නවම් අමාවක 2018.02.15
යුතුකම
මවුපිය, දූ දරුවන් අතර අන්‍යොන්‍ය විශ්වාසය, සාමය, සමඟිය, ආදරය, සෙනෙහස මේ සියලු දේ
තීරණය කරන ප්‍රබලතම සාධකය යුතුකම් ය. ඔවුනොවුන් වෙනුවෙන් විය යුතු යුතුකම් නො
පිරිහෙලා ඉටුවෙන තාක් පවුලේ සතුට, දියුණුව රැඳී පවත්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ.
සමස්ත සමාජයට ද එය පොදුය. අර්ථාන්විත, ආදර්ශවත් සමාජයක, සමගිය සාමය රැඳුන සමාජයක
පදනම සවිමත් වන්නේ ඒ යුතුකම් මත ය. මේ අන් කවරදාටත් වඩා අප කවුරුත් තේරුම්ගත යුතු
කරුණකි.
අම්මා, තාත්තා දරුවන්ට යුතුකම් ඉටු නොකරනවා නම්, ඒ දරුවන්ට කෙසේ නම් යහපත් ගුණධර්ම,
නිසි අධ්‍යාපනය ලැබෙන්න ද? දරුවන්ගෙන් මවුපියන්ට විය යුතු යුතුකම් ඉටු නොවෙනවා නම්,
මවුපියන්ගේ සුරක්ෂිත බව කෙසේ නම් රැකෙන්න ද?
මවුපිය, දූ දරු, ස්වාමි, භාර්යා, සේව්‍ය, සේවක, ගිහි, පැවිදි ආදී ලෙස සමාජ කණ්ඩායම්
බෙදා දක්වමින් ඔවුනොවුන් කෙරෙහි ඉටු කළ යුතු යුතුකම් රැසක් බුදුරජාණන් වහන්සේ දේශනා
කොට වදාළේ එම ක්‍රියාකාරීත්වයන් විධිමත් පවුලක, සමාජයක පැවැත්මට අත්‍යවශ්‍යවන
හෙයිනි.
මොන තරම් වැදගත්කමක් ඉසිලුව ද අප අතර යුතුකම් වෙනුවට නො කටයුතුකම් වන අවස්ථා දුලබ
නොවේ. පවුලක වේවා, සමාජයක වේවා බොහෝ ගැටලු, ගැටුම්, දෙදරීම්, වලට මුල ද ඒ නොසලකා
හැරීමම ය. තමන් උපමාකොට අනුන් දෙස බැලිය යුතු වුව ද, වැඩි පිරිසක් තමන්ට පෙර
දකින්නේ අනුන් ය. අනුන්ගේ අඩුපාඩුකම් ය. අනුන්ගෙන් විය යුතු යුතුකම්, වගකීම් ය.
ඇති හැකි අය වුව ද, සමාජයේ පිළිගත් නිලතල දැරුව ද, එවැනි සමහර දරුවන් හැදූ වැඩූ
අම්මලා, තාත්තලාගේ සැඳෑ කාලය ගෙවෙන්නේ වැඩිහිටි නිවාසවල ය. මහලුවියේ ගත වාරු ගෙවී
ගිලන් වන මවුපියන් රෝහලක ඇඳ මත හොවා සැණෙන් ආපසු එන බවට ඇතැම් දරුවන් දෙන පොරොන්දු
ඒ අසරණ මවුපියන්ගේ හුස්ම පොද රෝහල් ඇඳ මත ම ගිලිහෙනතුරු ඉටුවනු පෙනෙන්නේ නැත.
යුතුකමක සේයාවක් හෝ නැති මෙවැනි සිදුවීම්වල වරද දරුවන්ගේ ද? මවුපියන්ගේද? එක්
පිරිසකට හෝ ඉන් මිදෙන්නට නොහැකි ය. මවුපිය දෙදෙනා සිය දරුවන්ට බහතෝරන දවසේ සිටම හොඳ
නරක උගන්වනවා නම්, හොඳ ආදර්ශයක් දෙනවා නම්, ලෝභයෙන් ද්වේෂයෙන්, මෝහයෙන් ඔවුන්ගේ
සිත් පුරවා ගන්නට ඇති ඉඩ යම් ප්‍රමාණයකට හෝ ඇහිරෙන ලෙස කටයුතු කරනවා නම් අසරණ වූ කල
තමන්ගේ අම්මා, තාත්තා අතහැර යන්නට තරම් ඔවුන්ගේ සිත් දැඩි නොවනු ඇත.
බොහෝ දෙනෙක් අනාගතයට ගෙන යන්නේ, ක්‍රියාවට නඟන්නේ මවුපියන් වෙතින්, සමීපතම
වැඩිහිටියන් වෙතින් කුඩා කල ඇසූ දුටු දේ ම ය. අනුකරණය, ආභාෂය ලැබීම මිනිස් ස්වභාවයේ
සැටි ය.
පසුගිය දිනෙක මවක් සිය දරුවන් දෙදෙනා දුම්රියෙන් පාසල වෙත ගෙන යමින් සිටියා ය. ඇය ද
කාර්යාලයක රැකියාවට යන ස්වභාවයක් දිස් විය. ඔවුන් හිඳ සිටි ආසනයන්හි තවත් කෙනෙකුට
හිඳ ගැනීමට අවකාශය තිබුණ ද, දරුවන් දෙදෙනාගේ ම ඊට කැමැත්ත තිබුණ ද අම්මාවෙතින්
දිස්වූයේ නොරිස්සුමකි. ඇය තව තවත් පහසුවට ආසනයේ ඉඩ අහුරා ගත්තා ය. අලුයම සිට දුර
බැහැර සිට එන මගීහු බොහෝ දෙනෙක් සිටියේ අපහසුවෙනි. ඒත් ඒ මවට එය ගැටලුවක් නොවුණි.
දුම්රියෙන් බසින මොහොතේ ද ඇයවෙත වූ කලබලය අන්‍යයන්ට අපහසුවක් ම ගෙන දුනි. ඇගේ සිත
අනුන් ගැන ළතෙක් බවක් නොවුණි. මේ එකම කුඩා සිදුවීමක් පමණි. මෙවැනි දේ අනන්තවත්
සිදුවේ.මේ අම්මා දුන් ආදර්ශ විවිධ වේශයෙන් අපේ සමහර මවුවරු දරුවන්ට දෙති. ඒත් තමන්ට
තමන්ගේ දරුවෙකුට හිතවතෙකුට, ඥාතියෙකුට නොකටයුතුකමක් වූ සැණින් තමන් කළ කී දේ අමතකව
යති. අනුන්ගෙන් නොවුණු යුතුකම් ගැන දොඩති. විවේචනය කරති. ඒත් තමන් ද පැමිණ ඇත්තේ ඒ
මගම ය.
අනුන්ගෙන් වන යුතු අයුතුකම් ගැන කතා කරන්නට ද සමහරු බොහෝ සේ කාලය මිඩංගු කරති. එම
වටිනා කාලය තමන් දෙස බලන්නට යොමු කරනවා නම්, තමන් කළ කී දේ, තමන් කළයුතු නොකළ යුතු
දේ ගැන හොඳින් සිතා බලන්නට වෙන් කරනවා නම්, තම තමන් ඒ වෙනුවෙන් කැප වන්නට අධිෂ්ඨාන
කරනවා නම් නුදුරු දිනෙක දී ම මුළු මහත් සමාජය ම ඊට අනුරූප වනු අපටම දැකගත හැකි
වන්නේ ය.
|