මිනිසත්කමේ වටිනාකම
මාස්පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්ථානවාසී
කු / නික / වාරි රත්මලේ
රතනසෙල මහ පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර
රතනවංස හිමි
පමා වීම සෑම අංශයකින් ම බිඳ වැටීමට හේතු වන කරුණකි. දෛනික ජීවිතය තුළ වුව ද ප්‍රමාද
වුවහොත් වැඩ කටයුතු අතපසු වී ජීවිතය බිඳවැටෙනු ඇත.
පමා වූවන් හා මළවුන් එක සමාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මැරුණ මිනිසෙක් තුළ
ප්‍රාණ වායුව නොමැත. උෂ්ණය නොමැත. හරියට වියළී ගිය දර කඩක් බඳු ය. එලෙසම අප්‍රමාද
වූ පුද්ගලයා සිහි මුලාවෙන් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන පංචේන්ද්‍රියන්
පිනවීමටම උත්සාවත් වෙති. කම් සැපයෙහිම ඇලෙති. ගැටෙති. ඒ මතම ඉඳ විනාශ වෙති. කුසල්
දහම් කිරීමට තබා ඒ පිළිබඳ සිතීමක්වත් ඔවුන් තුළ නොමැත. ඒ නිසාම මරණය වැළැක්වීමේ
පිළිවෙතට යොමු නොවී සසර ජාති ජරා මරණාදී දුක විඳිමින් මැරි මැරී උපදිති.
අප ජීවත් වන්නේ පුංචි කාලයකි. එම කාලයත් එදිනෙදා කටයුතු සඳහා වෙන් වීමේ දී අපට කම්
සැප විඳිමින් මේ භයංකාර සසර සැපතක් ලැබිය හැකි ද? ඒ බව ප්‍රත්‍ය ශතකය තුළ මැනවින්
ඉදිරිපත් කොට ඇත.
“මනුෂ්‍යයාට පරමායුෂ සියයෙක් වන්නේ ය. එයින් භාගයක් රාත්‍රියෙහි ගෙවී යන්නේ ය.
එයින් දෙභාගයක් බාල, මහලු, වයස් වන්නේ ය. අවශේෂ භාගය ද රෝග, පීඩා, වියෝ දුක්, මරණ
සේවාදිගෙන් ගෙවී යන්නේ ය. එසේ හෙයින් චංචල වූ රළපතරක් මෙන් වසන සතත්වයාට සැපයක් නම්
කොයින් ද?”
මේ අනුව තහවුරු වන්නේ සත්වයාට පුංචි කාලයක් ගෙවීමට ඇති බැවින් එය සැපයක් සේ සිතීම
අනුවණ කමක් බවයි. අපට ඇති පුංචි කාලය තුළ සිහි නුවණින් ජීවත් වීමත්, පින් දහම් සිදු
කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. එවැනි ජීවිත ගත කරන්නන් ප්‍රමාද වීම යන වචනයට හසු
නොවෙති. ඔවුන් තම ජීවිතය තුළ ලද ජයග්‍රහණය පිළිබඳ නිරන්තරයෙන් සතුටු වෙති. දුර්ලභව
ලද මේ ජීවිතය කම් සැපයට යොමු කොට හිස් මිනිසෙක් ලෙස ජීවත් වී මිය යන්නේ නම්, ඔවුන්
ප්‍රමාද වූ ගණයට අයත් වන අතර ම ඔවුනට උරුම වන්නේ ද නැවත නැවත මැරි මැරී ඉපදීම පමණි.
ඔවුන් පිළිබඳ හිතෝපදේශය තුළ ද හොඳින් පැහැදිලි කොට ඇත.
නූපන්, මියගිය, මෝඩ යන මොවුන්ගෙන් මුලින් කී දෙදෙන උතුම්ය. අන්තිමයා උතුම් නොවේ.
මුලින් කී දෙදෙන වරක් දුක් ඇති කරති. අන්තිමයා වනාහි පියවරක් පියවරක් පාසා දුක් ඇති
කරති.
මළ මිනිසා තුළ සජීවී බවක් නැත. ඔහු දර කඩක් බඳුය. අතපය, වචනය කන් නාසා ඉන්ද්‍රියෝද
ක්‍රියාත්මක නොවෙති. ඔහුට කළ හැකි දෙයක් නොමැත. මිනිසත්කමක් ලැබුවද බොහෝ දෙනෙක් එහි
වටිනාකම නොදනිති. එයින් නිසි ප්‍රයෝජන නොගනිති. පින් දහම්වල නොයෙදෙති. යුතුකම් ඉටු
නොකරති. ධර්මය ග්‍රහණයට ලැබීමට උත්සාහවන්ත නොවෙති. එවැනි හිස් මිනිසුන් ජීවත් වුවද
මළවුන් හා සමානය. ඔවුන්ගෙන් අනුන්ටද ඵලක් නොවෙති. මෙලොවට යහපතක් නොකර ගන්නා ඔවුන්
පරලොව ද සතර අපා දුක්වලට පත්වෙති.
මේ බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මේ යුගය තුළ ඉපදෙන සත්ත්වයින් පින්වන්තයෝ ය.
නමුදු තම තමන්ගේ ජීවිතවලත් අන් අයගේ ජීවිතවලත් වටිනාකම් නොදත් බොහෝ දෙනෙක් සත්ත්ව
සමූහයාටත්, ස්වභාවධර්මයටත් අහිත පිණිස, අවැඩ පිණිස බොහෝ දුෂ්ඨ කම් කරති.
ධර්මානුකූලව සිතීමේ දී කොතරම් බාධක සමූහයක් ඔස්සේ මේවැනි මිනිසත් බවක් ලබා ඇත්තේ ද
යන වග පැහැදිලි වේ. ලෝවැඩ සඟරාවෙහි ඒ බව පැහැදිලි කොට ඇත.
සියල් සසර දුක් දුරු කර නොයෙකී
අසල් කරන මොක් සිරිසැප නිසැකී
සියල් සතුනිපින් කරවයි මුනිකී
නොකල් අටකි පින්කම් කළ නොහැකී
'සිරි සැපත ළඟා කරන්නා වූ පින් සියල් සතුනි කරවයි' බුදුන් වහන්සේ වදාළ සේක. එහෙත්
පින්කම් කළ නොහැකි නොකල් අටකි. තිරිසන් යෝනිය, ප්‍රේත විෂයය, දීර්ඝායුෂ ඇති
ද්‍රව්‍ය නිකාය පසල් දනව්වක ඉපදීමය, දුෂ්ප්‍රාඥයෙකු වීමය. මිථ්‍යාදෘෂ්ටික වීමය.
අබුද්ධෝත්පාද කාලයක් වීමය යන අට අෂ්ට දුෂ්ටක්ෂණ නොහොත් පින් කිරීමට නොහැකි අවස්ථා
හා කලා වශයෙන් පැහැදිලි වේ.
එම අටට හසු නොවී මිනිසත් බවක් ලබා තිබීම දුර්ලභව ලද වාසනා මහිමයකි. නමුදු බොහෝ
දෙනෙක් එම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගනිති. ජීවත් වනවාට ජීවත් වීම, කම්සැපයට
ගිජු වීම, අකාලයේ ජීවිතය විනාශ කර ගැනීම, පින් දහම් නොකිරීම, යුතුකම් ඉටු නොකිරීම
මිනිසත්කමේ වටිනාකම නොතේරුම් ගත් සත්වයින්ගෙන් සිදු වේ. ඒ අනුව ඔවුන් ප්‍රමාද වූවන්
ලෙස බුදුදහමේ හඳුන්වා ඇත. ජීවිතයක සැබෑ තත්ත්වය තේරුම් ගෙන ජීවත් වීම ප්‍රඥාවන්ත
අයගේ ලක්ෂණයකි. දුෂ්ප්‍රාඥයින් නිතරම සිය නුවණින් කටයුතු නොකර මැරි මැරී උපදිති.
ඔවුන් සසර ජය ගැනීමට ප්‍රමාද වෙති. සසර මැරි මැරී ඉපදෙති. එබැවින් අද අදම පින් කර
ගත යුතු ය.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
මරු එන බැවින් අද අදම පින්කර ගන්නේ ය. හෙට මරණය නොවන්නේයැයි සිතන්නේ කෙසේද? මහා
සේනාවක් ඇත්තා වූ මාරයාට ඇපවන්නේ කවර කාලයෙහිද? එබැවින් කුසලට කම්මැලි වන්නේ,
කුමකටද?
ඒ අනුව අප සිතිය යුත්තේ මාරයා සමඟ නිතර වසන බවය. මොන තරම් පිරිස් බලය, ධන බලය, අවි
ආයුධ බලය තිබුණ ද ඒ කිසිවක් මාරයාට අදාළ නැත.
ඒ අනුව කෙටිකාලයක් තුළ වුවද ජීවත් වීමේ දී මළවුන් ලෙස ජීවත් නොවී සැබෑ මිනිසෙකු ලෙස
ජීවත් වීම ඉතා වැදගත් වේ. මිනිසත් කමේ වටිනාකම හඳුනාගත යුතු ය. කරුණාව, දයාව,
මෛත්‍රිය වැනි මානුෂික ගුණාංග වර්ධනය කළ යුතු ය. නැතිබැරි අයට උදව් උපකාර කිරීම,
වැඩිහිටියන්ට ගරු සත්කාර දැක්වීම වගේම සැලකීම, කෘතගුණ සැලකීම, මව්පියන් පෝෂණය
කිරීම, රටට දැයට සේවයක් කිරීම, යහපත් චරිත වර්ධනයක් ඇති කර ගැනීම, ආදි දේවල් සිදු
කළ යුතු ය. ලද සෑම මොහොතක ම පින් කළ යුතු ය.
මිනිසා ‘සක්කාය දිට්ඨිය’ නොහොත් ආත්ම සංකල්ප මතම ඉඳිමින් තම තමන් ගැනම සිතීමත්,
තමන්ගේ අය ගැන සිතීමත් පමණක් වන තරමටම මිනිසත්කම පිරිහී ඇත. බුදුරදුන් ආදර්ශයන්ම
පෙන්වා වදාළ පරාර්ථකාමිත්වය වර්ධනය කිරීම අද අදම කළ යුතුව ඇත. මුළු විශ්වයම හසුවන
අයුරින් මෛත්‍රිය ප්‍රගුණ කරමින් හොඳ මානසිකත්වයක් ඇතිකරගත යුතු ය. එවිට සුවඳ හමන
මල් සේ මිනිසත්කමේ සැබෑ තත්ත්වය ඉස්මතුවනු ඇත. එවැනි අය මිය ගිය ද ජීවත් වන්නවුන්
ලෙස සදා අමරණීය වනු ඇත. |