UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවනට සිත හදන කඨින පින්කම

නිවනට සිත හදන කඨින පින්කම

ජීවිතයේ හැම සිදුවීමක් ම අපට මතක නැත. සමහර සිතු දේ වෑයමින් සිතට නගාගත යුතු ය. ඇතැම් දේ නිරයාසයෙන් මතකයට එයි. එවැනි මතකය මුසු සිතිවිලි නිරතුරුව ම මනසට නැංවෙයි. බාගදා මරණාසන්නයට යොමුවන්නේ ද මෙවැනි සිතිවිලි වියයුතුයි. නිරායාසයෙන් සිතට එන මේ සිතිවිලි පින් සිතිවිලි ද විය හැක. පව් සිතිවිලිද විය හැක. පින් සිතිවිලි නිරතුරුව සිතට පැමිණීම මතු භවයට පමණක් නොව මෙ ලොව ජීවිතයට ද සැනසීමකි.

ගිහි පිනැතියෙකුට මෙන් නොව පැවිදි උතුමෙකුට පින් සිතිවිලි නිරායාසයෙන් ම පහළ වීමට පිළිවන. තම ඕනෑකමින් (අසංඛාරික) මෙන් ම අනුන්ගෙ උනන්දු කිරීම නිසා (සංඛාරිකා) මෙසේ විය හැකි ය. ජීවිතය පුරාවට නැතත් වයසේ පමණට අප කඨින පින්කම්වලට සහභාගි වී ඇත. ඒවා සියල්ල ම මතක නැතත් ඇතැම් පින්කමක් අද ඊයේ සිදු වූ පරිද්දෙන් මතක ය. ඒ අතර උපසපන් බව ලැබ පළමුව සහභාගි වූ කඨින පින්කමට කඨින චීවරය ලැබුණ අවස්ථාව ඉදිරියටම එයි. උපසපන්බව ලැබීමට ද මාස කිහිපයක් ම පේ විය යුතු ය. සිවුරු පඬු පෙවීම්, නිකායට අනුව ගොටු අතු සැකැසීම, පාත්‍රා පිළියෙළ කර ගැනීම් ආදී කළමනා රැසකි. අනෙක් අතට ධර්ම විනය පිළිබඳ වූ සූදානමකි.

උපසපන් වීමේ දී ද තම වාරය එනතුරු හිසරැවුල් මුඩුකර පාත්‍ර සිවුරු ළඟතබාගෙන සිටිය යුතු ය. උපසපන් බව ලැබ තමන් විසූ පන්සලට වඩින්නේ ද මහපෙරහරිනි. ඇතැම්විට උපසම්පදාව ලැබීමට පෙරද පෙරහරෙන් ම යා යුතු ය. පන්සලට ගියවිට ද පිළි ගැනීමේ උත්සවයකි. අනතුරුව පළමු වස එළඹෙයි. එහිදී ද මුල්තැන උපසපන්බව ලත් නවක භික්ෂුවටයි. මෙවැනි වටපිටාවක් තුළ තෙමසක වස් කාලය කෙසේ නම් සුළු කොට සැලකිය හැකි ද? උපසම්පදාවට පෙර පැවැති නොසැලකිලි ගති අත්හළ යුතු ය. තම භික්ෂු ජීවිතය ගැන එළඹි සිහිය (සති සම්පජ්ඤ්ඤය) තිබිය යුතු ය. නොකල් බොජුනෙන් වැළකීම වැනි දෑ සාමණේර නමකට එතරම් වැදගත් නොවන්නට ද පිළිවන. එහෙත් නව උපසපන්බව ලැබ පළමු වස්කාලය ගත කරන භික්ෂුව එවැන්නකටවත් නො පෙළඹීම බොහෝවිට සිදු වන්නකි.තුන් වේල බුදුන් වැඳගෙන තුන්මාසය පුරාවට අධිෂ්ඨානයක පිහිටා කටයුතු කිරීම බොහෝවිට සිදුවන්නකි. ඇතැම් භික්ෂුවක යම් කමටහනක් වැඩීමට යොමුවෙයි. තවත් භික්ෂුවකගේ වෑයම තෙමස පුරාම සුළු වරදකටවත් නො පැමිණ පිරිසුදු ජීවිතයක් ගෙවීමයි. මේ අතර ධර්ම විනය හදාරන යතිවරයෙකුගේ අදිටන එක් ධර්ම කොට්ඨාසයක් හැදෑරීම විය හැක. පිරිවෙනේ ඉගෙනුම ලබන කාලයේ ධම්ම පදට්ඨ කතාවේ එන බණ කතා උගනිමු. බුද්ධ කාලයේ වස් විසූ අන්දම විස්තර වන්නේ සිත් සතන් තුළ අමුතු ප්‍රබෝධයක් ඇති කරමිනි. ඇසළ පොහොය ළං වෙත්ම බොහෝ භික්ෂුහු සිවුරු සකසති, පඬු පෙවීම් ගෙත්තම් කිරීම් කරති. පාත්තර පිළිසකර කරති. මෙසේ සූදානම් වන්නේ ඈත පිටිසර දනව්වකට ගොස් වස් එළඹීමටයි.

වස් කාලය එළඹෙත් ම සිවු දෙසින් ම මහ සඟරුවන ජේතවනාරාමයට රැස් වෙති. මහත් ගරු බැතියෙන් සමිඳු සිරිපා වඳිති. කිමෙක් ද, මහණෙනි, වස්කාලය කිනම් පළාතක කෙසේ ගත කරත්දැයි බුදු සමිඳු විමසති. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අසවල් ඈත නියම් ගමට ගොස් එහි දායක පිනැතියන්ගේ ප්‍රත්‍ය පහසුව ලබමින් කමටහන් වැඩීමටයි. අපේ බලාපොරොත්තුව මෙසේ භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ලබන තරුණ මහලු භික්ෂූහු උත්තර භාරතය පුරා ගමින් ගමට සන්සුන් ගමනින් වඩින දසුන මොන තරම් චමත්කාර එකක් වන්ට ඇති ද? උන්වහන්සේලාගේ උපශාන්ත ස්වරූපය දකින ජනයා පැහැද විසීමට ආරාම පන්සල් ද, සක්මන් මළු ද, පැන් පහසු තඩාගද, යැපීමට දන් පැන්ද සපයමින් ද නොමද සතුටක් ලබති. මාතික මාතාව පිළිබඳ කතාවත් චක්ඛුපාල වස්තුවත්, සුනාපරත්නයට වැඩි පුණ්ණ තෙරුන්ගෙ කතා පුවතත් වස්කාලයේ අලෞකික ආධ්‍යත්මික ආස්වාදය මතකයට නංවන සිදුවීම් ය. උඩින් යටින් ගිනි පුළිඟු විහිදුවන තරම් වූ ගිනි මද්දහනේ කඳු හෙල් තරණය කරමින් ගමින් ගමට පා ගමනින් වඩිමන් සතහට දම් දෙසූ භික්ෂුව මෙසේ සංචාරක සමය නිමවා තෙමසක් පුරාවට ආරාමික ජීවිතයට බැස ගනිති. අඳුර දසතින් පරිසරය වැළඳ ගනිත් ම විදුලි රේඛා ගගනත දිස්වෙද්දී වැහිබර අහස උන්වහන්සේලාගෙ ගත සිත නිවමින් වැසිදහරා පතිත කරයි. ගස්වැල්, තුරු වදුළු, නව පණක් ලබන මේ වැසි සමයේ මේ උතුම් බුද්ධ පුත්‍රයින් වහන්සේලාගෙ සිත් සතන් නිවීමට යෝග්‍ය පරිසරය සකස් වනු ඇත.

චක්ඛුපාල හිමියෝ තෙමසක් කොට්ටයක හිස නොතබා නිදි සුව අඩු කරමින් භවුන් වඩා රහත් වූහ. මතිකමාතාවගෙන් උපස්ථාන ලත් භික්ෂූන්ගෙන් බණ අසා ඕ තොමෝ භික්ෂූන්ට පෙර ම මගඵල ලැබුවා ය. විසිය නො හැකි නපුරු මිනිසුන් ගහණ පෙදෙසක වසමින් පුණ්ණ හිමියෝ අනාගත ශාසනික දරුවන්ට සසුන් මගේ මං සළකුණු කියා පෑහ.

වස් අවසානයේ බොහෝ භික්ෂුහු දෙව්රමට වඩිති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගෙන් සුවදුක් විමසති. ඇවැත්නි හොඳින් වස්කාලය ගත කළේ ද? සිවුපසය අඩුවක් නොවීද? මේ සංවේදිභාවය අසන්නා තුළ දනවන භාග්‍යවතුන් වහන්සේගෙ ප්‍රකාශය උන්වහන්සෙගේ පූර්ව මානුෂීය උතුම් ගුණයත් මහා කරුණා මහිමයත් කියා පාන්නකි. ස්වාමීනි, අපි වස්කාලයේ නොසිස් ගුණයෙන් කමටහන් වඩා උතුම් මගඵලවලට පත් වීමු. මේ උතුම් ලාභය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙ පවසන්ට අවසර යැයි සඳහන් කරති. එදා තිබූ ශාසනික සොඳුරුබව අද දවසේ ද බොහෝ භික්ෂූන් වහන්සේගෙන් දැක ගැනීමට ලැබීම අරුමයක් නොවේ. බාහිර භක්තිවාදය අභිභවමින් ඉස්මතුවන ශාසනික සම්ප්‍රදායේ හරය හැම බුද්ධ පුත්‍රයින් වහන්සේ නමකගේ ම සිත් සතන් තුළ ගලා යමින් පවතියි. පරිසරගත බලපෑම් ද, සංසාරිකව ගෙන ආ අනුසය ධර්මවල මතුවීමක් ද වේ. කවදා හෝ උන්වහන්සේ තම උතුම් පරමාර්ථ සාක්ෂාත් කරගනු නො අනුමාන ය.

සීමා මන්දිරය තුළ වැඩිහිටි භික්ෂූන් සිවුනමක් අතර භාෂණයේ සමත් භික්ෂුවක් ‘සුණාතු මේ භන්තේ සංඝො යි’ පවසමින් කඨින චීවරය සුදුසුකම්ලත් භික්ෂුවට පවරයි. වස් විසූ කඨින චීවර ය ලබන භික්ෂුව ද මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව නියමිත ඉරියව්වෙන් හිඳිමින් චීවරය දෝතින් දරාගෙන සිටිති. මේ මොහොතේ කෙබඳු සිතිවිලි පහළවෙත් ද? තම උතුම් ශාස්තෘන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා මාමක හැඟුම් ඇතිවනු නිසැක ය. උන්වහන්සේ ගේ කරුණා දයාගුණ මෙන් ම විශ්වව්‍යාප්ත මහා ප්‍රඥාවේ ගාම්භීරත්වය එතරම් ගැඹුරු ධර්ම ඤාණයක් නැති භික්ෂුවකට වුව ද ඇතිවනු නොඅනුමාන ය. ඛුජ්ජුත්තරා වැනි අයට දහම් මගේ පළමු පියවර තැබීමට හැකි වුණා නම්, ගැඹුරු නුවණින් තෙවළා දහම නො හදාළ භික්ෂුවකට වුව ද ලෝභ දෝස මෝහ මුල් දුබල කිරීමේ හැකියාව ලබනු ඇත. කාම රාගාදී හැඟීම් ඒ මොහොතේ ඇති සිතේ රැස් දහර මැද මිලිනවයනු ඇත. එවන් භික්ෂුවක් තම හද මඩලෙහි උපන් හැඟීම්බර එහෙත් නුවණින් සමබර කරගත් සංවේදිතාවය නෙතඟ දිදුලන කඳුළකින් ප්‍රකාශ කරනු ඇත. මෙය ම බුදු සසුනේ පැවැත්මට උපකාරයක් නොවන්නේ ද?

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]