සත්තිගුම්භ ජාතකය: සත් පුරුෂ ඇසුරෙන්
දරුවන් විනය ගරුක වේ
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
දෙව්දත් තෙරුන් විසින් බුදුරදුන් නැසීම පිණිස ගිජුකුළු පව්වේ සිට ගලක් පෙරලීමේ
සිද්ධිය පසුබිම් කර ගෙන භික්ෂූන් අතර ඇති වූ කතිකාව මුල් කොටගෙන භාග්‍යවතුන් වහන්සේ
මෙම සත්තිගුම්භ ජාතකය දේශනා කොට වදාළහ. යටගිය දවස උත්තර පඤ්චාල නම් නුවර පඤ්චාල නම්
රජෙකු දැහැමින් රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ එක්තරා ගිරා රජෙකුට පුත්ව
උපන්නේය. බෝසත් ගිරවාට පසුකලෙක සහෝදරයෝ දෙදෙනෙක් ද වූහ. ඔවුන් වාසය කළ ආරණ්‍යයෙහි
ඉහළ ප්‍රදේශයේ සොරුන් පන්සියයක් වාසය කරන එක්තරා ගමක් ද පහළ ප්‍රදේශයේ පන්සියයක්
තාපසවරුන් වාසය කළ තාපසාරාමයක් ද පිහිටා තිබුණි.
එක් දිනක වේගයෙන් හමා ගිය දැඩි සුළගක් හේතුවෙන් එක් ගිරා පැටවෙකු ගසාගෙන ගොස්
සොරුන්ගේ ආයුධ මත්තෙහි වැටුණ අතර සොරු ඌ රැගෙන සත්තිගුම්භ යනුවෙන් නම්කොට තමා
සන්තකයේ තබාගෙන පෝෂණය කළහ. අනෙක් ගිරා පැටවා සුළඟින් ගසාගෙන ගොස් තාපසයන් වාසය කළ
ආරාමයෙහි මල් ගොඩක් මතට වැටුණ හෙයින් තාපසවරු ඌ රැගෙන පුෂ්පක යැයි නම් කොට පෝෂණය
කළහ. මෙසේ ගිරා පෝතකයන් දෙදෙනා වැඩෙන කල්හී පඤ්චාල රජු එක් දිනක් මුවන් දඩයම් කිරීම
පිණිස වනයට ගියේ, පිළිවෙලින් එම සොරුන් වසන ග්‍රාමයට පැමිණ ගමන් වෙහෙස දුරුකරගැනීම
උදෙසා එක්තරා ගසක් මුල නිදාගත්තේ ය.
ගිරා පෝතක කුපිත වෙයි
එකිනෙහිම සොරු, රජුගේ ආරක්ෂාවට රැකවල් ලා ගත්හ. එහෙත් සොරුන් ළඟ වැඩුණු ගිරා පෝතකයා
සොරුන් වෙත ගොස් දන්වා සිටියේ අසවල් ගස මුල සර්වාභරණයෙන් සැරසුණු මිනිසෙකු නිදා
සිටින බවත් ඔහු මරා ආභරණ පැහැර ගන්නා ලෙසත් ය. ගිරා පෝතකයාගේ විස්තර කථාව අනුව එක්
සොරෙක් රජු නිදා සිටින තැනට පැමිණ රජු හඳුනාගෙන එය කිසිසේත් නොකළ යුත්තකැයි පවසා
ආපසු යන්නට සූදානම් විය. තමාගේ ඉල්ලීම බැහැර කළ හෙයින් කුපිත වූ ගිරා පෝතකයා මිනිසා
සමඟ රණ්ඩු කිරීමට පටන් ගත්තේ ය. නින්දෙන් අවදි වූ රජු ඔවුන්ගේ බිහිසුණු වදන් අසා
බියපත්ව රථාචාර්යා සමඟ රථයට නැගී වහා පලායාමට සූදානම් විය. එවිට ගිරාපෝතකයා පලායන
රජු දැක මහත් හඩින් පරුෂ වදන් කියමින් රජු අල්ලා ගන්නා ලෙස සොර දෙටුවා ඇතුළු
පිරිසගෙන් ඉල්ලා සිටියේ ය. ගිරාපෝතකයා විසින් ඔබ මොබ පියාසර කරමින් පරුෂ වදනින් කෑ
ගසන අතරතුර රජතුමා වහා එම ප්‍රදේශයෙන් නික්ම තාපසවරුන් වසන ප්‍රදේශයට පැමිණියේ ය.
ආගන්තුක සත්කාරය
තාපසවරුන් පලවැල නෙළීම පිණිස වනයට ගොස් සිටි හෙයින් මෙම අවස්ථාවෙහි තාපාසාරාමයෙහි
වාසය කළේ “පුෂ්පක” නම් ගිරා පෝතකයා පමණි. රජු පැමිණෙනු දුටු පුෂ්පක ගිරා පෝතකයා ඔහු
වෙත ගොස් ආදර ගෞරව සහිතව පිළිගෙන තාපසාරාමයට කැඳවාගෙන ගොස් පලතුරු ආදියෙන් රජුට
සංග්‍රහ කළේ ය. පුෂ්පක ගිරවාගේ ආගන්තුක සත්කාරය විඳී රජු ඌ කෙරෙහි මහත් සේ
ප්‍රසාදයට පත් වූ අතර එහි පැමිණීමට පෙර තමාට මුහුණ දීමට සිදු වූ අනතුරු සියල්ල
නොවළහා ගිරාපෝතකයාට ප්‍රකාශ කළේ ය. සියල්ල අසා සිටි පුෂ්පක ගිරා පෝතකයා පැවසුවේ
රජුට සැහැසිව කථාකළ ගිරාපෝතකයා හා තමන් එක් මවකගේ දරුවන් බවත් එහෙත් දෙතැනක
වෙසෙමින් ලද ඇසුර හේතුවෙන් තම සොහොයුරා ප්‍රචණ්ඩ අයෙකු වූ බවත් තමා තාපසවරුන්ගේ
ඇසුර නිසා කාරුණික සත්පුරුෂයෙකු වූ බවත් ය.
හොඳට නරකට දෙකටම
අනතුරුව ගිරා පෝතකයා විසින් රජු අමතා ඇසුර හේතුවෙන් පුද්ගලයෙකු යහපත් අයෙකු මෙන්ම
අයහපත් අයෙකු බවට පත්වන ආකාරය පැහැදිලි කරමින් අගනා ධර්ම දේශනාවක් ද කරන ලදි. එම
ධර්ම දේශනාව අනුව, යම් ශිෂ්‍යයෙක් ගුණවත් සිල්වත් ගුරුවරුන් ඇසුරු කරන්නේ නම්, එම
උතුමන්ගේ සද් ගුණ ඔහු තුළ ද මනාව පිහිටන අතර දුශ්ශීලයන් වෙත වැඩෙන ශිෂ්‍යයා
දුශ්ශීලයෙකු වේ. එසේම අසත් පුරුෂ දුශ්ශීල මිතුරන් ඇසුරු කරන්නා ද එසේ වේ. මේ අනුව
නරක ගුරු ආශ්‍රය මෙන් ම නරක මිතුරන්ගේ ඇසුර ලද තැනැත්තා නරක අයෙකු බවට පත් වේ. එසේම
සත් පුරුෂයන් හා කල්‍යාණ මිත්‍රයන් කොතෙක් ඇසුරට ලැබුණත් අසත් පුරුෂයා තුළ සද් ගුණ
නොපිහිටන අතර කිසි කලෙකත් සත් පුරුෂයෙකු බවට පත් නොවේ. එසේ ද වුව සත් පුරුෂයා
කොතෙක් අසත්පුරුෂයන් සේවනය කළ ද තමාගේ සත්පුරුෂ ගුණ කිසිවිටෙකත් එයින් කෙලසා නොගනී.
කොතෙක් බාධක පැමිණිය ද සද් ගුණයෙහිම පිහිටා කටයුතු කරයි. කුස තණ අගින් කුණුමස්
ස්ඵර්ශ කළොත් කුස තණ අග වුව දුර්ගන්ධ වන්නේය. සඳුන් ආදිය දරණ ලද බඳුනෙහි පවා එම
සුවඳ රැඳී පවතින්නේ ය. එමෙන් අසත්පුරුෂ අනුවණයන් ඇසුරෙන් තමා ද කිළිටි වන්නේ ය. සත්
පුරුෂ නුවණැතියන් ඇසුරෙන් තමා ද නැණවත් සත් පුරුෂයෙකු වන්නේය. එබැවින් අසත්
පුරුෂයන්ගේ ඇසුර දුරුකළ යුතු බවත් සත් පුරුෂයන්ගේ ඇසුර ප්‍රාර්ථනා කළ යුතු බවත්
ප්‍රකාශ කරමින් ගිරා පෝතකයා තම ධර්ම දේශනාව නිම කළේ ය. ධර්ම දේශනය නිමා කරත් ම
පලවැල සඳහා වනයට ගිය තාපසවරු ආරාමය කරා පැමිණියහ.
ගිරවුන්ට අභය දානය
තාපසවරුන් කෙරෙහි පැහැදුණු රජු ඔවුන්ට නමස්කාර කොට තම රාජධානියට වඩින ලෙස ආරාධනා
කොට පිටත්ව ගියේ ය. ස්වකීය රාජධානිය බලා ගිය රජු අනතුරුව රාජ සභාව ඉදිරියේ මුව
දඩයමට ආරණ්‍යයට යාමෙන් තමන්ට මුහුණ දීමට සිදු වූ සියලු පුවත් ගෙනහැර දක්වමින්
පුෂ්පක ගිරාපෝතකයා පිළිබඳ ගුණකථනයක් ද කළේය. පුෂ්පක ගිරා පෝතකයා කෙරෙහි ඇතිකරගත්
ප්‍රසාදය නිසා තම රාජධානියේ ගිරවුන් ඝාතනය කිරීම තහනම් කරමින් ගිරවුන්ට අභය දානය
දෙවීය. රජුගේ ආරාධනය පරිදි තම නුවරට පැමිණි තාපසවරුන්ට රාජකීය උයනෙහි පන්සල් කරවා
සිව්පසයෙන් උපස්ථාන කළ අතර එම සද් චාරිත්‍රය රාජ පරම්පරා සතක් දක්වා පැවතීයැයි
දක්වමින් බුදුරජාණන් වහන්සේ ජාතක කථාව නිමාකොට වදාළහ.
ආශ්‍රය කෙනෙකුගේ චරිත සංවර්ධනය කෙරෙහි බලපාන බව මෙම ජාතක කථාවෙන් ඉදිරිපත් කෙරෙන
පරමාදර්ශයයි. පුෂ්පක ගිරා පෝතකයාගේ ධර්ම දේශනයෙන් එය සනාථ වේ. වර්තමාන කථාවෙන්
ඉදිරිපත් කෙරෙන්නේ දේවදත්ත හිමියන්ගේ සැහැසි චර්යාවයි. බුදුරදුන් වැනි උතුම්
කල්‍යාණ මිත්‍රයෙකු ඇසුරු කළ ද, ඒ හිමියන්ට තමන්ගේ දුර්ගුණ වෙනස්කරගත නොහැකි විය.
බුදුරදුන් කෙරෙහි පැවතී වෛරය අවසන් වූයේ පොළොව පලාගෙන අවීචියට යාමෙන් එවැනි නරකයක
උපත ලැබීමට හේතුවූයේ බුදුරදුන් කෙරෙහි අප්‍රසාදයට පත්වීම මෙන් ම උන්වහන්සේට කායික
හා මානසික වශයෙන් පීඩා කිරීම ය.
එක මවකගේ දරුවන් දෙදෙනා
ඇසුරට ලැබෙන පුද්ගලයාගේ ගතිගුණ මෙන්ම ඔහු හෝ ඇය වාසය කරන පරිසරයත් කෙනෙකුගේ විනය හා
සදාචාරය කෙරෙහි බලපායි. ජාතක කථාවේ එන එකම ගිරා මවකගේ දරුවන් වන ගිරාපෝතකයන්
දෙදෙනාගේ හැසිරීම කෙරෙහි ඔවුන් ඇසුරු කළ පුද්ගලයන්ගේ චර්යාව බෙහෙවින් බලපා තිබේ.
කුඩා කාලයේ සිට පුරුදු පුහුණු කෙරෙන සිරිත් විරිත් පසුව පුරුද්දක් බවට පත් වේ. එය
හොඳ පුරුද්දක් වුවහොත් පුද්ගලයාට මෙන්ම සමාජයටත් හිතකර ය. එහෙත් නරක පුරුද්දක්
වුවහොත් එයින් විශාල හානියක් සිදුවේ. කුඩා කාලයේ සිටම දුම්පානයට හා මත් වතුර පානයට
යොමුවන පුද්ගලයන් පසුව එයට ඇබ්බැහි වන ආකාරය දැකිය හැකි ය. සෙසු නරක පුරුදු
සම්බන්ධයෙන් ද මෙය සාධාරණ ය. මෙම තත්ත්වය ගැන වැඩිහිටියන් මැනවින් වටහාගත යුතුවේ.
හැම විටම දරුවන් තුළ යහපත් මෙන් ම හොඳ පුරුදු ඇතිකිරීම වැඩිහිටියන්ට පැවරෙන
වගකීමකි. නිවසේ දී මෙන්ම පාසලේදීත් යහපත් සිරිත් විරිත් පුරුදුවන දරුවාගේ අනාගතය
සුභදායක ය. චරිත දෙකක වෙනස
එසේ ම එවැනි දරුවන් විනය ගරුකය.
සදාචාර සම්පන්නය. පුෂ්පක හා සත්තිගුම්බ යන ගිරාපෝතකයන් දෙදෙන සන්සන්දනය කිරීමෙන්
චරිත දෙකක පවතින වෙනස මැනවින් වටහාගත හැකි වේ. සත්තිගුම්බ විනයෙන් පිරිහුණු
ප්‍රචණ්ඩ පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ කියා පායි. එසේ වීමට හේතුව පැහැදිලි ය. සොරුන්
ඇසුරේ වෙසෙන්නෙකුට කවර නම් සද් ගුණයක් පුරුදු වේ ද? පුෂ්පකගේ චරිතයෙන් විනය ගරුක
පුද්ගලයෙකු සංකේතවත් වන අතර එවැන්නෙකුගේ ආචාරශීලිත්වය සංග්‍රහශීලිත්වය හා ප්‍රඥාවේ
ස්වභාවය තවදුරටත් ප්‍රකට වේ. රටකට අවශ්‍ය කරන්නේ සත්තිගුම්බ වැනි දාමරික, විනය
පිරිහුණු සදාචාරයෙන් පිරිහුණු දරුවන් හෝ වැඩිහිටියන් නොවේ. පුෂ්පක වැනි විනයගරුක
සංග්‍රහශීලි කාරුණික බුද්ධිමත් දරුවන් ය. එවැනි දරු පිරිසක් නිර්මාණය කිරීමට නම්
ඔවුන්ට මඟ පෙන්වන ආදර්ශමත් යහපත් සත්පුරුෂ විනයගරුක දෙමාපිය, ගුරු දෙගුරු, වැඩිහිටි
පිරිසක් ද අවශ්‍ය වේ.
|