උඳුවප් පුර අටවක 2017.11.26
දියුණුවට බාධක ගෙනෙන භේදය
ක්‍රෝධය, වෛරය යනු ළාමක අකුසල සිතිවිලි ය. ඒවා සිතෙහි බලවත් වූයේ නම්, තමන්ට තමන්
කවුදැයි අමතක වන්නේ ය. එවැන්නෝ පින පව නොදනිති. ධර්මය,අධර්මය නොදකිති.සාධාරණය,
අසාධාරණය නොහඳුනති. තවත් විදියකින් කියනවා නම්, මිනිස් වෙසින් සිටින අමනුෂ්‍යයෝ බවට
පත්වෙති. පාලනය කරගත නොහැකි වෛරයේ ප්‍රතිඵලය, ක්‍රෝධයේ අවසානය සාමය බිඳ වැටීම ය.
පළමුව ව්‍යාකූල වූ සිත තමන් තුළ සාමය බිඳ දමයි. එතැන් සිට පවුල තුළ, ගම, සමාජය තුළ
ආරවුල් ඇති කරයි. ඇතැම්විට අළු යට සැඟවගත් ගිනි පුපුරු සේ , සඟවා ගත් වෛරී සිතිවිලි
කවර මොහොතක හෝ මහා ගින්නකින් ඔවුනොවුන් දවාලයි. ඉවසුම් නොදන්නෝ ද එහි පැටලෙති. තව
තවත් ගිනි අවුළුවති.
එවැනි ගිනිවලින් දැවුණු අය, දැවෙන අය කොතෙකුත් ය. ඇතැම්විට මහා ව්‍යසනයකට මුල සුළු
අත්වැරැද්දකි. කුඩා අතපසුවීමකි. හොඳින් සිතා බලා කටයුතු කළ හැකි මනුෂ්‍යයන් අතරට
එවැනි දේ අනුචිත ය. එහෙත් සමහර වැඩිහිටියෝ ඒ නරක ආදර්ශය බාල පරපුරටද ලබා දෙමින්
අනුචිත දේ ම කරති.
නිවසක අම්මා, තාත්තා, විරසක නම් ක්‍රෝධයෙන්, වෛරයෙන් ඔවුනොවුන් කටයුතු කරන්නේ නම්
දරුවන් නිරවුල් මනසකින් කටයුතු කරනවා යැයි සිතන්නේ කෙලෙස ද? අසල්වැසියන් සමඟ,
පන්තියේ මිතුරු මිතුරියන් සමඟ ඔවුන් ආරවුල් ඇති කරගැනීම සාමාන්‍ය ය. අනාගතය
ගොඩනැඟෙන්නේ ද ඒ මානසිකත්වයෙන් ම ය.
ගුරුවරයෙක් ශිෂ්‍යයාගේ වරදට දඬුවම් දිය යුතු වන්නේ කෝපයෙන් හෝ වෛරයෙන් නොවේ. දරුවා
යහමඟට ගැනීමේ සද් බලාපොරොත්තුවෙන් ම ය. සමහර දරුවන් තම අම්මාටත්, තාත්තාටත් වඩා
ගුරවරුන්ට පි‍්‍රය ය. දේවත්වයෙන් ම පුදන්නේ ය. දෙවිවරුවන් ගුරුවරුන් ද බොහෝ ය.
ඔවුන් වෙතින් කිසි විටෙකත් දරුවාගේ යහපතට මිස අයහපතට වැඩ සිදු වන්නේ නැත. එහෙත්
කලාතුරකින් ළමා සිත නොහඳුනන, ඔවුන්ට මානසික පීඩා ගෙන දෙන අයද ඇත. එවැනි සිදුවීම්
නිසා වන පීඩා දරනු නොහැකිව හය හතර නොතේරෙන දරුවන් පවා ජීවිතය විනාශ කරගත් බවට
සිදුවීම් පසුගිය දින වල වාර්තා විය. ඇතැම්විට ඒ සුළු වරදක් විය හැකි ය. එක්කෝ වරදක්
නොකළා වීමට ද පුළුවන. මේ නිසා ඉවසුම් සහගතව, දරුවාගේ මනසට බලපෑමක් නොවන ලෙස වරදට
දඬුවම් දෙන්නට යොමුවිය යුතුව ඇත.
ගැටුමෙන්, මත භේදයෙන් අයහපත මිස යහපත සිදු වන්නේ නැත. එවැනි පවුලක්, ගමක්, රටක් ගැන
ආඩම්බර විය හැකි කාට ද? එවැනි රටක් දියුණු වන්නේ කෙලෙස ද? අඩුම තරමේ නිදහසේ හුස්මක්
ගන්නට පවා නොහැකි ය. මේ නිසා උසස් මනසක් ලද මනුෂ්‍යයන් ලෙස නැවත ,නැවත මේ පිළිබඳව
සිතීම ඇතැම් සමාජ සිදුවීම් දෙස බලන විට වඩාත් කාලෝචිත ය. වර්ධනය කරගත් ඉවසීමෙන්,
දුර දක්නා නුවණින් කල්පනා කිරීමෙන්, හැසිරීම් හසුරුවා ගැනීමෙන් සියදිවි නසා ගැනීමේ
සිට දරුණු යුද ගැටුම් ඇතුළු කොට බොහෝ ව්‍යසන වළකා වඩාත් යහපත් සමාජයක් අපට ම
නිර්මාණය කර ගැනීම අපහසු වන්නේ නැත.
ධම්ම පදයේ යමක වග්ගයේ දී අපේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනාකොට වදාළේ කෝලාහල කරන
අය, ඉන් කවදා හෝ නැසෙන්නේ තමන් ම බව නොදන්නා බව ය. එසේ කල්පනා කරනවා නම් කල කෝලාහල
බොහෝ සෙයින් මඟ හැරෙන බව ය. විවේකී මනසින්, නුවණින් කල්පනා කළේ නම් එහි සත්‍ය කුඩා
දරුවකුට වුව වැටහෙනු ඇත. තමන් අත්විඳි, සමාජයේ අසා දුටු දේ සමඟ ගලපා සංසන්දනය
කිරීමෙන් කෝපයෙන්, වෛරයෙන් කළ කම් අර්ථ ශූන්‍යය බව,අසහනයක් මිස සහනයක් ඉතිරි නොකළ
බව වටහා ගැන්ම අපහසු නොවනු ඇත.
බොහෝ විට වෛරය, ක්‍රෝධය, තරහව වැනි සිතිවිලි ඇති වන්නේ වැරැදි ආකල්ප නිසා ය. පසුගිය
දිනෙක මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගි වූ
අවස්ථාවේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කළ කතාවේ එක් සිදුවීමක් ගැන කියැවුණි.
එය පිටරටක වූ සිදුවීමකි. දිනක් පොදු බස් රථයක දරුවන් තුන්දෙනෙක් හඬමින් සිටියහ.
ඔවුන් ගේ පියා අසුනකට වී නින්දේ ය. දරුවන්ගේ හැඬීම මගින්ට හිරිහැරයකි. පියාගේ නින්ද
ඔවුන් කෝපයට පත් කළේ ය. ‘ඇයි මේ දරුවන්ගේ හැඬීම නවත්වන්නේ නැත්තේ” ඉවසුම් නැති
මගියෙක් කෑගසා කීවේ ය. තාත්තා සෙමෙන් ඇස් ඇරියේ ය. “මගේ බිරිඳ, මේ දරුවන්ගේ අම්මා
මොහොතකට කලින් රෝහලේ දී මිය ගියා. මම මේ දරුවන් සමඟ ගෙදර යන්නේ මළගමේ කටයුතුවලටයි”.
ඔහු කීවේ ය. ඉන් පසු මගීහු ඔවුන්ට අනුකම්පා කළහ.මේ කතාව සටහන් කළේ ඉන් දෙන පණිවුඩය
ඉතා වටිනා බැවිනි. මතුපිටින් බලාගන්නා තීන්දු තීරණවල ප්‍රතිඵලය බොහෝ ශෝකජනක විය
හැකි ය. පවුලක වේවා, ගමක රටක වේවා සංහිඳියාවට , සාමයට එවැනි තීරණ නොගැලපෙන්නේ ය.
|