන් ලබන අධ්‍යාත්මික ආශිර්වාද මෙලොවට සේ ම පරලොවටද
ආශිර්වාදයක් වනු ඇත. කෝලාහල කරන අය ‘මගේ අය නොව පිට අය’ වශයෙන් හඳුන්වන්නට
බුදුරදුන් සිතුවේ මෙම යථාර්ථය තහවුරු කරනු පිණිස ය.
පරෙ – බාහිරයෝ
(දහම් මගින් බැහැර වූවෝ)
මයං – අපි
යමාමසෙ – මැරෙන්නෙමු’ යි
න ච විජානන්ති – නොදනිති
තත්ථ – එහි දී
යෙ ච – යම්කිසිවෙක්
විජානන්ති – එය දනිත්ද
තතො – ඒ හේතුවෙන්
මෙධගා – කලි කලහ
සම්මන්ති – නිමාවට යයි |