UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෛත්‍රිය හා සහජීවනය: ලොවක් ජය ගත හැකි මෙත්තාව

මෛත්‍රිය හා සහජීවනය:

ලොවක් ජය ගත හැකි මෙත්තාව

අඳුරෙන් අඳුර නැසිය නොහැකි ය. ඒ සඳහා ආලෝකය අවශ්‍ය වේ. එමෙන් ම ලොවක් ජයගත හැකි හොඳ ම අවිය මෛත්‍රිය හෙවත් මිතුරුකමයි. අවි ආයුධ දසදහස් ගණනකට කළ නොහැකි දෙයක් මෙත්තාවට කළහැකි ය. අවි ආයුධ, ද්වේෂය, වෛරයතුළ සමාජය භේද භින්න වන අතර මෙත්තාව තුළ සමාජය එකතු වේ.

වෛරය හා ද්වේෂය අසමඟිය, අසහනය, අසන්තුට්ඨිය වැඩි කරයි. ඒ වෙනුවට මෛත්‍රියතුළින් සතුට සමඟිය සහනය සැලසේ. මිනිස් සිත්තුළ වෛරය ද්වේෂය ඉපදී එය වැඩීමේ ප්‍රතිඵල ලෙස වර්තමාන ලෝකය අවස්ථා දෙකක දී ඉතා දරුණු ලෙස ඇවිලිණි. තුන්වන අවස්ථාවක් නැවත ඇතිනොවේ යැයි සහතික විය නොහැක. එපමණක් නොව රටවල, ජනවර්ග, ආගම් අතර වරින් වර මේ තත්ත්වය දැකිය හැකි ය. ඒ සඳහා බලපෑම් සිදු කළේ මිනිස් මානසිකත්වයයි. එකිනෙකා පරයමින් කෙසේ හෝ කොහොම හෝ ජීවත් වීමට යාමේ ප්‍රතිඵල ලෙස මේ තත්ත්වය උදාවුණි. ඉතා පටු කාරණා බුද්ධියෙන් නොසිතීම මීට හේතුවයි. හැඟීම් ආවේග පාලනය කිරීම තුළින් ගැටුම් අවම කරගත හැකි ය. වෛරය සිත්තුළ පහළවූ විට මව පියා දරුවන් පවා නොහඳුනාගනී. එවන් චණ්ඩ සිතිවිල්ලක් ලේ ඥාතීත්වයෙන් පිට කාරණාවක් හා සම්බන්ධ වන්නේ නම්, කිනම් අපරාධයක් සඳහා මඟ පාදන්නේ ද යන වග අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මෛත්‍රියෙන් ඉවත්වීම මත ඇතැම් පාලකයන්ට රාජ්‍ය සේවය පමණක් නොව ජීවිතය පවා අහිමි වූ අවස්ථා ලෝක ඉතිහාසය තුළින් හඳුනාගත හැකි ය. හිට්ලර් ට අත්වූයේ එවැනි ඉරණමකි.

සමඟිය සහජීවනය සැකසීමට මෛත්‍රියට මහත් බලයක් ඇත. තමාට මෙන් ම තමාගෙන් පරිබාහිර ලෝකය හමුවේ හිතවත්ව ලෙන්ගතුව කටයුතු කිරීමේ ප්‍රබල හැකියාව මනසින් උසස් සත්වයාට උරුමව පවතී. තමාට යම් බලයක්, ශක්තියක් අවශ්‍ය සේ ම සමාජයේ අනෙකාට ද එසේ අවශ්‍ය බව සිතීම උසස් ගුණයකි. එමෙන්ම කෙනෙකු තමන්ට කරනවාට අකැමැති දෙයක් තමන් විසින් අනෙකාට සිදු නො කළ යුතු ය. ධර්මයෙහි මෛත්‍රිය එතරම් ම පුළුල් ය. ඉතාම කෙටියෙන් පවසන්නේ නම් අත්තූපනායික ධර්ම පර්යාය පදනම් කොටගෙන ජීවත්වීම මෙයින් අවධාරණය කෙරේ. ධම්මපදයේ දණ්ඩවග්ගයට අනුව මේ ලෝකයෙහි සියල්ලෝ ම දඬුවමට හිංසාවට බය අතර තමන් උපමා කොටගෙන එසේ සිදුනොකරන ලෙස සඳහන් වන්නේ එහෙයිනි. ලැබූ මිනිසත් බව ඉතා දුර්ලභ ය. බුදුරදුන්ගේ ජීවන දර්ශනයේ පදනම වූයේ ද මෙත්තාව, කරුණාව හා ප්‍රඥාවයි. උන්වහන්සේගේ එම කරුණාව මෛත්‍රිය ජීව අජීවි පරිසරයට එක හා සමාන වූවකි. එහිදී කුල, ජාති, ආගම් භේද සැලකිල්ලට නොගත්හ. මේ ලෝකයෙහි පහළ වූ පළමු බෞද්ධයා උන්වහන්සේ ය. සමාජයේ පුද්ගලයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවිධ ය. ඒ බව මැදහත්ව අවබෝධකොට ගත යුතු ය. එසේ නොමැතිව ආක්‍රමණශීලීව, සමාජ විරෝධීව කටයුතු නොකළ යුතු ය. බුදුරදුන් දේශනා කරනුයේ සත්ත්ව ඝාතනය, අනෙකාට හිංසා පීඩා කිරීම අනෙකා පිළිබඳ මෙත් සිතක් නොමැතිවීම වසල කමක් ලෙස ය. වසලබවට ජාතිය ආගම අයිති නොවේ. මෙය ඉතා පුළුල්ව තේරුම් ගැනීම අවශ්‍ය ය. ජාතීන් අතර ආගම් අතර, ඇතිවන ගැටුම් බුදුදහම ප්‍රතික්ෂේප කරයි. භික්ෂුවගේ වගකීම වන්නේ ද සුජාත බුද්ධ පුත්‍රයන් ලෙස ගැටුම් පාලනය සඳහා මැදිහත් වීමයි. වියට්නාම ජාතික ටිව් නට් හිමියන්ගේ ධර්මානුකූල ප්‍රකාශය භික්ෂුවගේ කාර්යභාරය පසක් කරන සුළුය. උන්වහන්සේ වරෙක මෙසේ ප්‍රකාශ කළහ.

“ඔබ අත තුවක්කුවක් ඇත්තේ නම් ඉන් එක් අයෙකුට දෙදෙනෙකුට තුන් දෙනෙකුට හෝ පස් දෙනෙකුට වුවත් වෙඩි තබා මරා දැමිය හැකි ය. එය විනාශයකි. අපරාධයකි. එහෙත් ඔබ යම් අන්තවාදී දෘෂ්ටියක පිහිටා, එය බොහෝ දෙනා අතර පතුරවමින් යයිද එයින් ඔබ සිදුකරන්නේ සිය දහස් ගණනින් පුද්ගලයින් විනාශ කර දැමීමකි. එය මහා ම අපරාධය වන්නේ ය.

තමන්ගේ ජාතිය, ආගම ශ්‍රේෂ්ඨය. අනෙක් ජාති ආගම් පහත් ය. එහෙයින් නැසිය යුතු ය. ඔවුන්ගෙන් රට ජාතිය ආරක්ෂා කර ගත යුතුය යන දෘෂ්ටියක පිහිටා මානවයා, විනාශකර දැමීම බුදුදහමට එකඟ නොවේ. බලය, ධනය වැනි පටු සීමාවන්තුළ පිහිටා මිනිස්කමට නිගරුවන අයුරින් කටයුතු කිරීම නුසුදුසු ය. එසේ කටයුතු කිරීමතුළ සමාජයෙහි බලවත් වන්නේ වෛරය ද්වේෂය සහ ඊර්ෂ්‍යාවයි. එය විනාශයේ මූල බීජය මිස දියුණුවේ අඩිතාලම නොවේ.

මෛත්‍රිය වැඩීමතුළ සමාජයට යහපත සැලසෙනවා සේ ම පුද්ගලයන් ලෙස සියල්ලන්ට යහපත් ආශිර්වාදය සැලසේ. මෙත්තානිසංස සූත්‍රයේ දී පමණක් ලැබෙන ආනිසංස 11 ක් පිළිබඳ සඳහන් වේ. වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත්වීමතුළ ඉන් පළමු හානිය සිදුවන්නේ සමාජයට හෝ අනෙකාට නොව තමන්ට ම ය. ජීව අජීව පරිසරය මානව යහපත සඳහා යොදා ගත යුතු ය. තම අවශ්‍යතා බඹරා මලෙන් රොන්ගන්නා සේ ඉතා ධාර්මික විය යුතු ය. ලොව ජීවත්වීමට ඇති අයිතිය සමාන ය.

තමා දෙස, තම දරුවන් දෙස බලන අයුරින් සමස්තය දස බැලීමට සියල්ලෝම පුරුදු විය යුතුම ය. එසේ නොවෙන විට මහත් ආරවුල් ව්‍යසන ඇතිවීම ස්වභාවික ය. බුදුරදුන් පහළවන සමාජයෙහි ආශිර්වාද ලබාගැනීම සඳහා පවා අන්‍ය ජීවිත විනාශ කරන ආකාරය දැකගත හැකි විය. යාග පුජාව ඊට කදිම නිදසුනකි. යාගය වෙනුවට බුදුරදුන් දානය අනුදැන වදාළේ එහෙයිනි. කෙනෙකු විනාශකොට පීඩාවට පත්කොට තවත් පිරිසකට ආශිර්වාද ලැබෙන බවක් නැති අයුරු මන්දමානසික මිනිසෙකුට පවා අවබෝධ වන කරුණකි. එවැනි වට පිටාවක ගහකොළ, ධාන්‍ය, සතා, සිව්පාවා, විනාශකොට ලැබෙන ආශිර්වාදය කවරාකාරද යන්න බුද්ධියෙන් විමසිය යුතු ය. දානය පරිත්‍යාගය, සුහදත්වය ගොඩනඟා ගැනීම සඳහා මහත් අස්වැසිල්ලකි. බොහෝ ගැටුම් ව්‍යසනයන්ට හේතුව වන්නේ මිනිසුන් පරිත්‍යාගශීලී නොවීමයි. පරිත්‍යාගශීලීත්වය, සෑම විටම පියවරක් පසුපසට ගැනීමට හිත හදාගන්නේ නම් බොහෝ ව්‍යසනයන් දුරුකරගත හැකි ය. ඒ සඳහා හොඳම ඖෂධය මෛත්‍රියයි. නිවස තුළ සමාජ සංස්ථා තුළ මෙන්ම රටවල් අතර හොඳහිත පළුදු වන්නේ මෛත්‍රිය, හිතවත්කම මානුෂීයබව තුරන්වීම නිසාවෙනි. සමඟිය, සාමය, සහජීවනය සහිත තෘප්තිමත් ජීවිත ගත කිරීමට තුන්දොර පාලනය කරගැනීම ඉතා අවශ්‍ය ය. මේ සඳහා මෙත් සිතින් කටයුතු කිරීම දෙලොව යහපත ඇතිකිරීමට සමත්වේ. ඒ සඳහා සැවොම වීර්යය කරත්වා.

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]