වප් පුර පසළොස්වක 2017.10.05
සංවේදී හදවතක්
සාහිත්‍ය මාසය ගෙවී ගියේ ය. මේ කියැවීමේ මාසයයි. කියවීමට මාසයක් වෙන් කිරීමෙන් ඒ
පිළිබඳ වෙසෙස් අවධානයක් යොමු කරවීම ප්‍රඥාගෝචර වන්නේ අන් කවරදාටත් වඩා වර්තමානයෙහි
අපගේ බාල පරම්පරාව වෙතින් පොතපත කියවීම දුරස් වී ඇති බැවිනි. අධ්‍යාපනික කරුණුවලට
අදාළ ශාස්ත්‍රීය පොතපතට පමණක් අවධානය යොමු කිරීම තුළ දැනුම වර්ධනය වීම සත්‍යයකි.
එහෙත් ජීවත් වීමට බුද්ධිය, දැනුම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. හදවත ද වර්ධනය විය
යුතු ය. ඒ අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙනි.
මනුෂ්‍යයාගේ භෞතික ජීවිතයේ පෝෂණයට භෞතික ආහාර අත්‍යවශ්‍ය වන්නා සේ අධ්‍යාත්මික
ජීවිතයට අධ්‍යාත්මික ආහාර අත්‍යවශ්‍ය ය. ඒවා මානුෂීය අවශ්‍යතාවන් වේ. සාහිත්‍ය වූ
කලී එබඳු එක් අධ්‍යාත්මික ආහාරයකි යැයි ප්‍රවීණ ලේඛක කේ.ජයතිලකයන් වරක් ප්‍රකාශ කොට
තිබේ. ‘සාහිත්‍යය’ මානව ජීවිතයට එතරම් සමීප ය.
අනුබුදු මිහිඳු මා හිමියන් සම්බුදු දහම හඳුන්වා දුන් දා සිට බුදු දහමෙන් පෝෂිත වූ
අපූර්ව සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය වුණි. වැවත්, දාගැබත්, ගමත්, පන්සලත්
අවියෝජනීය ලෙස බැඳී තිබුණි. ජනහදවත් පෝෂණය වූයේ ද ආගමට දහමට අනුව ය. මුද්‍රිත
මාධ්‍ය නොදියුණු එකල ජන සාහිත්‍ය පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූයේ කට වහරිනි. එසේ
නිර්මාණය වූ ජනකතා, ජන කවි, ජන ගී, උපමා, තේරවිලි, ප්‍රස්තාව පිරුළු, ජන කියමන් ඈ
අනේක සාහිත්‍යාංගයන්ට බුදුදහමේ ආභාෂය ද ලැබුණි. අටලෝ දහම, ලෝකයේ අනියත බව , පිය
විප්පයෝගය, ආත්මාර්ථයේ විපාක, මවුපිය ගුණ ආදි ජීවිතය හා සම්බන්ධ බොහෝ දේ ඒවායෙහි
අන්තර්ගත ය. මුද්‍රිත මාධ්‍ය බහුල මෙකල ඒ සියලු ජන සාහිත්‍ය ග්‍රන්ථ ගත කොට තිබේ.
මේවා පරිශීලනයට දරුවන් යොමු කළ යුතු වන්නේ ජීවිතය ගැන උගන්වන්නටය.
ජාතක කතා පොත් වහන්සේ ඇතුළු ඉතා වටිනා බෞද්ධ සාහිත්‍යයක් අපට තිබේ. මනුෂ්‍ය චරිත
ලෙස ද, විටෙක සත්ත්ව චරිත ලෙස ද පෙනී සිටින බෝසත් කතා සෑම එකකින් ම ජීවිතයට දෙන
පාඩම වසර ගණනක් ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම්වලින් උගත නොහැකි ය.
ජීවිතයට සංවේදී බව අත්‍යවශ්‍ය ය. කොපමණ මිල මුදල් යානවාහන, විසල් මන්දිර තිබුණ ද
අම්මාට තාත්තාට නොසලකනවා නම් ඒ ධන සම්පතින් පලක් නැත.මිනිසත් බවෙන් ද පලක් නැත.
අද අපේ තරුණ පරපුරේ බොහෝ දෙනකුට දරා ගැනීමේ ශක්තිය අඩුය. ආවේගශීලිය. ප්‍රශ්නයක්
හමුවේ සිය දිවි නසා ගන්නවා හැර වෙනත් විකල්ප ගැන දන්නේ නැත. පසුගිය දා එවැනි
සිදුවීමක් වාර්තා විය. සාහිත්‍යයට සමීප විය යුතු වන්නේ කියවීමට හුරුවිය යුතු වන්නේ
ඒ සංවේදී බව ඇති කරගන්නටය. සිතීමේ ශක්තිය, ප්‍රශ්නයකට හොඳම පිළිතුර සොයා ගැනීමේ
හැකියාව ඇති කර ගන්නට ය.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්න අද ඊයේ ජනවහරට ආ කියමනක් නොවේ. අද සමහර මිනිසුන්
අඩක් සම්පූර්ණ , අඩක් හිස්ව ඇති බවක් හැඟේ. එසේ කියන්නේ බොහෝ දැන උගතුන් අතර ළතෙත්
හදවත් නැති අය ද ඉන්නා නිසා ය. සාහිත්‍ය ඇසුරේ හැදුණා වැඩුණා නම් ඒ අසංවේදී බව
ඔවුන්ට නුපුරුදු වනු ඇත.
ඔබ නිකමටවත් අම්මා තාත්තා බලන්න යන්නේ නැත්තේ ඇයි දැයි දිනක් වෛද්‍යවරයෙකුගෙන් එක්
මිතුරියක් ඇසී ය. ‘ඒ අය මට මොනවද කළේ. පුංචි කාලයේ ඉඳලම නේවාසිකාගාරවල නැවැත්තුවා ‘
යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ ය. අම්මා, තාත්තා අපමණ වියදම් දරා ඔහු කුඩා කල
නේවාසිකාගාරයක නතර කරන්නට ඇත්තේ අධ්‍යාපනය නමැති චූඩා මාණික්‍ය හිස පළඳවන්නට ය. ඔහු
ඒ මාණික්‍ය පැළඳ ගත්තේ ය. උගත්කමින් ජය ගත්තේ ය. එහෙත් හදවතින් පැරදුණේ ය. මවුපියන්
ගැන අසංවේදී වූයේ ඒ නිසා ය. සාහිත්‍යයෙහි විපුල ඵල නෙළා ගන්නට කුඩා කල සිටම යොමු
කළා නම් ඔහු වෙනස් මිනිසෙක් වන්නට තිබුණි. මව්පිය සෙනෙහස හඳුනන්නෙක් වීමට ඉඩ
තිබුණි. වරද කාගේ වුව අද බොහෝ දෙනකුගෙ ් තත්ත්වය එලෙස ය. මවුපියන් මේ ගැන
සැලකිලිමත් විය යුතුය. උගතෙක් ,බුද්ධිමතෙක් පමණක් නොව මානුෂීය ගුණ ඇති මිනිසෙක්
දායාද කරන්නට උත්සාහ කළ යුතු ය. සාහිත්‍ය කෘතින් ඒ සඳහා වෙසෙස් මාර්ගයකි. ඒ නිසා
හොඳ පොතක්, පත්තරයක් කියවන්නට බාල පරපුර යොමු කළ යුතු ම ය. |