UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කන්නිමඩුවේ ධම්මිස්සර නා හිමි

කන්නිමඩුවේ ධම්මිස්සර නා හිමි

සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස කන්නිමඩුවේ ශ්‍රී රාජගිරි මහසෙන් රජමහා විහාරයේ සම්මාන විහාරාධිපතිධුරය දරමින් වසර 101 ක් ආයු වින්දනය කරමින් සිට සැප්තැම්බර් මස 16 වැනි දින අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී පණ්ඩිත කන්නිමඩුවේ ධම්මිස්සර මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ බොදු මහ ජනතාවගේ නොමද ගෞරවාදරයට පාත්‍රව වැඩ විසූහ.

හොරොව්පොතාන උඩ්ඩියන්කුලම කෝරලයේ හුරුළුවැව කන්නිමඩුව නම් ග්‍රාමයේ කන්නිමඩුවේ කපුරාල ලේකම්ගේ මල්හාමි වෙල් විදානේ සහ නිකගහවැව මහරඹාවැව කපුරාල ලේකම්ගේ කළුහාමි යන දම්පතීන්ට දාව 1917 පෙබරවාරි 23 වැනි දින මෙලොව එළිය දුටු කුමරුවා නමින් හේරත් මුදියන්සේලාගේ මල්හාමිගේ පුංචිරාල විය.

ගලෙන්බිඳුණුවැව විද්‍යාලය මෙම කුමරුවා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මුල්ම ශාස්ත්‍ර ශාලාව විය.

විසිවයස් සපිරුණු මෙම තරුණ පුතනුවන් පුරාකෘත පුණ්‍ය මහිමයන් ක්‍රියාත්මක වීමෙන් පැවිදි දිවියට මහත් අභිරුචියක් දක්වන ලදී. මේ නිසා කන්නිමඩුව ශ්‍රී රාජගිරි මහසෙන් රාජමහා විහාරාධිපතිව වැඩ විසූ බඹරහෙලේ ශ්‍රී ධම්මරතන නා හිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1938 සැප්තැම්බර් 09 වැනි දින කන්නිමඩුවේ ධම්මිස්සර නමින් පැවිද්ද ලැබූහ. මුන් වහන්සේගේ පැවිදි සහෝදරයාණන් වූයේ කන්නිමඩුවේ ධම්මපාල නා හිමියන්ය.

භික්ෂු ජීවිතයට අවශ්‍ය වත් පිලිවෙත් ගුරු ඇසුරින් ප්‍රගුණ කළ ධම්මිස්සර හෙරණපාණෝ පැවිදි වී මාස 2 කට පසුව මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා අනුරාධපුර රුවන්වැලිසෑ මහා විහාර පිරිවෙනට ඇතුලත්ව දෙවසරක් තුළ එය නිම කරන්නට සමත්වූහ.

1942 ජුනි 12 වැනි දින ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරිය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා සීලයෙහි පිහිටන ලදී. එදින එය නිමිති කොට “රත්නත්‍රයාභිනන්දන, පුජ්‍ය වස්තු වන්දනා”ආචාර්ය උපාධ්‍යාය නමස්කාර පූර්වකව පාලි හා සිංහල භාෂාවෙන් “පජ්ජාරවින්දං” නමැති පද්‍ය ග්‍රන්ථයක්ද සකස් කොට, අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ අනුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව වෙත පිළිගන්වන ලදී.

1942 වර්ෂයේ සිට 1949 වසර අවසානය දක්වාම මහනුවර සංඝරාජ පිරිවෙන්හි ඉගෙනුම ලැබු අවිදියේ සෑම වර්ෂයකදීම වාර විභාග ඇතුළු සැම විභාගයකින්ම ගෞරව පන්තියේ පළමු වෙනියා වශයෙන් සාමාර්ථය ලබන්නට යෙදුනාහ. 1945 වර්ෂයේ පළමු වරට රජයේ අනුග්‍රහයෙන් ප්‍රාචීන භාෂෝපකාර සමිතිය මගින් පවත්වන ලද ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ගෞරව පන්තියේ ප්‍රමුඛයා වශයෙන් සමත්වී සිංහල, පාලි, සංස්කෘත යන භාෂාත්‍රයෙන් ප්‍රමුඛයාට හිමිවන අමරසූරිය ත්‍යාගයත්, ප්‍රභූනන්ද ත්‍යාගයත්, කරුණාතිලක ත්‍යාගයත් දිනා ගන්නට සමත් විය. නැවත 1948 දී ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් සිංහල, පාලි, සංස්කෘත, දෙමළ යන භාෂා හතරින්ම ප්‍රථම පන්තියේ ප්‍රමුඛයා වශයෙන් සාමාර්ථය ලදහ. පසුකලෙක ප්‍රාචීන ප්‍රාරම්භ අවසාන විභාගයෙන්ද, රාජකීය පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලැබූහ.

1951 වර්ෂයේ පල්ලේවල වල්බෝලානේ වික්‍රමශිලා පිරිවනේ ගුරුවරයෙකු බවට පත් මුන් වහන්සේ වසර දෙකක සේවා කාලයකින් අනතුරුව 1953 වර්ෂයේ නිට්ටඹුව බෞද්ධ අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව පුරා වසර දෙකක ගුරු පුහුණුව ලබා ඇත. 1962 වර්ෂයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාලි, බුද්ධ ධර්මය, ශුද්ධ ගණිතය යන විෂයන්ගෙන් සමත්ව ශාස්ත්‍රවේදි උපාධිය දිනාගන්නට යෙදුනි. 1951 සිට 1953 දක්වා පල්ලෙවෙල වික්‍රමශිලා පිරිවෙන, 1955 සිට 1962 දක්වා අක්මීමන අත්ථදස්සි විද්‍යාලයය, 1965 සිට 1970 දක්වා වග පින්නවල රාජපොළ මහා විද්‍යාලයය, 1970 සිට 1975 දක්වා ඇඹිලිපිටිය මහා විද්‍යාලයය යන විද්‍යාලයන්හි සේවය කොට 1975 ජුනි 18 වන දින ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ.

උන්වහන්සේ සේවය ලබා දුන් දහම්පාසල් අතරින් මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාම දහම්පාසල, වල්බෝලාන දහම් පාසල, ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රේවත දහම් පාසල ඉන් සමහරක් පමණි.

වෙසක් මඟුල් දින හෙවත් බුද්ධ චරිතය” කවි පොත සහ “එළු සඳස් ලැකි ලකුණින්” ඡන්දස් අලංකාර පිළිබදව ශිෂ්‍ය ජීවිතයේදීම ලියන ලද්දකි. මෙම කෘති මුන්වහන්සේගේ කුසලතාවන් ප්‍රකට කරවයි.

සිංහල, පාලි, සංස්කෘත , දෙමළ හා ඉංගී‍්‍රසි , හින්දි භාෂා පිළිබඳ හසල දැනුමක් ඇති වියත් පඬිරුවනක් වූ මුන්වහන්සේ දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්වූ වාර ගණන අපමණය. තමන් පැවිදිවී හැඳි වැඩුණු තම ගමේ පන්සලේ විවිධ විහාරාංග ඉදිකරන අවස්ථාවලදී මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරමින් සුවිශේෂි ශාසනික මෙහෙවරක් ඉටු කළ අතර 1976 සැප්තැම්බර් 26 වැනි දින මහා විහාරයන්හි මහා සංඝරත්නය වැඩමවා පොහොය සීමාවක් පිහිටුවා එහි වැඩ නිම කරන්නට නොමසුරු දායකත්වය සපයන ලදී.

තම ආචාර්ය කන්නිමඩුවේ ශී‍්‍ර රාජගිරි මහසෙන් රාජමහා විහාරාධිපති මධ්‍යම හුරුළු පළාතේ ප්‍රධාන සංඝ නායක බඹරහොලේ ධම්මරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත් වීමෙන් දස වසක් පිරීම නිමිති කොට ශතාධික මහා සංඝ රත්නය වැඩමවා සංඝගත දක්ෂිණාවක් පිරිනමා ගුරු පූජාවක් පවත්වන්නට යෙදුනි. තමන් වහන්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ හා ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ද දීර්ඝ කාලයක් නේවාසිකව සිටි ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් විහාරස්ථානයට මෙන්ම විහාරාධිපති බෝරුක්ගමුවේ ශ්‍රී දේවමිත්ත නා හිමියන්ට හා වත්මන් විහාරාධිපති තබ්බෝවේ ආනන්ද නා හිමියන් කෙරෙහි දැක්වූයේ කෘතවේදී පුර්වක ගෞරවයකි. උන්වහන්සේගේ සිසු පිරිස වත්මන් විහාරාධිපති මධ්‍යම හුරුළු පළාතේ ප්‍රධාන සංඝ නායක කන්නිමඩුවේ ධම්මසිද්ධි නාහිමි. අ/මහගස්වැව නවෝද්‍යා පාසලේ ආචාර්ය කන්නිමඩුවේ ධම්මානන්ද හිමි. උඩියක්කුලම නිකවැව වාපිකාරාමාධිපති මහමැදගම ධම්මජෝති හිමි. රැළපනාවේ ධම්මරංසි හිමි. කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී නිකවැවේ ධම්මාලෝක හිමි. කෝන්වැවේ විද්‍යාලයේ ආචාර්යය ශාස්ත්‍රවේදී නිකවැවේ ධම්මකිත්ති හිමි වෙහෙරගල ධම්මතිලක හිමි වේ.

1981,1983 වර්ෂවලදී දඹදිව බුද්ධ භූමි වන්දනා කටයුතු සිදු කොට කුසල් රැස්කර ගත්හ. වසර ගණනාවක් තිස්සේ විහාරස්ථානවල කඨින සිවුරු මැසීමාදිය සිදුකරන ලද්දේ හද පිරි සතුටකිනි.

මේ අයුරින් අමිල සේවාවන් රැසක් ඉටු කරමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් වසර 101 ක් වැඩ සිට අපවත්වී වදාළ කන්නිමඩුවේ ධම්මිස්සරාභිධාන පණ්ඩිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා!පඩිකාර මඩුව ශ්‍රී ජයවර්ධනාරාමයේ දී නොවැම්බර් මස 18 වන දින ධර්ම දේශනාවක් සහ 19 වන දින 101 ක් නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]